The Lanka Post

Official Lanka Post Blog

බෝගන්විලා මල් පිපෙන විදියට සිටවන රහස් ක්‍රම

බෝගන්විලා නැත්නම් කඩදාසි මල් බොහෝ හිරු එළිය ප්‍රිය කරන මල් වර්ගයක්.ගෙවත්තට වගේම උද්‍යාන අලංකාරයටත් ගොඩක් සුදුසු මල් වර්ගයක් මේ බෝගන්විලා.බෝගන්විලා බොහෝ වර්ණවලින් අද දකින්නට පුළුවන්.බෝගන්විලාවල පැලයක් වගා කළාට බොහෝ අයට තියෙන ගැටළුවක් තමයි මල් අඩුවෙන් පිපීම නැත්නම් මල් නොපිපීම. ඉතින් ඔන්න ඒ ගැටළුවට සාර්ථක විසඳුම් කිහිපයක් ගැන තමයි අද මේ ලිපියෙන් කතා කරන්නේ.

අවශ්‍ය දේශගුණික සාධක -මේ බෝගන්විලා ශාකය හොඳින් ඉර එළිය ප්‍රිය කරන ශාකයක්. ඒ නිසා මේ ශාකයට සෙල්ෂියස් අංශක 33 කට ඉහළ උෂ්ණත්වයක් ඕන කරනවා. ඒ නිසා මේ ශාකය සෙල්ෂියස් අංශක 33 ට වඩා වැඩි පරිසරයක සරුවට වැඩෙනු දකින්නට පුළුවන්.

පැල බෝ කර ගැනීම -මේ බෝගන්විලා පැල බෝ කර ගන්නට අතු කැබලි යොදා ගන්නට පුළුවන්. ගැට 3-4 ක් සහිත සෙන්ටිමීටර් 6-7 ක් පමණ දිග අතු මේ සඳහා තෝරාගත යුතුයි.ගැටයකට පහළින් කපා ගත් අතු කැබලිවල පහළ කොළ ඉවත් කර මුල් වර්ධක හෝර්මෝනයක් ආලේප කර ගන්නේ නම් ඉතා සාර්ථකව මුල් අද්දවා ගත හැකියි.මේ වර්ධක හෝර්මෝන සෙක්ටෝ, සෙරඩික්ස්, රූටෝන් වර්ගවලින් වෙළඳපොළෙන් මිලදී ගන්නට හැකියි.මේවා තැවරිය යුත්තේ කැපුම් තලයේ.

ඉන්පසු කොම්පෝස්ට්, වැලි මිශ්‍රණයක් සහිත තවානක සිටුවා පොලිතීන්වලින් ආවරණය කළ යුතුයි. මේ ස්ථානය හිරු එළිය නොවැටෙන ආකාරයට තබාගත යුතු අතර දින 2-3 කට වරක් වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුයි.දින 21 ක් පොලිතිනය තුළ පැලය තබා ගනිමින් පාරිසරික සාධක ලෙස නිසිලෙස ලබාදීමෙන් වැඩි දඩු කැබලි සංඛ්‍යාවක් මුල් අද්දවා ගතහැකියි.මේ කාලයේ දී කුණුවන දඬු කැබලි ඉවත් කළ යුතුයි.

පොලිතින් ඉවත් කිරීමෙන් පසු සතියට වරක් දියර පොහොර යෙදීමෙන් සති 6-8 කාලයේදී මුල් අද්දවා ගත හැකියි.

බදුන් සඳහා  රෝපණ මාධ්‍ය 

  • මතුපිට පස් කොටස් 3 
  • කොළ පොහොර 2
  • දිරන ලද ගොම කොටස් 1
  • ගොරෝසු වැලි ½ 
  • උළු කැබලි ¼ 
  • බදුන්වල ජලය හොඳින් බැස යාම වැදගත් අතර තෙතමනය රැඳී තිබීම පැලයට අහිතකරයි.ජලය දින 3 කට වරක් සැපයීම ප්‍රමාණවත්.
  • මසකට වරක් ගොම පොහොරවලට යූරියා ස්වල්පයක් කලවම්කර යෙදිය යුතුයි. 
  • උෂ්ණත්වය වැඩියෙන් පවතින විට පොටෑසියම්  වැඩි පොහොර මිශ්‍රණයක් සති 2 කට වරක් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

