The Lanka Post

Official Lanka Post Blog

කඨින චීවර පූජාව සිදු කරන පිළිවෙත හා ආනිසංස

දැන් එළඹෙන්නේ වස් කාලයනේ. වෙනදා වගේ නැතිවුණත් මිනිස් සහභාගිත්වය අවම කඨින පූජාව පවත්වන්න කටයුතු කරනවා. කඨින පිංකමකට සහභාගි වෙන්න දායක වෙන්න පුළුවන් වෙනවා කියන්නේ මහත්ඵල මහානිසංස ගෙන දෙන පිංකමක්.

ගුණවත් භික්‍ෂූන් වහන්සේට කඨින සිවුරු පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවන බව ද දක්වා ඇත. කඨින සිවුරෙහි කරන ලද ගෙත්තමෙහි ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් සක්විති රජ සැප ලැබෙන බව කියයි.

පන්සලක කඨින පූජා උත්සවයක් පවත්වනු ලබන්නේ අවුරුද්දකට වතාවක්. ඒ සඳහා බෞද්ධයෝ මාස ගණනාවකට පෙර සිටම සූදානම් වෙනවා. කඨින පූජාව සිදු කරන්නේ විහාරස්ථානයක වස් විසූ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ නමක් සඳහා. වස් කාලය පෙර වස් කාලය සහ පසුවස් කාලය ලෙස කාල දෙකකි.

  • පෙර වස් කාලය – ගිම්හාන සෘතුවේ අටවැනි පෝය එළඹි ඇසල මස (ජුලි) පුර පසළොස්වක පෝය දින පොහොය කොට පෙර වස් විසීම ආරම්භ වෙනවා.
  • වස් පවාරණය – පෙර වස් පවාරණය වප් පෝය දිනද (ඔක්තෝම්බර්) පසු වස් පවාරණය ඉල් පෝය දිනද (නොවැම්බර්) සිදු කරනවා.

වස් සමාදන් වූ භික්ෂූන්වහන්සේට වස්සාන සෘතුවේ හයවැනි පෝය දින වස් පවාරණය නමැති විනය කර්මය සිදුකර ගැනීමෙන් කඨින චීවරය ලබා ගැනීමට අවසර ඇත. මෙම කඨින චීවරයේ හිමිකම ලැබෙන්නේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේට ය. පසු වස් විසූ භික්ෂූන් වහන්සේ නමකට කඨින චීවරය ලබා ගැනීමේ වරප්‍රසාදයක් නැත.

චීවර මාසය– දායක පක්ෂය විසින් චීවර වස්ත්‍රයක් සොයාගනු ලැබේ. සියලු දෙනා සහභාගි කිරීමෙන් ලබා ගන්නා මුදලින් තමා එය සපයා ගැනීම කරන්නේ. ඉන් අදහස් කරන්නේ සියලු දෙනාගේ සහභාගිත්වයයි.

කඨිනය ඇතිරීම- කඨිනත්ථාරය ලෙස කඨින ඇතිරීම හඳුන්වනවා. වස් විසීම සහ කඨිනය ඇතිරීම බෞද්ධ විනයේ වැදගත් විනය ප්‍රඥප්තියකි. වස් සමාදන්ව එය ආරක්ෂා කරන සෑම භික්ෂූන් වහන්සේ නමකටම කඨින චීවරයක් ඇතිරීමට බුදුරජාණන්වහන්සේ අනු දැන වදාළහ. කඨින චීවරය සඳහා පිරිසුදු වස්ත්‍රයක් දායකයන් විසින් සාංඝිකව පූජා කළ යුතුයි. සිවුර පිළියෙළ කිරීමට අවශ්‍ය ඉඳීකටු නූල්, පඬු ආදිය ගිහියන් විසින් සපයා දීම සිරිතයි. එම කාර්යේ නියුත භික්ෂුන්වහන්සේට අවශ්‍ය දානය ද ගිහියන් පිළිගන්වයි. කඨිනය ඇතිරීම සඳහා ව්‍යක්ත භික්ෂුන්වහන්සේ නමකට සංඝ සම්මතයෙන් කඨිනය පැවරිය යුතුයි. මේ සඳහා ගිහියන් විසින් වස්ත්‍ර කිහිපයක් සපයා ඇත්නම් එයින් තෝරා ගැනෙනුයේ සුදුසුම වස්ත්‍රය යි.කඨිනය ඇතිරීමට වස් ජේදනය නොවූ භික්ෂුවක් හෝ කිහිප නමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා ප්‍රමාණයක් නෑ. කඨින පූජාව සිදු කරන්නේ භික්ෂූන්ටය. ඒ සඳහා අඩුම වශයෙන් පස් නමක්වත් සිටිය යුතුය. කඨිනය ඇතිරීමේ ආනිසංස ලබන්නේ එම විහාරස්ථානයේම වස් විසූ භික්ෂුන්වහන්සේලාය. භික්ෂූන් ගණනින් සතර නමක් හෝ ඊට අඩු නම් අනෙක් භික්ෂුන්වහන්සේ ගණ පුරාණය හැටියට සලකා කඨිනය ඇතිරිය යුතු වෙයි.

