The Lanka Post

Official Lanka Post Blog

හැමදාම මල් පිපෙන්න ඕකිඩ් වවන විදිය

අලංකාර වගේම වඩාත් ආකර්ශණීය මල් වර්ග අතුරින් ඕකිඩ් කියන්නේ ඒ ලැයිස්තුවේ ඉහළින්ම තියෙන මල් වර්ගයක්. ගෙවතු අලංකරණයට වගේම උද්‍යාන අලංකරණයටත් වාණිජමය වශයෙන් වුණත් ඕකිඩ් වගා කරන්නට පුළුවන් .ඉතින් ඕකිඩ් කියන්නේ බොහෝ සංවේදී ශාකයක්. උඩවැඩියා කියන්නෙත් මේ ඕකිඩ් මල්වලටමයි. ඉතින් ලංකාවේ දේශගුණික තත්ත්වය මත ඕකිඩ් මල් වර්ග කිහිපයක් වගා කරන්නට හැකියි.ඉතින් ඕකිඩ් වර්ෂා කාලයේ දී වනාන්තරවල ස්වාභාවිකව වැඩෙන ශාකයක් වුණත් විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ කෘතීම පරිසරයේදීත් වගා කළ හැකියි.

ඉතින් ඕකිඩ් වගාවේදීත් බොහෝ අයට තියෙන ගැටළුවක් තමයි මල් හට නොගැනීම.ඉතින් මල් හට ගැනීම පොහොරවලින් නැත්නම් වෙනත් රසායනිකවලින් පමණක් කළ නොහැකියි. ඒ සඳහා වගාව සැලසුම් කිරීමේ සිටම නඩත්තු කරගෙන යන මුළු කාලය පුරාම අපි කරන දේවල් වගේම ස්වාභාවික පරිසරයේ දායකත්වයත් වඩාත් වැදගත් වෙනවා. 

ඕකිඩ් වගාවට අවශ්‍ය පාරිසරික සාධක 

  • ඕකිඩ්  වර්ග මුහුදු මට්ටමේ සිට අඩි 4000 කට වඩා ඉහළ ප්‍රදේශවල වගා කළ හැකියි.
  • ආර්ද්‍රතාවය 70%- 75 % ක් අතර විය යුතුයි. ආර්ද්‍රතාවය ශාකයේ වර්ධනයට, මල් හටගැනීමට , හට ගන්නා මල් කිනිතිවල ප්‍රමාණයට සහ වර්ණය කෙරෙහිත් බලපානු ලබනවා. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර ගෘහය තුළ පායන කාලයේදී කෘතීමව ජල මීදුම් ලෙස විසුරවීම ඒ සඳහා සුදුසුයි.
  • සූර්යාලෝකය  55% – 60 % ත් අතර විය යුතුයි. නමුත් ශාකයේ වර්ගය අනුව උෂ්ණත්වය වෙනස්විය හැකියි.ඒ වගේම මේ ශාකයේ වර්ධනයට දහවල වගේම රාත්‍රී කාලයේ උෂ්ණත්වයත් බලපානු ලබනවා.

ඕකිඩ් පැල ලබා ගැනීම 

  • වර්ධක ප්‍රචාරණය මගින් පැල ලබාගත හැකියි.
  • පැල කිරීමට පෙර සුදුසු වායව කොටසක් තෝරාගත යුතුයි. ඒ සඳහා හොඳින් වැඩුණු සරු මව් ශාකයක් තෝරාගත යුතුයි. 
  • බඳුනේ රෝපණ මාධ්‍ය සකසා ගැනීමට පොල්ලෙලි පමණයි භාවිතා කරන්නේ. කැබලි විදියට කපාගත් යුත්තේ වියළි පොල්ලෙලි නොවෙයි. අමු පොල්ලෙලි ඒ සඳහා භාවිතා කළ යුතුයි. බදුනේ 1/3 වැසෙන තුරු පොල් ලෙලි පුරවා  වායව කොටස සිටුවා නැවත පොල් ලෙලි ක්‍රමානුකූලව අතුරන්න. එයින් ගොළුබෙලි හානිවලින් ආරක්ෂා කරගන්නත් හිරු එළියෙන් අංකුර ආරක්ෂා කරගන්නත් එය වඩා වැදගත් වෙනවා.
  • මාධ්‍ය සැකසීමේදී මුල් මණ්ඩලයට හොඳින් වාතය ලැබීම ගැන අවධානය යොමු කළ යුතුයි.ඕකිඩ් වාතය මගින් ශාකයට ඕන කරන පෝෂ්‍ය පදාර්ථ හොඳින් ලබා ගන්නා නිසා ඒ කරුණ ගැන සැලකිලිමත් විය යුතුයි.
  • දිනපතාම ජලය සැපයිය යුතුයි.සති 3 ත් 6 ත් අතර කාලයකින් පසුව පැල හටගෙන ඇති ආකාරය දකින්නට පුළුවන්. 

