The Lanka Post

Official Lanka Post Blog

අදටත් තිබෙන ඵුස්සදේව යෝධයාගේ හාස්කම් පිරි ජය සංඛය

ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ලක්දිව එක්සේසත් කළ පාලකයෙක් තමයි දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජු සහ  එළාර රජු අතර විජිතපුර දී සිදුවුණු සටන බොහෝ ප්‍රචලිතයි. මේ යුද්ධයේ දී එළාර රජු  පරදවා සටන ජය ගන්නට දස මහ යෝධයන් විශාල මෙහෙවරක් කළ බව නොරහසක්. එළාර රජුගේ පාලනය හමුවේ පීඩාවට පත්ව සිටි ජනතාව සැනසුම් සුසුම් හෙලුවේ මේ යුද්ධය ජයගැනීමෙන් පසුවයි. ඇතැම් අය සිය දෛනික කටයුතු නවතා රජු කරා පැමිණ ජය ගෝෂා නගමින් ආචාර කළා .ඔල්වරසන් දුන්නා. 

ඉතින් ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ මේ ජයග්‍රහණය තුන් සිංහලයටම දැනුම් දුන් පණිවුඩය මුලින්ම ගුවනට එක් කළේ ගැමුණු රජුගේ සේනාවේ සිටි අතිදක්ෂ දුනුවායෙක් වුණු ඵුස්සදේව යෝධයා. ඔහු සටනින් පසුව ඒ සතුටු පුවත රටට දැනුම් දෙන්නට සමත් මහා ජවයකින් ඵුස්සදේව යෝධයා ජය සංඛය නාදකළ බව පැවසෙනවා.මූලාශ්‍රගත තොරතුරුවලට අනුව ඵුස්සදේව යෝධයා එදා මහ සටනේදී ප්‍රතිවාදී සේනා බිය ගැන්වූයේ හක් ගෙඩියක් පිබිමින්. රජුට මේ මහ යුද්ධය කරන්නට ශක්තිය ධෛර්යය දුන්නේ ඵුස්සදේව යෝධයා.ඉතින් ඵුස්සදේව යෝධයා “උන්මාද ඵුස්සදේව”  නමින් හැඳින්වුවෙත් ඔහු සතු හක්ගෙඩි පිබීමේ හැකියාව නිසා. ඉතින් විජිතපුර සටන ජයගත් ඒ ජය සංඛය අද ඇත්තේ කොහේද?. විමසා බලමු ඒ ගැන.

ඵුස්සදේව යෝධයා ධනවත් පවුලක උපත ලද අයෙක්. ඵුස නැකතින් උපන් නිසා ඵුස්ස දේව වූ මොහු සත් හැවිරිදි වියේදී දිනක් විහාරයේ පූජාවට තිබූ හක්ගෙඩියක් පිබින ලද ශබ්දය ගව් ගණනක් දුරට පැතිර ගිය නිසා වනයේ සතුන් ද මිනිසුන් ද සිහි නොමැතිව ඇද වැටුණු බව සඳහන් වෙනවා. ඉතින් ඒ සිදුවීමෙන් පසු මොහු ඵුස්සදේව යෝධයා ලෙස ප්‍රකට වුණා. ධනු ශිල්පය, ශබ්දයට විදීම,හස්ත ශිල්පය, අශ්ව ශිල්පය ආදී ශිල්ප ගණනාවක දක්ෂයෙකු වුණු මොහු දුටුගැමුණු රජුගේ රාජ්‍ය සේවයේ සිටි රජුට විශ්වාසවන්තම යෝධයා වුණා. දුටුගැමුණු රජුගේ ආරක්ෂාව සඳහා රජු සමීපයේ නිරන්තරයෙන් සිටි ඵුස්ස දේව එළාර රජුගේ බෑණා වූ භල්ලුක පවා මරණයට පත්කළ බවයි පැවසෙන්නේ. 

ධනු ශිල්පයට ඉතාමත් දක්ෂයෙකු වූ භල්ලුක ඉදිරියේ කඩොලැතා පසුබැස්ස නිසාවෙන් කඩොල් ඇතා පිට රජු හිඳ සිටි බැවින් සේනාව ද පසුබෑවා. ඒ වෙලාවේ ඵුස්ස දේව රජුට ප්‍රකාශ කළේ ජය බිමක් හමු වූ විට ඇතු නතර වන බවයි. ඒ අනුව මහා විහාර සීමාව අසල ඇතු නතර වුණු අතර භල්ලුක ගැමුණු රජුගේ මුඛයට ඊතලයෙන් විදීමට සූදානම්ව ගැමුණු රජුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඒ ප්‍රශ්නයට රජු පිළිතුරු දෙනු ලැබුවේ කඩුපතින් මුව වසා ගෙන. ඒ නිසා භල්ලුක විඳි හීය කඩුවේ වැදී බිම වැටුණු අතර එවිට ගැමුණු රජු කටේ තිබූ බුලත් විට බිමට දැම්මා. එය දුටු භල්ලුක තම ඉලක්කය නිවැරදි යැයි සිතමින් ඔල්වරසන් පවත්වන්නට වුණා. 