කඨිනය ලැබිය යුත්තෝ- දිරාගිය සිවුරක් ඇති භික්ෂුන් වහන්සේ නමක් සිටීනම් කඨිනය දියයුත්තේ එම භික්ෂුන් වහන්සේටය. දිරාගිය සිවුරු ඇති අය බොහෝ වෙත්නම් එය දිය යුත්තේ වැඩිමහලුම භික්ෂූන්වහන්සේටය. වැඩිමහළු භික්ෂූන්ද වැඩිවෙත්නම් ඒ අතරින්ද මහත් පිරිස් ඇති භික්ෂුවක් වෙත්නම් එදිනම සිවුර අතුරන්නට හැකිනම් එය උන්වහන්සේට පිදිය යුතුය. ඒ ස්වාමීන්වහන්සේට එදිනම කඨින සිවුර කරන්නට අපහසු බැවින් එය නවක භික්ෂුවකට දිය යුතුය. එසේ වුවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ එය පිළිගන්න අපි කැපීම්, මැසීම් කර දෙන්නෙමු යැයි කිව යුතුයි.දිරාගිය සිවුර දෙපට හෝ තනිපට සිවුරක් නම් අතුරන්නට දෙන කඨින වස්ත්‍රයද එපමණින් ම විය යුතුයි.

කඨින වස්ත්‍රය ගැනීමට යමෙක් ලෝභව සිටී නම් එය ඔහුට නොදිය යුතුයි. එසේම කඨින වස්ත්‍රය ගන්නා අය කඨිනය අතුරා පසුව සිවුරු දෙකක් කර ගන්නෙමැ යි සිතන අයට ද කඨින වස්ත්‍රය නොදිය යුතුය. කඨිනය දිය යුතු පිළිවෙළ ව්‍යක්ත භික්ෂූන් වහන්සේ නමක් විසින් මෙසේ සංඝයාට දන්වයි. ‘ස්වාමිනි සංඝයාට කඨින වස්ත්‍රයක් ලැබුණි. එය මේ මහණහට කඨිනය ඇතිරීමට දෙන්නේය යනුවෙනි.

එය ලබන අයට සංඝයා වහන්සේ කැමති නම් නිශ්ශබ්ද වෙනවා. කැමති නැත්නම් නම් ඒ බව ප්‍රකාශ කරයි. ඉන් පසු එය ලබාගත් භික්ෂූන් වහන්සේ සංඝයා ඉදිරියේ අසුනක් තබා කඨින චීවරය දෙ අතින් ගෙන ‘ඉමං කඨින චීවරං සංඝස්ස දේම’ ලෙස තුන්වරක් ප්‍රකාශ කරමින් අසුන මත තබා සංඝ සන්තක කරනවා.

කඨිනය අතුරන ආකාරය විනය න්‍යායයට අනුව විස්තර කරනවා. බුදුරජාණන්වහන්සේ විසින්ද දුර්වල සිවුරු ඇති භික්ෂුව කවරෙක්දැයි විමසා එවැනි නමක් නැත්නම් සංඝ සම්මතයෙන් පංචානිසංඝය හා අෂ්ට මාතෘකාව දන්නා නමකට කඨිනය ඇතිරීමට නියම කරනවා ය’ යනුවෙනි.

එයින් පසුව කඨින වාක්‍යය දන්නා භික්ෂුන් වහන්සේ නමක් නැගී සිට තුන්වාරයක් නමස්කාර කරමින් ‘සුනාතු මෙ භන්තෙ සංඝො… එව මෙතං ධාරයාමි’ යනුවෙන් කර්ම වාක්‍යය කියා නියම කරන ලද භික්ෂුන් වහන්සේට දුන් පසු උන්වහන්සේ සිවුර ගෙන ඇඳ සිටි පරණ සිවුරෙහි කොණක් ඒ මත තබා අලුත් සිවුර ගෙන තුන් වරක් නමස්කාරය කියා වැළඳගත් සිවුරෙහි කඨිනය අතුරන්නේ නම්, ‘ඉමාය සංඝාටියා කඨිනං අත්ථරාමි’ යන වාක්‍යය තුන් වරක් කියා කඨිනය අතුරනු ලබයි. කඨිනය ඇතිරීම පිළිබඳව කඨින බන්ධකයේ මහා විපත් විසිහතරක් දක්වා ඇත. එයින් එකක් යෙදේ නම් කඨිනය අතුරනු නොලබයි. සේදු වස්ත්‍රයක්, කෑලි කපන ලද වස්ත්‍රයක්, හිස් (තැනින් තැන) නූල් ඇද තිබෙන වස්ත්‍රයක් ආදි ලෙස.