පැල සිටුවීම 

  • පැලය සිටුවීමේදී එහි අනවශ්‍ය ඉහල කොටස් කපා අවශ්‍ය නම් දීලීර ආසාදනයක් වෙයි කියා සිතේ නම් තිරාම් දියරය තුවාල වුණු කොටස්වලට ආලේප කළ හැකියි.
  • පැලය සිටුවීමට බදුනට ගල් කැට අඩක් දමා ඒ මතුපිටින් අගුරු වැනි බරින් අඩු දේවල් අතුරා ගත යුතුයි .(උළු කැබලි ලී පතුරු ආදියත් සුදුසුයි.) මේ බදුන තාවකාලික එකක් ලෙස තබාගෙන පැල ටිකක් වැඩුණු පසු නැවත වෙනත් බදුනකට මාරු කරන්නටත් හැකියි.
  • ස්කන්ධය අඩු නිසා ජලය දැමීමේදී උඩට එන නිසා බදුන මත කුඩා ගල් කිහිපයක් ද දමන්නට හැකියි. ජලය හොඳින් බැස යන ආකාරයට බදුන සැකසීම අනිවාර්‍ය කාරණයක්.

 නඩත්තු කටයුතු  

  • ඕකිඩ් පැලය රෝපණය කර  සති 3 ක් වත් යනතුරු පොහොර නොදැමිය යුතුයි. 
  • ශකය සඳහා සැපයිය යුතු වෙන්නේ ඔස්මොකොට් වැනි පොහොරක්.
  • පැලය අගල් 4ක් පමණ උස යද්දි K 44 වැනි පොහොරක් ශාක පත්‍රවලට ස්ප්රේ කළ හැකියි.

උදේ තදින් අව්ව පායන්නට පෙර පොහොර යෙදිය යුතු අතර අව්ව නැති සහ වැසි දි නවල පොහොර යොදන්න එපා.වයසින් අඩු කුඩා ශාකවලට මුල් ඇදීම වේගවත් කරන්න පොස්පරස් වැඩි පොහොර අනුපාතයකුත්, ඊට පසු නයිට්‍රජන් වැඩි පොහොර අනුපාතයකුත් ,පසුව 20:20 වගේ සමබර පොහොර මිශ්‍රණයක් ද මල් පිපෙන වයසේදී පොටෑසියම් වැඩි ප්‍රතිශතයක් සහිත K 40 / K 44 වගේ පොහොර නිසි කාල පරතයකින් යෙදීම වැදගත්.

  • ගොළු බෙල්ලන්, හංගොල්ලන් වැනි සතුන් ඉවත් කරන්න. කෘමි හානි ඇත්නම් පමණක් කෘමිනාශක භාවිතා කරන්න.
  • වැසි කාලයේදී සතියකට දෙවරක් කැප්ටාන්, ඇන්ටිකෝල් වැනි දිලීර නාශකයක් යොදන්න. පායන කාලවලදී සතියකට වරක් පමණක් දිලීර නාශක  යොදන්න.
  • ශාකයට ජලය සැපයීමේ දී ශාකයේ වර්ධනය, මාධ්‍ය සහ දේශගුණය සලකා බැලිය යුතුයි. තද පෑවුම් කාලයක දිනකට දෙවරක් ජලය සැපයිය යුතු වෙනවා.ජලය යෙදීමේදී උදෑසන කාලයේ නැත්නම් ශාකය සූර්යාලෝකයෙන් රත්වෙන්නට පෙර ජලය සැපයිය යුතුයි.ජලය තුළ ලවණ ගතිය හෝ ක්ලෝරීන් අඩංගු වන්නේ නම් ගසෙහි මනා වර්ධනයක් නොවන අතර මල් හට ගත්තත්  ඒවා ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඒ නිසා ලවණ ආදිය ඇති ජලය යොදන්නට හැකි නම් වඩාත් සුදුසුයි.
  • මේ ශාකය ආලෝකය දිනකට පැය 12/ 14 කාලයක් ප්‍රිය කරනවා. නමුත් දිනකට එතරම් කාලයක් ආලෝකය ලබාදීමේදි ඕකිඩ් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුයි. ඇතැම් වර්ග ආලෝකයට කෙලින්ම නිරාවරණය කළ හැකි වුණත් තවත් වර්ග නිවසක් තුළ ඇති ආලෝකයට ප්‍රිය කරනවා. ගසේ වර්ධනයට වගේම මල් හටගැනීමටත් ආලෝකය ඉතා වැදගත් සාධකයක්.ගසේ පත්‍ර තද කොළ පාට වන්නේ නම් ආලෝකය වැඩි අතර පත්‍ර කහ පැහැ නම් ආලෝකය ප්‍රමාණවත් නැහැ. ලා කොල පාට වුණු පත්‍ර ඇත්නම් එය මනා ආලෝකයක් ලැබී ඇති බව පෙන්වයි.
  • ඉතින් මේ ක්‍රමවේදවලට අනුව ශාකය කුඩා කාලයේ සිටම නිවැරදි ලෙස නඩත්තු කිරීමෙන් ඕකිඩ් වගාව සාර්ථක කරගන්නට ඔබට හැකියාව ලැබේවි.