The Lanka Post

Official Lanka Post Blog

සම වියළීමට බලපාන වැරදි පුරුදු 6 ක්

සමට ඇතිවන බොහෝ ගැටලු වලට එදිනෙදා ජීවිතයේ ඔබ විසින් සිදුකරන ඇතැම් පුරුදු ද අහිතකරව බලපායි. සම අධික ලෙස වියළීයාම සහ කැසීම වැනි තත්වයන් හටගැනීමට ද එවැනි ඇතැම් දෛනික පුරුදු හේතු සාධක විය හැකියි.සමේ සුන්දරත්වය සහ නීරෝගිබව ‍රැකගැනීම සඳහා සම ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.විශේෂයෙන්ම සමේ තෙතමනය හොඳින් පවත්වාගත යුතුයි.
බැලූ බැල්මට අහිතකරයි කියා නොපෙනුණත් මේ පුරුදු දිගින් දිගටම පැවතුණොත් ඔබේ සමට හානියක් විය හැකියි. එබැවින් ඔබේ සම වියළී ගොස් හානි වීමෙන් වළක්වාගැනීමට හැකිතාක් මෙම පුරුදු වලින් බැහැර වීමට කටයුතු කරන්න.

1.දිගු වෙලාවක් තිස්සේ උණුවතුර ස්නානය කිරීම

විඩාබර දවසක අවසානයේ වැඩි වෙලාවක් උණුසුම් වතුරෙන් ස්නානය කිරීම ඇඟට සුවදායි බවක් සැහැල්ලුවක් ලබාදුන්නද ඇත්තෙන්ම ඉන් ඔබේ සම ආතතියට පත්වීම ද සිදුවිය හැකියි. සමේ පිරිපුන්බව , ප්‍රාණවත් බව සහ තරුණබව ආරක්ෂාවන අයුරින් සමේ තෙතමනය රඳවාතබාගන්නා සමේ බාහිර තෙල් ස්තරය උණුවතුර ස්නානයේදි ඉවත්ව යයි.දිගු වෙලාවක් උණුවතුරෙන් ස්නානය කිරීමෙන් ඔබේ සම ඉක්මනින් වියළී යයි.සමේ ආරක්ෂක ආවරණයට හානි නොවන පරිදි ඇල්මරුණු ජලයෙන් මෘදු සබන් වර්ගයක් භාවිතා කරමින් සම පිරිසිදු කරගන්න.

2.වැරදි වෙලාවන් හිදී මොයිෂ්චරයිසිං ක්‍රීම් භාවිතය

සම්පූර්ණයෙන්ම මුහුණ හෝ සම වියළා ගැනීමෙන් පසු මොයිෂ්චරයිසිං ක්‍රීම් ගැල්වීමට වඩා සම පිරිසිදු කරගත් පසුව තෙත්ව තිබියදීම ක්‍රීම් ගැල්වීමෙන් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි බවයි කියවෙන්නේ.වියළි සමකට මෙසේ ක්‍රීම් ගැල්වීමෙන් මෙමඟින් සම තුලට තෙතමනය කාවැදී සම වඩාත් හොඳින් සජලීයව පවත්වාගත හැකියි.කොරියානු කාන්තාවන් මුහුණ සේදීමෙන් පසු තත්පර 3 ක් ඇතුලත මොයිෂ්චරයිසිං ක්‍රීම් ගැල්වීම ඔවුන්ගේ සුන්දරත්වයේ තවත් රහසක් බව සඳහන් වේ.

3.මේස් නොමැතිව නිදාගැනීම

මේස පැලඳගෙන නින්දට යාම ඔබට සුවබර නින්දක් අත්කරදෙයි. දෙපා උණුසුම්ව තබමින් පීඩාකාරි ලෙස විලුඹ පැලීම් ඇති නොවේ. දෙපතුල් වල ක්‍රීම් ගල්වා මේස් පැලඳ නිදාගැනීමෙන් ඔබේ යටි පතුල් වියළීයාම බොහෝ දුරට වළක්වාගැනීමට ඔබට හැකියි.

4.තුවායෙන් මුහුණ ඇතිල්ලීම

මුහුණ සෝදාගත් පසු තුවායකින් වැරෙන් මුහුණ ඇතිල්ලීම කිසිසේත්ම උචිත ක්‍රියාවක් නොවේ.එසේ කරන විට කපු තුවා වල රළු බව හේතුවෙන් සංවේදී සම වියළී යාම හා සමේ අපහසුතා ඇතිවීමට ඉඩ ඇත.බොහෝ විට සම රතුවීම සහ කසන සුලු බවක් දැනීම සිදුවිය හැකියි.පිසදැමීම සඳහා තුවායෙන් සමට සියුම් ලෙස තට්‍ටු කරමින් තෙත මාත්තු කරන්න.නැතිනම් සම පවනේ වියළෙන්නට හරින්න.

5.නිතරම පාහේ බිත්තර පරිභෝජනය කිරීම

බිත්තර යනු ඉහළ මට්ට්මේ ප්‍රෝටීන මූලාශ්‍රයක් වුවත් ඒවා අධිකව ආහාරයට ගැනීමෙන් සමේ වියළිබව හටගත හැකියි.බිත්තර වල විටමින් ඒ ඉහළ බැවින් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම ඔබේ සමට සෘණාත්මක බලපෑම් ඇතිකරවීමට ඉඩකඩ ඇත.දිනකට බිත්තර 3 කට වඩා ආහාරයට නොගැනීම ඉතා වැදගත්ය.

6.වැරදි මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ග භාවිතය

ඔබ භාවිතා කරන මොයිෂ්චරයිසිං ක්‍රීම් එකෙන් ඔබේ සමට කිසිඳු ප්‍රතිඵලයක් නොලැබෙන බවක් ඔබට හැ‍ඟෙයි නම් , එය ඔබේ සමට ගැලපෙනම නිෂ්පාදනය නොවෙනවා විය හැකියි.ඔබේ සම තෙල් අධික නම්, water-based වර්ගයේ ක්‍රීම් නිෂ්පාදනයක් ‍තෝරාගැනීම වඩාත් උචිතයි.සංවේදී සමක් ඇති යට සම සමනය කරවන (soothing) අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් භාවිතා කල හැකියි. ඔබේ සමට ගැලපෙනම නිෂ්පාදනය ‍තෝරාගැනිමෙන් ඔබේ සමේ තෙතමනය ඉක්මනින් ඉවත් වී සම වියළී යාම වළක්වාගත හැකියි.