බුදු රඳුන් උදෙසා නිවැරදිව අෂ්ට පාන පූජාව සිදු කරන ආකාරය
ලාංකික බෞද්ධ සමාජ සංස්ථාව තුළ බුද්ධ පූජාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. බුදුන් වහන්සේ උදෙසා ආමිස හා ප්‍රතිපත්ති වශයෙන් මෙම පූජා ද්විත්ව ආකාරයකින් දැකිය හැකි අතර අද වන විට ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවන් කෙරෙහි මිනිසුන් වැඩි නැඹුරුවක් දක්වනු ලබයි. එසේ වුවත් බොහෝ බෞද්ධයන් විසින් සිදු කරනු ලබන එම ආමිස පූජාව තුළදී ද නොදැනුවත්වම ප්‍රධාන වැරදි ක්‍රියාවන් බොහොමයක් සිදු වන බව ඔබ නොදන්නවා විය හැක. ඇතැම් විට බුදුන් වහන්සේ කෙරෙහි ඇති අසීමිත ගෞරවය නිසා මෙන්ම විචාර බුද්ධියෙන් තොරව මෙම පූජාවන් සිදු කිරීම නිසා ද බෞද්ධයන් අතින් මෙම වැරදි සිදු වේ.
බුදුන් උදෙසා කුමන හෝ පූජාවක් සිදු කිරීමේදී ඔබ එය මැනවින් අවබෝධ කොටගෙන එම කාර්ය සිදු කරන්නේ නම් එමගින් ඔබ බලාපොරොත්තු වන පින ඔබට ලබාගත හැකි වනවා සේම එය අනවබෝධයෙන් සිදු කිරීමෙන් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ අකුසලක් නොදැනුවත්වම ඔබ විසින් අත්කර ගනී. ඔබ බුදුන් වහන්සේ උදෙසා ආමිස පූජාවන් සිදු කිරීමේදී මනා අවබෝධයෙන් කළ යුත්තේ එම නිසා ය. මා මෙහිදී බෞද්ධයන් වන ඔබ විසින් අෂ්ට පාන පූජාවන් සිදු කිරීමේදී සිදු වන වැරදි මොනවාද යන්නත්, එම වැරදි නිවැරැදි කරගනිමින් අෂ්ට පාන පූජාවන් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙහිදී මුලින්ම අෂ්ට පාන යනු මොනවාද යන්න විමසා බැලීම අවශ්‍ය වේ. අම්බපානය, ජම්බුපානය, චෝච පානය, මෝච පානය, මධු පානය, මුද්දික පානය, සාලුක පානය, ඵාරුසක පානය යනාදියයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් පලතුරු වර්ග අටක් ගනු ලබයි. එනම්, අඹ, මාදං, ඇටි කෙසෙල්, කෙසෙල්, අමු මිදි, වියළි මිදි, ඕලු ගෙඩි, මසන් ගෙඩි ඒවා වේ. මෙම වර්ග අට යොදා ගනිමින් සිදු කරන ලද පූජාවන් පොදුවේ ඉහත සඳහන් අෂ්ට පාන ලෙස හඳුන්වයි. අප දැන් බලමු මම පලතුරු වර්ග අට යොදා ගනිමින් අෂ්ට පානයන් නිවැරැදිව සකසා ගන්නේ කොහොමද කියලා.
පලතුරු පූජා කළ යුතු ආකාරය.මෙම පලතුරු පූජා කිරීමේදී බොහෝ අවස්ථාවල ගිහි පැවිදි දෙපාර්ශවයම මෙම වැරැද්ද සිදු කරනු අප දැක තිබේ. එය හුදෙක් නොදැනුවත්භාවය නිසා සිදු කරනු ලබන වැරැද්දකි. බුදුන් වහන්සේ උදෙසා පලතුරු පූජා කළ යුතු නමුත් එය කළ යුත්තේ දේව පුජා සිදු කරන ආකාරයෙන් නොවේ.දෙවියන් උදෙසා පූජා පැවැත්වීම ඔබ අප නිතර දැක තිබේ.එහිදී ප්‍රධාන වශයෙන් පලතුරු වට්ටි විශාල ප්‍රමාණයක් පූජා කරනවා. නමුත් බුදුන් උදෙසා ඒ ආකාරයෙන් පලතුරු පූජා කිරීම සම්පූර්ණ වැරැද්දකි. මා මෙහිදී පවසනුයේ බුදුන් වහන්සේ උදෙසා පලතුරු පූජා නොකල යුතුය යන්න නොවේ. පූජා කිරීමේදී දේව පූජා මෙන් ගෙඩි වශයෙන් පූජා කිරීම නොකළ යුතු බවයි. යමෙකු බුදුන් වහන්සේ උදෙසා මෙම පලතුරු ගෙඩි වශයෙන් පූජා කළහොත් එය විනයානුකූල වශයෙන් පූජාවක් බවට පත් නොවේ.

