The Lanka Post

Official Lanka Post Blog

බොහෝ අය ඉවතලන ගුණ දායික පලතුරු ඇට වර්ග 7 ක්

එදිනෙදා ජීවිතයේ අප විවිධ පලතුරු වර්ග පරිභෝජනය කරන්නෙමු. සාමාන්‍යයෙන් පලතුරු යනු ඉහළ විටමින් සහ ඛනිජ පෝෂක සංයුතියක් සහිත ආහාර වේ. මේවා පරිභෝජනය කිරීමෙන් අපේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ බොහෝය. නමුත් ඇතැම් පලතුරු වර්ග පරිභෝජනය කරන විට ඒවායේ පොතු සමඟ ඇට ද ඉවත්කිරීම අප සිදුකරන්නෙමු. නමුත් ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට පලතුරු වල හොඳ පෝෂක ප්‍රමාණයක් මෙම ඇට වල අන්තර්ගත වන බවයි.එවැනි පලතුරු ඇට වර්ග කිහිපයක් ගැනයි අද අප ඔබට තොරතුරු කියන්නේ.

1.කොමඩු ඇට-සමේ නීරෝගිබව සඳහා

පැණි කොමඩු ඉතා රසවත් වගේම ගුණවත් පලතුරකි. ඒවා ආහාරයට ගැනීමේදි එහි අඩංගු කලු ඇට අප ඉවතලන්නෙමු. නමුත් එම කොමඩු ඇට වල විටමින් සී සහ ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල බව සඳහන් වේ. ඒවා අපේ සමේ කුරුලෑ වාට ප්‍රතිකාර කිරීමට සහ සමේ සමස්ත නිරෝගිබව ‍රැකගැනීමට ගුණ දේ. මේවා කබලේ බැද හෝ ලුණු සහ ඔලිව් තෙල් ස්වල්පයක් දමා උඳුනක බේක් කිරීමෙන් පසු ආහාරයට ගත හැකියි.ඒවා ජීර්ණය කිරීම පහසු බැවින් පලතුර ආහාරයට ගන්නා විට ඇට ගිලීම අනතුරුදායක නොවේ.

2.පැපොල් ඇට-නීරෝගි ආහාර ජීර්ණ පද්ධතියකට

පැපොල් ඇට වල පැපේන් නම් එන්සයිම බහුලව අඩංගු වේ. ඒවා ආපේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට දායක වේ.පැපොල් ඇට ආහාරයට ගැනීම ගැටලුවක් නොවන බවයි පැවසෙන්නේ.

3.දෙළුම් ඇට-සිරුරේ බර අඩුකරගැනීමට

දෙළුම් වල යුෂ ලබාගැනීමෙන් පසු ඒවායේ ඇට ඉවත් කිරීම බොහෝ අය සිදුකරති. නමුත් ඒවායේ අපේ සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක ‍රැසක් අඩංගු වේ. විශේෂයෙන්ම දෙළුම් ඇට අපේ සිරුරේ බර අඩුකරගැනීමට උපකාරී වන බව විශේෂඥයින් පෙන්වාදේ.යුෂ පානය කරන විට හෝ දෙළුම් ආහාරයට ගන්නා විට ඇට ඉවත නොදමා පරිභෝජනය කරන්න

4.අලිගැට පේර ඇට- හෘද සෞඛ්‍යය සඳහා ගුණ දේ

පලතුරු ලෝකයේ පෝෂණ ගුණයෙන් ඉහළ යැයි සැලකෙන තවත් වැදගත් පලතුරක් වන්නේ අලිගැට පේරය.ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ අලිගැට පේර ඇට ඌන උපයෝජිත පෝෂක ප්‍රභවයක් බවත් ඒවා අපේ හෘදයේ සහ රුධිර නාළ සෞඛ්‍යය සම්බන්ධයෙන් ඉහළ ප්‍රතිලාභ අත්කරදෙන බවත්ය.අලිගැට පේර කපන විට ඇටය ඉවත්කර දුඹුරු පොත්ත ඉවත්කර වියළා ගන්න. ඉන්පසු එය බ්ලෙන්ඩරයට දමා කුඩු කරගන්න.ඔබට ඒවා ස්මූති හෝ තේ පාන වලට මුසු කර පානය කල හැකියි.

5.දොඩම් ඇට- සිරුරේ ශක්තිය වැඩිදියුණු කර ප්‍රබෝධමත් කරයි

දොඩම් ඔබේ සිරුරට හොඳ නැවුම් බවක් , ප්‍රබෝධයක් ලබාදෙන රසවත් පලතුරකි. දොඩම් යුෂ පානය අප අතර ඉතා ජනප්‍රියයි.මේවා අත්බෙහෙත් වලදී භාවිතා කෙරුනද දොඩම් වල ඇට අප පරිභෝජනය කරන්නේ කලාතුරකින්. නමුත් දොඩම් ඇට සිරුරේ ශක්ති මට්ටම වැඩිකරවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.දොඩම් ආහාරයට ගන්නා විට හෝ ආහාර වලට හෝ යුෂ පාන සැකසිමේදී ඒවාට මුසුකරමින් දොඩම් ඇට පරිභෝජනය කල හැක.

6.පෙයාර්ස් ඇට- දත් වල නීරෝගි බවට

අප්‍රිකානු පෙයාර්ස් (Dacryodes edulis) ප්‍රභේදය ඉතා ගුණදායි ඖෂධීය පලතුරක් ලෙස සැලකේ.මේවායේ කැල්සියම් ඇතුලු අපේ සිරුරට වැදගත් බොහෝ පෝෂක සමන්විතය්. එහි අන්තර්ගත කැල්සියම් පෝෂණය දත් වල වර්ධනය සහ නීරෝගි පැවැත්ම සඳහා දායකත්වය ලබාදේ.මෙම ඇට වර්ග ඇතැම් වෙළඳසැල් වල මිලට ගත හැකියි. මේවායේ තෙල් ස්වභාවික අතිරේක පෝෂක ලෙස ඇතැම් අය භාවිතා කරති.

7.පැෂන් ෆෘට් ඇට- මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

පැෂන් ෆෘට් වල මැග්නීසියම් බහුල බව සඳහන් වේ. එම ගුණ පුද්ගලයින්ගේ කාංසා මට්ටම් නියාමනයේදි ධනාත්මක ප්‍රතිලාභ ලබාදේ. ඒ අනුව පැෂන් ෆෘට් ඇට ආහාරයට ගැනීමෙන් පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට හිතකර ගුණ ලැබිය හැකිය. පැෂන් ෆෘට් වල ඇට ආහාරටට ගැනීම ඉතා පහසුයි. ඒවා හොඳින් කුඩු වන සේ බ්ලෙන්ඩ් කර පැෂන් ෆෘට් යුෂ ලෙස සකසා පානය කිරීම සිදුකල හැකියි.

(මෙම ලිපිය දැනුම පිණිස පමණක් ලියන ලද්දකි. ඇතිවිය හැකි අතුරු ආබාධ හා සෞඛ්‍ය අවදානම් පිළිබඳ නිසි අවභෝදයක් ලබාගැනීමට පරිභෝජනයට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.)