කඨිනය ඇතිරීම සඳහා සම්පූර්ණ වියයුතු සම්පත් දා 7 ක් ඇත. සම්පත් වශයෙන් දක්වා ඇත්තේ සුදුසු දේ යනුයි. අලුත් වස්ත්‍රයකින් ඇතිරීම, පාංශකූල වස්ත්‍රයකින් ඇතිරීම, දෙපට සිවුරෙන් ඇතිරීම ආදී ලෙස.

කඨිනය අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ කඨිනය බඳින රැහැනක් ද නියම කර ඇත. ‘අනුජානාමි භික්ඛවෙ කඨිනං කඨින රජ්ජුං තත්ථ තත්ථ ඔ බන්දිත්වා සිබ්බේතුං’ මහණෙනි, ඒ ඒ තැන තබා සිවුරු මැසීමට කඨිනය හා කඨිනයෙහි බඳින රැහැනද නියම කරමි. ඉන් සිවුර මැසීමට අච්චුවක් සාදා ගැනීමට නියමකර ඇත. සිවුර එම අච්චුවෙහි අතුරා මසනු ලැබේ. කඨිනය ඇතුරූ භික්ෂුවට ලැබෙන ආනිසංස (වරප්‍රසාද) පහක් ඇත. එනම්,

  1. ආනමන්ත චාර – කඨිනාස්තරණය කළ දින සිට මැදින් පුර පසළොස්වක දක්වා ආරාමික භික්ෂුන්ගෙන් නො විමසා ගම්වල හැසිරිය හැකියි.
  2. අසමාදානචාර – තුන් සිවුරෙන් තමන් කැමති සිවුරකින් වෙන්ව විසීම
  3. ගණ භෝජන – ආරාධනාවක් අනුව සතර නමකට වැඩි ගණනක් කෑමදෙනු මැනැවැයි කියා ඉල්ලමින් ගොස් වැළඳීම
  4. යාවදත්ත චීවර – කැමති ප්‍රමාණයක් සිවුරු පරිභෝජනය චීවරුප්පාදය.
  5. කඨිනයක් ලැබූ භික්ෂුවකට හේමන්ත කාලය අවසාන වනතෙක් එම ආරාමයට ලැබෙන සියලු සිවුරු අයිතිය.

කඨින පූජාවේ පින් මහිම

  • ‘පඨවිරිව නජාතු කම්පතෙ – නචලති මේරුරිවාති වායුනා
  • වජිරම්ව නභිජ්ජතෙ ඝනං – තම්ධමතො කඨිනං වුච්චති’


මහ පොළොව මෙන් කම්පා නොවන මහමෙර මෙන් නොසැලෙන මහාමේරු පර්වතය මෙන් නොබිඳෙන ස්ථාවර වූ කුසල කර්මය කඨිනය යි.නාගිත තෙරුන් වහන්සේගේ කඨින පූජාව බුදුරජාණන් වහන්සේ විසින්ද ප්‍රශංසා කර ඇත. නාගිත තෙරුන් වහන්සේ පෙර කරන ලද එකම කඨින පූජාවෙන් ලත් වාසනා සම්පත් කිහිපයක් ඇත.

  • කල්ප තිහක් කිසිම දුකක් නොවිඳ සිටීම
  • කල්ප දහ අටක් දිව්‍ය සම්පත් ලැබීම
  • දහස් වාරයක් මහා බ්‍රහ්ම සම්පත් විඳීම
  • ඉඳිකටු සිදුරක් සිදුරක් පාසා සක්විති රජ සැප ලැබීම
  • ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ ආදී උසස් කුලවල ඉපදීම
  • මනා රූප සම්පත්තියක් ලැබීම
  • මහා මන්දිර වල සැප විඳීම
  • ඇත් අස් රිය රුවන් සම්පත් සහ උතුම් කන්‍යාවන් ලැබීම
  • වාර ගණනාවක් ප්‍රදේශ රජ වී සැප විඳීම

මෙම කඨිනානිසංස ස්ත්‍රී භාවයෙන් මිදීමටත්, දෙව් හා මිනිස් සැප ලබා ගැනීමටත්, නිවන් සැප ලබා ගැනීමටත් හේතුවන එකම මඟ වන බව සිඛී බුදුරජාණන්වහන්සේ වදාළ සේක.

  • “කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා
  • කඨින දානානිසංස මහප්ඵල භාවතං පන
  • කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“

“කඨින දානය අනෙක් සියලු දාන අභිබවා මහත්ඵල ලබා දෙන්නා වූ,සියලු දානයන්ට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ දානයක් වන්නේ ය.
පංච ආනන්ථරීය පාප කර්ම කළ අයට කඨින පූජාවේ පින් ලැබෙන්නේ, ඒ අකුසල කර්ම ඵලදීමෙන් පසුව බව සඳහන් වෙනවා.
මේ එළඹ ඇති වස් කාලයේ පිං සිතින් ඒ පිංකම් වලට දායක වී කුසල් කර්ම රැස් කරගන්න
.