තනි ගසින් නිර්මාණ කර ලොව විශාලම බුද්ධ ප්‍රතිමාව
ලංකාවේ කාලයෙන් කාලයට දකින්නට ලැබෙන විශිෂ්ඨ නිර්මාණ බොහෝමයි .ඉතින් එවැනි දැවැන්ත නිර්මාණයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙය ලොව තනි ගසකින් නිර්මාණය කළ විශාලම දැවමය බුද්ධ ප්‍රතිමාවයි. මෙය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වන අතර මේ ප්‍රතිමාව ස්ථාපිත කර ඇත්තේ මිනුවන්ගොඩ ආසන්නයේ අළුතෑපොල ගණේකන්ද විහාර භූමියේ. ඉතින් මේ විහාරයත් ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පුදබිමක් විදියට හඳුනා ගන්නට පුළුවන්.
මේ ප්‍රතිමාව ගැන කතා කරන්න පෙර මේ ඓතිහාසික පුදබිමේ ඉතිහාසය ගැන විමසා බැලීම වැදගත්. ඉතා සුන්දර පරිසරයක ස්ථානගත වෙලා තියෙන මේ විහාරය එකල වළගම්බා රජතුමා කලක් සැඟවී සිටි ස්ථානය ලෙසටත් සඳහන් වෙනවා. වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත්වුණත් දීර්ඝ කාලයක් පාලනය ගෙනයාමට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ සමයේ දී දරුණු ලෙස එල්ල වුණු ද්‍රවිඩ ආක්‍රමණ වගේම බැමිණිතියා නියං සාගතයත් එතුමාගේ පාලනයට බාධා එල්ල කළා. ඉතින් ඉතිහාසයේ සඳහන් වෙන විදියට රජකම අත්හැර පලාගිය වළගම්බා රජු වසර ගණනාවක්ම ගතකළේ වනගතව. ඒ කාලයේ දී ඔහු සිය රාජකීයන් සමඟ ලංකාවේ විවිධ ප්‍රදේශවල සැඟවී සිටි බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. එසේ සැඟවී සිටිමින් චෝලයන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව සටන් වදින්නට සේනා සංවිධානය කළා. ඉන්පසුව ක්‍රි.පූ. 89 දී චෝලයන් පරදවා අනුරාධපුර බලයට පත්වෙනවා. ඉතින් වළගම්බා රජු දුර්භික්ෂ සමයේ චෝල ආක්‍රමණ හමුවේ ලංකාවේ වාසය කළ විවිධ ප්‍රදේශ, සැඟවී සිටි ගල්ලෙන් පසුකාලීනව පූජනීය ස්ථාන බවට පත්වුණා.
ලංකාවේ අද දකින්නට ලැබෙන පූජනීය ස්ථාන බොහෝමයක් එසේ සංවර්ධනය වූ පුදබිම්. ඉතින් මේ අලුතෑපොල ගණේකන්ද රජ මහා විහාරය සංඝරත්නය වැඩ වාසය කරන පින්බිම සලකනු ලබන්නේත් එකල වලගම්බා රජු මෙහි වාසය කළ ප්‍රදේශයක් ලෙස සලකමින්.
ඉතින් මේ විහාර පරිශ්‍රයේ එදා වලගම්බා රජු ස්නානය කළ බවට සැලකෙන පොකුණක් ද දකින්නට තිබෙන අතර වලගම්බා රජු එදා වාසය කළ බවට සැලකෙන ගල්ලෙන අද විහාර මන්දිරයක්. ඒ විහාර මන්දිරයේ ඉතා විශාල සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇතුළුව තවත් පැරණි පිළිම වහන්සේලා රාශියක් දකින්නට පුළුවන්.

ඉතින් වසර සිය ගණනක ඉතිහසයක් හිමි මේ විහාරස්ථානයේ වැදගත්කම වැඩි කරන නිර්මාණයක් වෙන්නේ මෑතකදී නිර්මාණය කරන ලද දැවමය බුද්ධ ප්‍රතිමාව. මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් පවසන පරිදි මේ බුදු පිළිම වහන්සේ ලෝකයේ දැවයෙන් නිර්මිත විශාලම සැතපෙන බුදු පිළිම වහන්සේ.
මේ දැවැන්ත සැතපෙන බුදු පිළිමය විහාරස්ථානයේ කඳුමුදුනේ ගල් තලාව මත ස්ථාපිත කර ඇති අතර බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන අයුරින් මනරම් ලෙස නිර්මාණය කර තිබෙනු දකින්නට හැකියි. මේ බුදු පිළිමය නිර්මාණය කරන්නට මුලින්ම අදහස ඉදිරිපත් කර තියෙන්නේ ගණේකන්ද රජමහා විහාරයේ විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය, නැදලගමුවේ ධම්මදින්න හිමිපාණන් වහන්සේ. ඒ 2013 වසරේ දී. උන්වහන්සේට ඇතිවුණු මේ අදහස තම සමීපතම දායක සභාවට දන්වා ඔවුන්ගේ සහයෝගය ද ලබාගෙන තිබුණා. ඒ විතරක් නොවෙයි මේ බුද්ධ ප්‍රතිමාව නිවැරදිව සජීවී ආකාරයට නිර්මාණය කරන්නට අවශ්‍ය උපදෙස් ලබාගන්නට උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය මාලිංග මාරසිංහ මහතා ද දැනුවත් කළා.
මේ සියලු දෙනාගේම සහයෝගයෙන් මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නට දක්ෂ නිර්මාණ ශිල්පියෙක් අවශ්‍ය වූ නිසාවෙන් සියලුදෙනාගේ ඒකමතික තීරණයෙන් ඒ සඳහා වඩාත්ම සුදුස්සා ලෙස තෝරා ගත්තේ දිවුලපිටිය මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි කැටයම් නිර්මාණකරුවෙක් වූ ජයන්ත සරත් කුමාර මහතා. මේ දැවැන්ත සැතපෙන බුද්ධ ප්‍රතිමාව සජීවී අයුරින් නිර්මාණය කිරීම ධම්මදින්න හිමියන් ඇතුළු පිරිසගේ ඒකායන අරමුණ වූ නිසා ඒ සඳහා බුද්ධ ප්‍රතිමා රැසක් අධ්‍යයනය කරන්නට ඔවුන්ට සිදුවුණා. එහිදී ලංකාව පුරා නිර්මිත සැතපෙන බුදු පිළිම වහන්සේලා වගේම වෙනත් අයුරින් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ද ඔවුන් විසින් අධ්‍යනය කොට අවශ්‍ය කරුණු කාරණා රැස්කර ගනු ලැබුවා. ඉතින් සුවිශේෂීත්වයන් රැසකින් යුක්තව මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව නෙළීමේ බාරදූර්ය කර්තව්‍ය ජයන්ත සරත් කුමාර මහතාට පැවරුණා.

