අමතර ආදායමක් ලබාදෙන කිරි අල වගාව
කිරි අල කියන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ආහාරවේල් අතර ප්‍රමුඛත්වයක් ගත්තු අල වර්ගයක්. අද වෙද්දි තරුණ පරපුරෙන් ඈත්ව යන නමුත් ඉහළ පෝෂ්‍ය ගුණයක් සහිත රසවත් ආහාරයක් තමයි මේ කිරි අල. කිරි අල ගසේ අල පමණක් නොවෙයි කොළ වගේම පිතිත් රසවත් ලෙස සකසා ආහාරයට ගනු ලබනවා. කොළ මැල්ලුමක් ලෙසටත් ලෙසටත් ආහාරයට ගන්නා අතර මේ කිරි අල දියවැඩියා රෝගීන්ට ද ඉතා ගුණදායකයි.කිරි අල වගාවක් නිවැරදිව කළොත් අමතර ආදායමක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. කිරි අල වගා කිරීම එතරම් අපහසු නැහැ. මොකද අවම කෘමි හානි ඇතිවන අඩු අවදානමක් සහිත වගාවක් නිසා. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක වගා කරන්නට වගේම ඕනෑම කාලයක වගා කරන්නටත් හැකියාව පවතිනවා.
ලංකාවේ කිරි අල වර්ග ගණනාවක් පැවතියත් අස්වනු ව්‍යුහය සහ වෙනත් කරුණු හේතුකරගෙන නිර්දේශ කර ඇත්තේ ඉසුරු නමින් හැඳින්වෙන රතු ඉරි කිරි අල ප්‍රභේදයයි.ළපටි පිත්තේ දාර දිගේ පවතින රතු ඉර ඕනෑම ක්‍රමයකට අනුවර්තිත නිල් කොළ පැහැ පත්‍ර, ඒවායේ ලක්ෂණ වෙයි. එයින් අපනයනයට සුදුසු ආකාරයේ අල කුරුල්ලන් නිපදවන අතර එවැනි අලයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 125-150 ක් පමණ වෙයි.
දේශගුණික අවශ්‍යතා සහ පස

- අනෙකුත් දේශගුණික සාධක කෙසේවෙතත් වාර්ෂික වර්ෂාපතනය නම් මිලිමීටර් 1500 හෝ ඊට වඩා වැඩිවිය යුතුයි.
- ඒ වගේම කඩින් කඩ වියලි පරිසර තත්ත්ව පවතින උණුසුම් දේශගුණයක් තිබීමත්, සෙවණට ලැදි මේ භෝගය වැඩි අලෝක තත්ත්වය යටතේ වැඩි අස්වැන්නක් ලබා ගන්නට හැකියාව පවතිනවා. නමුත් වියළි සහ අතරමැදි කලාපවල, ආන්තික කුඹුරුවල, තෙත් කලාපයේ බැවුම් සහ ඕවිටි බිම්වල විවෘත බිම් තත්ත්වයන් යටතේ ප්‍රධාන බෝගයක් ලෙසත් වගා කරන්නට හැකියි.
- මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා උස ප්‍රදේශ වඩාත් සුදුසුයි.ඒ වගේම ජලවහනය හොඳින් සිදුවන කාබනික ද්‍රව්‍ය වැඩි ලෝම පස වඩාත්ම සුදුසුයි.
පැල ලබා ගැනීම

- වැඩි අස්වැන්නක් ලබාදෙන මව් අලවලින් පැළ ලබා ගැනීම. එවැනි මව් අලයකින් සිටුවීමට සුදුසු තත්ත්වයේ පැළ 15 ක් පමණ ලබා ගන්නට හැකියි.
- අංකුර නොකැපෙන පරිදි මව් අල අගල් 2-2.5 ඝනත්වයට පෙති කපා ගන්න. කැපුම් පෘෂ්ඨයට දැව අළු තැවරීම හෝ දිලීර නාශකයක ගිල්වීම කළ යුතුයි.
- තවාන් පාත්ති සැකසීම සෙවණ ඇති ස්ථානවල වැලි තවාන් ද, විවෘත ස්ථානවල වැලි, මතුපිට පස්, කාබනික පොහොර සමාන අනුපාතවලින් මිශ්‍ර කර තවාන් පාත්ති සකසා ගත යුතුයි.
- තවානේ පැළ සිටුවීම මෙහිදී අගල් 3-4 පරතරයට අල කැබලි තැන්පත් කළ යුතුයි.
- ඉන්පසු ඒ පෙති වැසෙන සේ සැහැල්ලු ලෙස වසන්න. තවානේ තෙතමනය පවත්වා ගැනීමට වරින් වර ජලය සපයන්න.
- ක්‍රමයෙන් පත්‍ර 4-5ක් වර්ධනය වුණු තවානේ මාස 1 ½ -2 වූ පැළ සිටුවීමට ගත හැකියි.