මල් හටගන්නා රහස් 

  • ශාකය දවස පුරාම හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක තැබිය යුතුයි . උදේ පමණක් හෝ සවස පමණක් හිරු එළිය ලැබීම මල් පිපීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ශාකය හිරු එළිය බෙහෙවින් කැමැති ශාකයක්. නිවස අවට අධික සෙවණ තිබේ නම් බදුන්වල සිටුවා හිරු එළිය තදින් ලැබෙන ස්ථානවල එම බදුන් තැන්පත් කිරීමෙන් සාර්ථකව මල් ලබා ගන්නට හැකියාව පවතිනවා.
  • බොහෝ අය මූලිකව කරන වැරැද්දක් තමයි බෝගන්විලා පැල කාලයේදී පොටෑසියම් අධික පොහොර දැමීම.මේ පොහොර දැමීමෙන් මල් ටිකක් පිපුණත් ඊට පස්සෙම මල් පිපෙන්නෙ නම් නැහැ.එයට හේතුව ශාකයේ මුල් කාලයේදී මූල පද්ධතිය, කඳ වගේම පත්‍රත් හොඳින් වර්ධනය විය යුතුයි.ඒ කාලයේ පොටෑසියම් අධික පොහොර දැමීමෙන් ශාක වර්ධනය අඩාල වෙලා මල් කිහිපයක් විතරක් එනවා. ඊ පස්සේ ගස හොඳින් පරිණත නොවූ පසු කලෙක පත්‍ර පමණක් වර්ධනය වෙන්න පටන් ගන්නවා.එවිට මල් පිපීම බොහෝ දුරට අඩුයි. ආවත් මලයි දෙකයි.ඒ නිසා පැල කාලයේදී කාබනික පොහොර වැනි දෙයක් ප්‍රමාණවත් වෙනවා.
  • මුළු ගසටම ජලය දැමීම. මෙයත් බොහෝ අය කරන වැරැද්දක්. එවිට තියෙන මල් පොහොට්ටු ටික හැලී යනවා.මල් පිපෙන්නෙත් නැහැ. ඒ නිසා ජලය පසට පමණක් දැමීමත් අධික පීඩනයකින් තොරව ජලය සැපයීමත් සුදුසුයි. ඒ වගේම මේ ශාකයට උපරිම සතියකට වරක් හෝ දෙවරක් පමණක් ජලය සැපයිය යුතුයි. පැලය වටේ ඇති පස වියළි ගිහින් නම් පමණක් ජලය එකතු කරන්න.එහිදි දේශගුණික තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් ජලය සැපයීමට අමතක කරන්න එපා. 
  • වැසි කාලයේ දී මල් අඩුවීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා පොහොට්ටු ආරක්ෂා කරගන්නට විනිවිද පෙනෙන හොඳින් ආලෝකය ගමන් කරන ඉටි රෙදි ලේයරයක් ඉහලින් යෙදීම සුදුසුයි.
  • කොතරම් ගසට පෝෂණය දුන්නත් පරිනත වුණත් මල් පිපෙන්නේ නැති කාරණයක් තමයි ශාකයේ අගිසි පමණ ඉක්මවා මෝර තිබීම. මෙයට විසඳුමක් විදියට ගසේ අතු නිසි පරිදි කප්පාදු කළ යුතුයි.කප්පාදු කිරීමේ දී ශාකයෙන් 1/3 ක් පමණක් ඉතිරි කර අනෙකුත් අතු කපා ඉවත් කළ යුතුයි. ඒ සඳහා මල් බොහෝ අඩුවෙන් පිපෙන වැසි කාලය තෝරාගත යුතුයි. එවිට අලුතින් එන දලුවල මල් හටගැනීමේ ප්‍රවණාවය වැඩියි.
  • ශාකයි හොඳින් වැඩුණු පසුව විශේෂ පොහොර යෙදිය හැකියි. වෙළඳපොළේ බෝගන්විලා මල් පිපීම සඳහාම වුණු  පොහොර ලබා ගන්නට හැකියි. බෝගන්විලා පැලේ කද පැන්සලක් තරම් නම් පොහොර ග්‍රෑම් 5 ක් පමණ මුලට ටිකක් ඈතින් යොදන්නට පුළුවන්. එහිදි ඒ  පොහොර සති දෙකකට වරක් යෙදීම සුදුසුයි.
  • එහෙම නැත්නම් යාරමිලා පොහොර භාවිතා කළ හැකි අතර එයත් මුලට ටිකක් ඈතට වෙන්නට යෙදිය හැකියි.එයත් සති දෙකකට වරක් යෙදීම ප්‍රමාණවත්.
  • කේ ෆෝර්ටි ෆෝර් පොහොර වර්ගය යෙදීමත් කළ හැකියි. මේ පොහොර වර්ගය දියර පොහොරක් වන අතර බිංදු ක්‍රමය හෝ ස්ප්රේ ක්‍රමයටත් මේ පොහොර එකතු කරන්නට පුළුවන්. නමුත් එහිදී මතක තබා ගත යුත්තේ මූල පද්ධතියෙන් ඈතට ඒවා යෙදීමටයි. මෙය දවස් 10 කට වරක් භාවිතා කිරීම සුදුසුයි.
  • බෝගන්විලා විශේෂ පොහොර නැත්නම් යාරමිලා පොහොර එකත් සමඟ මේ දියර පොහොර වර්ගය භාවිතා කරන්නටත් පුළුවන් . 
  • ඉතින් මේ රහස්වලින් ඔයාඅලටත් පුළුවන් ඔයාලගේ මල් පිපෙන්නේ නැති බෝගන්විලා ගස් මල්වලින් පුරවා ගන්න.