එසේ විනයානුකූල පූජාවක් බවට පත් නොවීමට හේතු වන්නේ සියලු රහතන් වහන්සේලා හා උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් බීජ ගාම, භූත ගාම ශික්ෂාපදය ආරක්ෂා කිරීම හේතුවෙනි. එහිදී සියලුම රහතන් වහන්සේලා හා උපසම්පදාවට පැමිණි සියලු දෙනා වහන්සේලා පොළවෙහි දැමීමෙන් පැලවන ස්වභාවයෙන් යුත් බීජ නොපිළිගත යුතු බව දීඝ නිකායේ සීලක්ඛන්ධ වර්ගයේ සඳහන් සූත්‍ර දේශනාවන්ගේ පාචිත්තිය ආපත්ති විස්තරයෙහි සඳහන් වෙයි. උක් වැනි දෑ දඬු වශයෙන් පූජා කිරීම නොකළ යුතු අතර යුෂ ලෙස පූජා කළ යුත්තේ ද ඉතා පිරිසිදු ආකාරයෙන් හොඳින් පෙරිමෙන් අනතුරුවය. පැළවන ස්වභාවයෙන් යුතු බීජ පවතී නම් ඒවායේ ඇට ඉවත් කොට කැප ආකාරයෙන් පූජා කිරීම වඩාත් සුදුසු වේ. එහිදී “කප්පියං භන්තේ” යනුවෙන් ඇති විනය කර්ම ගාථාව තෙවරක් කියමින් පූජා කළ යුතුය. එසේ නොමැතිව පලතුරු ගොඩවල් පූජා කළ ද බුදුන්ට පූජාවක් බවට පත් නොවේ.
පැපොල් හා කොමඩු අකැප වීමට හේතු -බුදුන් උදෙසා පලතුරක් පූජාවන් සඳහා තෝරා ගැනීමේ දී එය මහා ඵල හෝ කුඩා ඵල ගණයට අයත්දැයි විමසා බැලිය යුතුය. මහා ඵල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාමාන්‍යය ශරීරයක් ඇති පිරිමියකු තම අත මිටමෙලවීමෙන් පසු එම මිටට වඩා පලතුරු ගෙඩිය විශාල නම් එය මහ ඵල ගණයට අයත් වන අතර මිටට වඩා කුඩා පලතුරු කුඩා ඵල ගණයට අයත් වේ. මහා ඵල අෂ්ට පාන හෝ ගිලන්පස පූජාවන් සඳහා භාවිතා නොකරන බව ඔබ තරයේ සිතෙහි තබාගත යුතුය. විශේෂයෙන්ම බොහෝ පන්සල්වල මෙන්ම නිවෙස්වල ද සවස් කාලයේ බුද්ධ පූජාවන් සඳහා පැපොල, කොමඩු, අන්නාසි වැනි මහා ඵල යොදාගනු ලබන මුත් එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක් වන්නේය. එමගින් අපේක්ෂිත පින ඔබට සිදු නොවන අතර සිදුවන්නේ අකුසලයකි.එමනිසා ඔබ දෙහි, දොඩම්, උගුරැස්ස, සියඹලා, වෙරළු, බෙලි වැනි කුඩා ඵලයන් මෙම ගිලන්පස සඳහා පූජා කිරීමට හැකිනම් එතුළින් ඔබට සිදු වන්නේ කුසලයක්ම ය.