- පැල සිටුවීම වලවල් සැකසීමේදී සැහැල්ලු පසක නම් සෙන්ටිමීටර් 45*45*45 ද, මැටි පසක නම් සෙන්ටිමීටර් 60*60*60 ද වලවල් සකසා ගත යුතුයි.
- තනි භෝගයක් ලෙස වගා කරන්නේ නම් පැල අතර පරතරය මීටර් 1*1 ක් ද, සෙවණ තත්ත්වය යටතේ අතුරු භෝගයක් ලෙස වගා කරන්නේ නම් මීටර් 1.2*1.2 හෝ ඊට වැඩිවන සේ පැල සිටුවිය යුතුයි.
- වලවල් පිරවීමට හැකි තරම් කාබනික පොහොර භාවිතා කළ යුතුයි. එහිදී වර්ෂාව වැඩි කාලයේදී පිර වූ වලක් සහ වර්ෂාව අඩු කාලයේදී 2/3ක් පිරවූ වලක් ලෙස භාවිතා කළ යුතුයි. මේ සඳහා මතුපිට පස් සහ තාච්චියක් පමණ හොඳින් දිරාපත් වුණු කාබනික පොහොරවලින් පුරවන්න.
- වලේ මැදින් සැහැල්ලුවට සිටින සේ පැලය සිටුවන්න. මේ සඳහා වැසි කාලයේ ආරම්භය වඩාත් සුදුසුයි.
- පසේ තෙතමනය සීමා සහිත වන ප්‍රදේශයන්වල ඇතුලත පොල්ලෙලි තට්ටුවක් උඩ අතට සිටින සේ අතුරා ගන්න.
- කෙසෙල්, පොල් වගේ බෝග සමඟ අතුරුවගාවක් ලෙස කිරි අල වගා කිරීමේදී ඒ බෝගවලින් ඉවතලන ද්‍රව්‍ය කාබනික පොහොර ලෙස යොදාගත හැකියි.ප්‍රධාන බෝගයෙන් සෙවණ ලැබෙන නිසා පස වියළීයාම බෝහෝදුරට අඩුවීම එයින් සිදුවෙනවා.

- පොහොර යෙදීම -කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්නට හැකියි.
- එහිදී පොහොර යෙදිය යුත්තේ පසේ තෙතමනය පවතින අවස්ථාවේදී පමණක් වන අතර වර්ෂාවකට පසුව හෝ ජල සම්පාදනයෙන් පසුව වඩාත් සුදුසුයි.
- එහිදී නිර්දේශිත පොහොර ඒ ආකාරයෙන් සම්පූර්ණයෙන් යෙදීමට වග බලාගත යුතු අතර පැල සිටුවීමට පෙර සහ ඉන්පසු මාස 1 දී, 2 දී, 3 දී, සහ 4 දී යූරියා අවශ්‍ය ප්‍රමාණයට යෙදිය යුතුයි.
- සිටුවා මාස 4න් පසුව ගසේ වර්ධනය සීමාකර ගැනීම සඳහා නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය අඩු කරගත යුතුයි. ඒ නිසා වගාවට මාස 4 ½ -5 වයස් වුණු පසු යූරියා භාවිතා නොකළ යුතුයි.
- පොටෑසියම් පොහොර භාවිතයෙන් අල කුරුල්ලන් වැඩීම දිරි ගන්වන නිසා පොටෑෂ් පොහොර මාස 5 පසු දෙවතාවකදී පමණ යෙදිය යුතුයි.

- නඩත්තුව -බෝගයේ පත්‍රවලින් පොළව ආවරණය වනතුරු වල් පැලෑටි පාලනය ගැන අවධානය යොමුකළ යුතුයි.
- භෝග සිටුවීමෙන් මාස 4ක් වෙද්දී අල කුරුල්ලන්ගේ වැඩීම ආරම්භ වන අතර මේ කුරුල්ලන් වයස මාස 8-10 වනතුරු එය පස තුළ වැඩෙනවා. ඒ නිසා පොහොර යොදන සහ වල් පැලෑටි මර්දනය කරන සෑම අවස්ථාවකදීම පැලය මුලට පස් දමා වල පිරවීමට මතක තබා ගන්න.
- වර්ධක වර්ධනය සීමා කරන්නට මතුපිට දිවයන මුල් කැපී යන සේ ගස වටා පස් ලං කරන්න.
- උඩපත්‍ර මගින් සෙවණ වුණු පහළ පත්‍ර තලා දමන්න.
- මුල් කුණුවන රෝග තත්ත්වයෙන් මිදෙන්නට පත්‍ර බේරීමට පෙර තවානෙන් අල කැබලි සමඟ පැළ වෙන්කර සිටුවන්න.
- අස්වනු නෙලීම -අල කුරුල්ලන් මෝරන විට පත්‍ර හටගන්නා වේගය අඩුවෙයි. පත්‍ර ක්ෂේත්‍රඵලය අඩුවෙයි.පත්‍ර නටුවල දිග අඩුවෙයි.මෙවැනි අවස්ථාවක අල කුරුල්ලන් පොළව මතුපිටට වර්ධනය වෙනු දකින්නටත් පුළුවන්. එහිදී ගස වටා පස් ඉවත් කර තුවාල නොවන පරිදි අල කුරුල්ලන් ගලවා ගන්න.
- නෙලාගත් කිරි අල ගුණාත්මක බව හීන නොවී දිගු කලක් තබා ගත හැකියි.එහිදී අල කුරුල්ලන් පිරිසිදු කර තට්ටු 3-4 වඩා උස නොවන ලෙස හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ආවරණය සහිත ස්ථානයක ගබඩා කර තබන්න.
- දිගැටි ප්ලාස්කු හැඩයෙන් යුක්ත අලයේ ඉදිරි සහ පසු කෙළවරවල වට ප්‍රමාණයන්හි වෙනස අඩු, දුඹුරු පැහැ ශල්කමය ආවරණයක් සහිත අල කුරුල්ලන් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම ඉහළයි.
මේ කිරි අල වගාවට දරුණු කෘමි හානි සහ රෝග ඇති නොවෙන නමුත් කූඩිත්තන් හා කීඩෑවන්ගේ හානි, මුල් කුනුවීම් වගේ තත්ව ඇතිවුවත් ක්‍රමවත්ව වගා පාලන ක්‍රම අනුගමනයෙන් ඒ තත්ත්වයන් මගහරවාගෙන හොඳ අමතර ආදායමක් ලබා ගන්නට හැකියි.