රජුට කවදත් පක්ෂපාති හිත හොඳ අයෙක් වුණු ඵුස්සදේව මේ නිසා මහත් කෝපයට පත්වුණා. ඒ නිසා රජුගේ කුණ්ඩලාභරණයක් කඩා භල්ලුකගේ කටට විඳ ඔහුව මරණයට පත් කළා. භල්ලුක වැටුණේ ගැමුණු රජුගේ දෙසට පා සිටින සේ බැවින් නැවත ඵුස්ස දේව අනෙක් කුණ්ඩලාභරණය ද ගලවා භල්ලුකගේ හිස ගැමුණු රජු දෙසට වන පරිදි භල්ලුකගේ පාදයට විඳිනු ලැබුවා. ඒ අයුරින් රජුගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ මොහු පසුව තමා කළ ක්‍රියාව පිළිබඳ පසුතැවීමට ලක්ව තම කන් පෙති කපා ලේ ගෙන ගැමුණු රජුට පෙන්වන ලද බව සඳහන් .

ඉතින් ඵුස්සදේව ශබ්දයට අනුවත්, විදුලි කොට නැළියෙනුත්, අස් ලෝමයකින් බටු ගෙඩියක් එල්ලා ඒ අස් ලෝමයට වැලි පිර වූ ගැලක් සිදුරු වෙන්නටත් , ඒ වගේම සම් සීයකින් ඔතන ලද දේත් සිදුරු වෙන්ට ඊයෙන් විදින්නට තරම් හැකියාවක් තිබූ බව මහාවංශයේ සඳහන්.

ඉතින් කොහොමහරි අවසන් සටනේදී ඵුස්සදේව හක් ගෙඩිය පිබින ලද අතර එය අහස ගුගුරවා යන තරමේ අධික  හඬක් නැගූ බවයි පැවසෙන්නේ. ඉතින් විජිතපුර සටන ජය ගැනීමෙන් පසුව ඵුස්සදේව යෝධයා ඇතුළු අනෙකුත් යෝධයන්ට දුටුගැමුණු රජතුමා විසින් විවිධ ගම්වර ප්‍රදානය කරනු ලැබුවා. එහිදී ඵුස්සදේව යෝධයාට හිමිවුණේ ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ ප්‍රදේශයෙන් අක්කර 12 000 ක භූමි ප්‍රමාණයක්.  ඉන්පසුව ඵුස්සදේව යෝධයා සිය හිතවතුන් සමඟ එහි ගම්මානයක් ගොඩනගා ගෙන පදිංචියට ගියා.

ඉතින් හක්ගෙඩියට පාලි භාෂාවෙන් කියන්නේ සංඛය කියලා. ඉතින් එදා ගැමුණු කුමරුට ජය ලබාදීම වෙනුවෙන් ඵුස්සදේව යෝධයා පිබින ලද ජය සංඛය තැන්පත් කරවා එහි චෛත්‍යයක් කළ බවට සඳහන් වෙනවා. ඔහු විසින් ජය සංඛය තැන්පත් කර ඉදිකරන ලද බවට විශ්වාස කරන විහාරය වෙන්නේ ඇඹිලිපිටිය ආසන්නයේ ඇති සංඛපාල විහාරයයි. ඒ විහාරයට මේ නම ලැබී ඇත්තේ ද ඵුස්සදේව යෝධයාගේ හක්ගෙඩිය තැන්පත් කළ නිසා කියලයි බොහෝ අයගේ පිළිගැනීම. ඉතින් ඉතිහාසයේ සඳහන් වෙන විදියට දුටුගැමුණු රජුට ජය ලබාදුන් ජය සංඛය අදත් දක්ෂිණාවෘත  හක්ගෙඩිගල කියන පර්වතය පතුලේ තැන්පත් කර තියෙනවා.

මීට අමතරව ඔහුගේ ජය සංකේතය විදියට පැවති  හක් ගෙඩියේ ලාංඡනය වර්තමානයේ ප්‍රධාන ගල්ලෙනේ කොටා තිබෙනු දැක ගන්නට පුළුවන්. කොහොමවුණත් තමන්ට අභිමානයෙන් ජීවත් වෙන්නට හැකි පරිසරයක් ගොඩනගා දුන් ඵුස්සදේව පිළිබඳව ඉතා පැහැදීමෙන් ඔහුගේ ඥාති වර්ගයා ජය සංඛය තැන්පත් කර ඉදිකළ චෛත්‍ය වටකොට විහාරයක් ගොඩ නංවන්නට කටයුතු කළ බව සඳහන්.

කොහොමවුණත් ඵුස්සදේව යෝධයා අවසානයේ ගිහි ජීවිතයෙන් මිදී පැවදි වී යෝගාචර භික්ෂූන් වහන්සේ කෙනෙක් විදියට භාවනායෝගීව වැඩ සිටි බව කියවෙනවා. උන්වහන්සේ පසුව විදසුන් වඩා රහත් බවට පත්වුණු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඵුස්සදේව තෙරුණ් වහන්සේ ආදාහනය කර සාදන ස්ථූපය යැයි සලකන දාගැබක නටබුන් ද මේ විහාරය ආසන්නයේ විශාල ගල් තලාවක අදටත් දකින්නට ලැබෙනවා. අද මේ ස්ථානය ඵුස්සදේව සොහොන නමින් හඳුන්වනවා. අද වන විට මේ ස්ථානය නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව විනාශ වී ඇති ආකාරය දකින්න පුළුවන්. නමුත් එදා විජිතපුර සටන ජය ගන්නට විසල් මෙහෙයක් කළ ඵුස්සදේව යෝධයාගේ ජය සංඛය මේ සංඛපාල පුදබීමේ තවමත් සුරැකිව ඇති බව බොහෝ අයගේ විශ්වාසයයි.