අෂ්ට පාන සකස් කළ යුතු නිවැරැදි ආකාරය-බොහෝදෙනා තම පහසුව ගැන පමණක් සිතා කටයුතු කිරීම හේතුවෙන් බොහෝ පව් සිදු කරගනී. ඇතැම් විට අනවබෝධය නිසා ද එම අකුසලයන් සිදු කර ගනී. බුදුන් වහන්සේ යනු ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේය.උන්වහන්සේ උදෙසා කුමන හෝ පූජාවක් කිරීමේදී ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් පිරිසිදුව එම කාර්යය කිරීමට වගබලා ගත යුතු ය. එසේ නොමැති වුවහොත් ඔබ විසින් සිදු කරනු ලබන පූජාවෙන් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබේ. අෂ්ට පාන සකස් කිරීමේදී පිරිසිදුභාවය ඉතාමත් අවශ්‍ය කාරණයක් බව සිත්හි තබා ගෙන මෙම කටයුතුවලට මුල පිරීම යහපත් ප්‍රතිඵල අත්කර දෙනු ලබයි.

පිරිමි පාර්ශවය මෙන්ම කාන්තා පාර්ශවය මේ පිළිබඳව නිසි අවබෝධයෙන් සිටිය යුතු ය. ඇතැම් විට වැඩි යහපත්භාවය උදෙසා සෑම පානයක්ම උණු ජලයෙන් සැකසීම ඇතැම් අයගේ සිරිත වේ. නමුත් එය නොකළ යුතු ය. විකාලයේ ගිලන්පස (බෙලිමල්, කෝපි, තේ, පස් පංගුව) වශයෙන් භාවිතා කරනු ලබන බෙහෙත් ගිලන්පස හැර අනෙක් සෑම පානයක් සඳහාම පිරිසිදු ඇල් ජලය භාවිතා කළ යුතු වේ.
ඔබ අඹ යුෂ වැනි දෙයක් සැකසීමේදී අඹ යුෂ අඩුකෝප්පයකට ඇල් ජලය අඩුකෝප්ප තුනක් මිශ්‍ර කිරීම අවශ්‍ය වේ.එසේ මිශ්‍ර කිරීමෙන් පසු ඉතාමත් පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් කැබලි නොසිටින ලෙස පෙරා ගත යුතුය. මෙය පෙරා ගැනීමේදී ප්ලාස්ටික් හෝ යකඩ පෙරනයන් භාවිතා නොකිරීමට වගබලා ගත යුතු වේ. එමෙන්ම පලතුරු පෙරන ලද පෙරනයෙන් තේ වැනි දෑ පෙරීම සිදු නොකළ යුතු අතර ඒ ඒ පාන වර්ග සඳහා පෙරන දෙකක් පමණ තබා ගැනීම යහපත් ය. විශේෂයෙන් නිවසේ එදිනෙදා භාවිත කරන කිසිදු පෙරනයක් හෝ භාජන මෙම පූජා පානයන් සැකසීමේදී භාවිත නොකිරීමට ද ඔබ වගබලා ගත යුතුය. එසේ ඉතා පවිත්‍රව එම කාර්යයන් සිදු කිරීමෙන් ඔබට අවශ්‍ය සාර්ථක ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගත හැකි වේ. විශේෂයෙන් මෙම පාන වර්ග සැකසීමේ දී නිවසේ සතුන්ගෙන් හෝ බාහිර කුඩා කෘම් ආදී සතුන්ගෙන් ඉඳුල් වීම සිදු නොවිය යුත්තකි.
ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට සිදු කරන ලද උත්තම පූජාවක් බැවින් බෝධි පූජාවලදී මෙන්ම බුද්ධ පූජාවලදී ද එය ඉතා පවිත්‍රව හා පිරිසිදුව කිරීම මෙලොව පරලොව දෙකටම වැඩදායි වේ.
මෙවැනි කරුණු කාරණා ඉතා හොඳින් දැන සිටීමත්, එම කරුණු අන් අය සමඟ බෙදා හදා ගැනීමත් තුළින් ඔබ උදෑසන බුද්ධ පූජාව, දහවල් බුද්ධ පූජාව හා සවස ගිලන්පස පූජා කිරීමේදී නියමාකාරයෙන් පින් රැස් කර ගැනීමට අවස්ථාව හිමි වන අතර ධර්මානුකූල දැනුම අන්‍යයන්ට ලබාදීම තුළින් රටක් සමාජයක් සුවපත් කිරීමේ මහා කුසල් සම්භාරය ද ඔබට ලැබෙනු ඇත.