බේබි කැරියර් උපකරණය නිවැරදිව භාවිතා කරන ක්‍රම 5 ක්
වර්තමානයේ දෙමාපියන් බොහෝ විට තමන්ගේ දෑත නිදහසේ තබාගෙන ළදරුවකු එහා මෙහා රැගෙන යාම සඳහා “බේබි කැරියර්” (Baby carrier) උපකරණයක් භාවිතා කරනවා. නමුත් ළදරුවාගේ සෞඛ්‍යයට හානි වීම වළක්වා ගැනීම සඳහා මේ ලිපියෙන් අපි එවැන්නක් නිවැරදිව පළඳින ආකාරය ගැන උපදෙස් කිහිපයක් ලබා දෙන්නට සිතුවා.
- ඔබ මිලදීගත් බේබි කැරියර් උපකරණය නිවැරැදිව භාවිතා කරන ආකාරය පිළිබඳව එහි නිෂ්පාදකයන් ලබා දී ඇති උපදෙස් සෑම විටම අනුගමනය කරන්න.
- බේබි කැරියර් උපකරණයක් මාස 4ට අඩු ළදරුවන්ට සහ තවමත් හිස ඔසවා ගැනීමට නොහැකි ළදරුවන්ට නිර්දේශ කෙරෙන්නේ නැහැ.
01. ළදරුවාගේ හිස නිවැරදිව තබන්න.

- ළදරුවාගේ නිකට ඔහුගේ පපුවෙන් ඈත්ව තබන්න. සෑමවිටම නිකටට පහලින් ඇඟිලි 2ක පරතරයක්වත් තිබෙන බවට තහවුරු කරගන්න.
- දරුවාගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඔබට නිරීක්ෂණය කළ හැකි වන පරිදි සෑම විටම දරුවාගේ මුහුණ ඔබට පැහැදිලිව දිස් වන ලෙස තිබිය යුතුයි. ළදරුවා තබා ගන්නා විට ඔහුගේ නාසය සහ කට අවහිර නොවන බවට තහවුරු කරගන්න.
- ළදරුවාට සෑමවිටම බේබි කැරියර් උපකරණයෙන් ඉවත බැලිය හැකි වන පරිදි හිස පිහිටිය යුතු අතර කිසිදු අවස්ථාවක රෙදි ඔහුගේ මුහුණ හා ස්පර්ෂ වෙමින් නොතිබිය යුතුයි.
- දරුවාගේ මුහුණ තමාගේම පපුව පැත්තට බර වී හෝ ඔබගේ සිරුරට තද වී නොතිබිය යුතුයි. එම ඉරියව් දෙකෙන්ම ඔහුගේ හුස්ම ගැනීමට අහිතකර බලපෑම් ඇති කෙරෙනවා.
02. ළදරුවාගේ පාද නිවැරදිව තබන්න.

- ළදරුවාගේ පාද සෑම විටම එම්(M) හැඩයකින් පිහිටිය යුතුයි.
- ඔබගේ උදරය දෙපසින් පිහිටන පරිදි දරුවාගේ දෙපා ඈත්ව තිබිය යුතුයි.
- දරුවාගේ කළවා වලට හොඳින් ආධාරකයක් සැපයී තිබිය යුතු අතර දණහිස් සහ උකුල (hips)නැවී තිබිය යුතුයි. ළදරුවාගේ දණහිස් ඔහුගේ පසුපසට වඩා තරමක් ඉහළින් පිහිටිය යුතුයි.
- ළදරුවාගේ දෙපා සෘජුව පහළට එල්ලී නොතිබිය යුතුයි. එම ඉරියව්වෙන් පිහිටීම ළදරුවාගේ උකුල වර්ධනය වීම කෙරෙහි බලපා පසුව ඩිස්ප්ලේෂියා (dysplasia) තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
03. ළදරුවාගේ කොන්ද කෙරෙහි අවධානය යොමු කරන්න.

- ළදරුවාගේ කොන්ද වක්‍ර වී පැවතිය යුතු අතර බෙල්ල දක්වාම හොඳ ආධාරකයක් ලැබී තිබිය යුතුයි.
04. උපකරණය තදින් පැළඳගන්න.

- ළදරුවා සුරැකිව පිහිටන පරිදි බේබි කැරියර් උපකරණය ඔබ තදින් පැළඳගෙන සිටිය යුතුයි. ළදරුවා සහ ඔබේ සිරුර අතට පැහැදිලි හිඩැසක් නොතිබිය යුතුයි. කෙසේ නමුත් එය අතිශයින්ම තද නොවිය යුතු අතර ඔබේ අත දැමිය හැකි තරමේ ඉඩක් පැවතිය යුතුයි.
- දරුවාට පහසුවෙන් හිස, අත් හා පා එහා මෙහා කිරීමේ හැකියාව තිබිය යුතුයි.
- උපකරණය ප්‍රමාණවත් තරම් තදින් පැළඳගෙන නැත්නම් දරුවා පහළට ලිස්සා යා හැකි අතර එමගින් ළදරුවාගේ ශ්වසනය අවහිර වීමත්, ඔබේ කොන්දට අමතර පීඩනයක් එල්ල වීමත් සිදුවිය හැකියි.
05. නිවැරදි උස තෝරාගන්න.

- ළදරුවා ඔබේ සිරුරට එරෙහිව කෙතරම් උසකින් පිහිටිය යුතු දැයි තීරණය කරන්න. සාමාන්‍යයෙන් නිවැරදි උස වන්නේ ඔබට හිස පහත් කර ඔබේ දරුවාගේ හිස සිප ගත හැකි වන තරම් උසයි.