The Lanka Post

Official Lanka Post Blog

කොණ්ඩා මෝස්තරයෙන් විලාසිතා කරන සෙන්ගමාලම් අලියා

විවිධ කොණ්ඩා මෝස්තරවලට ගැහැණු පිරිමි හැමෝම කැමතියි. මොකද තමන්ගේ කොණ්ඩයේ ප්‍රමාණය අනුව මුහුණේ හැඩය අනුව කොණ්ඩා මෝස්තර වෙනස් වෙනවා.ඒ වගේම විවිධ කොණ්ඩා මෝස්තර නිසා අපට ආකර්ශණීය පෙනුමකුත් ලැබෙනවා. ඇතැම් පුද්ගලයන් ඔවුන්ට ආනන්‍ය වුණු මෝස්තරයන් පවා භාවිතා කරනවා.ඉතින් ඒ පුද්ගලයා ඒ කොණ්ඩා මෝස්තරය නිසාම ප්‍රචලිත වෙලා විශේෂ වෙලා සිටින අවස්ථාත් තියෙනවා.ඉතින් මිනිසුන් වුණු අපි හැරුණම මේ වගේ කොණ්ඩා මෝස්තර නිසා විශේෂ වුණු අලියෙක් ගැන අහලා තියෙනවා ද. ඒ කොණ්ඩා මෝස්තරය තමයි බොබ් කට්. එය අපේ කාන්තා පාර්ශවය වැඩිපුරම කැමති ජනප්‍රිය කොණ්ඩා මෝස්තරයක් නේ. ඉතින් කවුද මේ බොබ් කට් මෝස්තරය දාන හස්තියා. එහෙනම් කියවලා බලමුකෝ.

ඉතින් මේ හස්තියා අපිට හමුවෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්. මේ හස්තියාගෙ නම සෙන්ගමාලම්. මෙයාගේ සුවිශේෂී කොණ්ඩා මෝස්තරය නිසාම ඇය ලෝකය පුරාම ජනප්‍රියවෙලා තියෙන්නේ  “බොබ්කට් සෙන්මාලම් ” ( Bob Cut Sengamalam) නමින්. ඉතින් මේ බොබ්කට් සෙන්ගමාලම් හස්තියා තමිල්නාඩුවේ මන්නර්ගුඩ් නගරයේ පිහිටි රාජගෝපාල් ස්වාමි කෝවිලේ ජීවත් වෙනවා. මේ හස්තියා 2003 වසරේ දී තමයි තමිල්නාඩුවට ගෙන එනු ලබන්නේ. එතෙක් ඒ හස්තියා කේරළ ප්‍රාන්තයේ සිටි බවයි වාර්තා වෙන්නේ.

ඉතින් මේ සෙන්ගමාලම් අලියා ආදරයෙන් බලා කියා ගන්නේ එස්. රාජගෝපාල් මහතා විසින්. ඉතින් මේ හස්තියාට සුවිශේෂි කොණ්ඩා මෝස්තරය ලබාදුන්නෙත් මේ රාජගෝපාල් විසින්මයි.කුඩා කාලයේ සිටම රාජගෝපාල් විසින් සෙන්ගමාලම්ගේ මේ සුවිශේෂී කොණ්ඩා මෝස්තර සැකසීම සිදු කළ අතර එය දැන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේ අනෙක් රටවල පවා ප්‍රසිද්ධයි.ඉතින් මුළු ලෝකයක්ම මේ හස්තියාව දන්නේ “බොබ් කට් සෙන්ගමාලම් ” නමින්. ඉන්දියාවේ අලි අතර නිරූපිකාව තමයි මේ සෙන්ගමාලම්.

ඉතින් මේ අලියාගේ භාරකාරයා වුණු රාජගෝපාල් මහතා හස්තියාගේ කොණ්ඩා මෝස්තරය ගැන දක්වන්නේ මෙවන් අදහසක්. “සෙන්ගමාලම් මගේ දරුවා වගේ. මට ඇයට විශේෂ පෙනුමක් ලබාදෙන්නට ඕන වුණා.වරක් මම බොබ් කට් කැපූ අලි පැටවෙක්  අන්තර්ජාල වීඩියෝ පටයකින් නැරඹුවා.ඉතින් මම සෙන්ගමාලම්ගේ කොණ්ඩය වවන්න පටන් ගත්තා.  පසුගිය අවුරුදු කිහිපය තුළ මම ඇගේ කොණ්ඩය ඉතා පරිස්සමින් නඩත්තු කරමින් සිටිනවා.”

2018 වසරේ දී මේ සෙන්ගමාලම් හස්තියාගේ ඡායාරූප සමාජ මාධ්‍යවල වැඩි වශයෙන්  හුවමාරු වුණු අතර ඒ අවස්ථාවේදී රාජගෝපාල් පවසා තිබුණේ අලියා කුඩා දරුවෙක් මෙන් රැකබලා ගන්නා බවයි. ඉතින් ඔහු පවසන විදියට මේ ආකාරයට හස්තියාව හැඩ ගන්වා ගන්නට හස්තියාගේ මිත්‍රශීලී සන්සුන්භාවය වඩා වැදගත් වුණාලු. කොහොමහරි රාජගෝපාල් මහතාට හස්තියාගේ මේ අපූරු කොණ්ඩය නඩත්තු කරන්නට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වෙනවා.