ඉතින් මේ දැවැන්ත නිර්මාණය සඳහා අවශ්‍ය ලී කොටය සොයා ගන්නටත් ධම්මදින්න හිමියන් ඇතුළු ප්‍රදේශයේ දායක සභාව තම හිතවතුන්ගේ උදව් බලාපොරොත්තු වුණා. ඒ අනුව ධම්මදින්න හිමියන්ගේ සහ දායක පිරිසගේ අදහස මල්ඵල ගන්වමින් 2015 වසරේ දී ලැබුණු ඇමතුමට අනුව මේ ප්‍රතිමාව නිර්මාණයට අවශ්‍ය දැව කොටය ලබා ගන්නට හැකියාව ලැබුණා. ඒ හෝමාගම සොමිරිචි ලී වෙළඳසැලෙන්. මේ සැතපෙන බුදු පිළිම වහන්සේ නිර්මාණයට උස අඩි 5 ½ ක් වූ, දිග අඩි 18 ක් වූ මේ ලී කොටය සුදුසු බැව් වටහා ගත් ධම්මදින්න හිමියන් ඇතුළු පිරිස ඒ “පාර මාර” කියන විශාල මාර කඳ මිලට ගනු ලබනවා. ඉතින් එසේ මිලදී ගත් ලී කොටය අලුතෑපොලට ප්‍රවාහනය කිරීමත් ලෙහෙසි පහසු කාර්යයක් නොවූ බව පැවසෙනවා. පිටිපන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන්ගේ සහාය ඇතුව මේ ලී කොටය විහාරස්ථානයට ප්‍රවාහනය කර සරත් කුමාර මහතා එහි නිර්මාණ කටයුත්ත ආරම්භ කළා.
මහත් ගෞරවයෙන් නිර්මාණයේ නිරත වුණු සරත් කුමාර මහතා ඔහුගේ විශිෂ්ඨ දැනුම භාවිතා කරමින් බුදු පිළිමය සජීවී අයුරින් නිර්මාණය කරන්නට වෙහෙස වුණා. පොළොන්නරුව ගල් විහාරයේ වැඩ සිටින සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ලක්ෂණ වගේම තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ කලා ලක්ෂණ එකතු කරමින් මේ දැවැන්ත ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව පොළොන්නරු යුගයේ බුද්ධ ප්‍රතිමා බොහෝමයක කලා ලක්ෂණ බහුලව භාවිතා කරමින් නිර්මාණය කරන ලද්දක් විදියට හඳුනා ගන්නට හැකියි. තනි දැව කොටයකින් නිර්මාණය කර ඇති මේ සැතපෙන බුදු පිළිම වහන්සේ දිගින් අඩි 17 ක් වන අතර උසින් අඩි 4 ½ කි. මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කරන්නට වසර තුනක කාලයක් ගතව ඇති අතර අද වන විට එය ලොවක් දන්නා විශාලම දැවමය බුද්ධ ප්‍රතිමාව බවට පත්ව තියෙනවා.

ඉතින් මේ දැවැන්ත සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු අවසන් වූ විට බොහෝ දෙනෙකුගේ අදහස අනුව විහාරස්ථානයේ කඳු ශිඛරයක තැන්පත් කිරීම. ඒ නිසාවෙන් කඳු මුදුනේ පිළිම ගෙය නිර්මාණය කිරීම ආරම්භ වූ අතර එයත් ඉතාම බාරදූර්ය කටයුත්තක් වුණා. ප්‍රදේශයේ සියලුදෙනාගේ සහභාගිත්වයෙන් ඉතාමත් අසීරු වැඩ කටයුතුවලින් පසුව කඳු මුදුනේ ඉතාමත් මනරම් පිළිමගෙයක් නිර්මාණය වුණා. ඒ වෙද්දී වැඩ අවසන්ව තිබුණු දැවැන්ත දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා ප්‍රතිස්ථාපනය සහ මහජනයාට වන්දනා කරන්නට නිරාවරණය (2019 ) කිරීම මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සහාභාගීත්වයෙන් සිදු කෙරුණා. ඉතින් වලගම්බා රජු වාසය කළ අලුතෑපොල ගණේකන්ද නම් ඓතිහාසික භූමිය අද ලොවක් දැන හඳුනා ගන්නේ ලොව තනි ගසකින් කළ විශාලම සැතපෙන බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින ඉපැරණි විහාරස්ථානය ලෙසයි.