ඒ නිසා රාජගෝපාල් මහතාට සිය සුරතලාගේ කොණ්ඩය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට සිදුවෙනවා. ඉතින් ඔහු සෙන්ගමාලම්ගේ හිසකෙස් වියළිවීම වළක්වන්නට වගේම පිරිසිදුව නීරෝගීව පවත්වා ගන්නට කටයුතු කරනවා. ඒ සඳහා  හිසකෙස් වියළීම වළක්වන ෂැම්පු භාවිතා කර දවසට තුන් වරක් පමණ හිසකෙස් සෝදා හරින අතර ගිම්හානයේදීත් අවම වශයෙන් සෙසු කාලයන්වලදීත් දිනකට එක් වරක් හෝ සේදීම සිදු කරනවා. ඒ විතරක් නොවෙයි එසේ කොණ්ඩය පිරිසිදු කිරීමෙන් උකුණන් ඉවත්වී කුණු දූවිලි ඉවත්වීම සිදුවෙන බව රාජ්ගෝපාල් මහතා පවසා සිටියා.

මොකද සෙන්ගමාලම්ට හදිසියෙන් හෝ හිස කැසීමක් ඇතිවුණොත් ගසක හෝ කණුවක ඇතුල්ලුවොත් ඇයගේ හිසකෙස් කැඩීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා හිස කැසීමට හේතුවන කුණු දූවිලි උකුණන් ඉවත් කරන්නට රාජගෝපාල් මහතා සෙන්ගමාල්ම්ව දවසකට තුන්වරක් නාවනු ලබනවා. ඒ වගේම ස්නානයේ දී හස්තියාගේ කොණ්ඩය පිරිසිදු කරන්නට බුරුසුවක් තබාගෙන ඇති අතර වෙනත් යම් සීරෙන දේකින් ස්පර්ශ කළොත් කොණ්ඩය වැඩීම නතර වන නිසා රාජගෝපාල් මහතා ඒ කටයුත්තට බුරුසුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

ඉතින් තමිල්නාඩුවේ සෙන්ගමාලම්ට විශාල රසික පිරිසික් සිටින අතර ඒ සෙන්ගමාලම්ගේ සුවිශේෂී කොණ්ඩා මෝස්තරයට පින්සිදු වන්නටයි. ඉතින් මුළු ලෝකයේම බොබ් කට් කොණ්ඩා මෝස්තර නිසා සෙන්ගමාලම් ප්‍රසිද්ධ වුණු නිසා තවත් බොහෝ ඇත් ගොව්වන් සිය හස්තීන්ටත් මේ මෝස්තරය නිර්මාණය කර විශේෂ පෙනුමක් ලබාදෙන්නටත් කටයුතු කර තිබෙනවා.සංකරන් කෝවිල සහ අල්වාර් තිරුනගිරි විහාරස්ථානවල නිලධාරීන් තමන්ගේ අලි ඇතුන් වුණු ගෝමති සහ අතිනායගී යන අයටත් ඒ කොණ්ඩා මෝස්තරය දීමට උත්සාහ කර තිබුණා.

නමුත් සෙන්ගමාලම්ට වගේ ඝන හිසකෙස් නැති නිසා ඒ හස්තීන්ට සෙන්ගමාලම් සමඟ තරග කරන්නට හැකියාවක් නොමැති බව රාජගෝපාල් මහතා පවසා සිටියා. ඉතින් රාජගෝපාල් සිය සුරතලාට ප්‍රීතිමත් නිදහස් ජීවිතයක් ගත කිරීමට පසුබිම සලසා දී තිබෙන අතර ඔහු පුනර්ජීවන පශු කඳවුරේ වෛද්‍යවරුන්ගේ උපදෙස් ද අනුගමනය කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. ඒ නිසාම සෙන්ගමාලම් සැබැවින්ම සන්සුන්ව සහ මිත්‍රශීලීව සිටින හස්තියෙක් ලෙසටයි සැලකෙන්නේ. වර්තමානය වෙද්දී ඉන්දියානු වන නිළධාරිනියක් වන සුධා රමන් ඇගේ Twitter ගිණුමට එක්කළ පළ කිරීමක් නිසා සෙන්ගමාලම් අද බොහෝ අය හදුනාගෙන තියෙනවා.

ඉතින් ඉන්දියානු අලි අතර නිරූපිකාව වන බොබ් කට් සෙන්ගමාලම් අද ලොවක් දන්නා හස්තියෙක් බවට පත්ව සිටිනවා. ඉතින් ඒ සඳහා ගෞරවය සෙන්ගමාලම්ගේ භාරකරු වූ රජගෝපාල් මහතාට නිතැතින්ම හිමිවෙනවා.