The Lanka Post

Official Lanka Post Blog

යන අයගේ සිතුවිලි වෙනස් කරන හිටි ගමන් එළි මතුවෙන එම් ත්‍රිකෝණය

ලෝකයේ අපිට සිතා ගන්නට අමාරු අපහසු අද්භූත දේවල් ඕනෑතරම් සිදු වෙනවා. නමුත් ඒ සෑම සිදුවීමක්ම සවිස්තරව පැහැදිලි කර ගන්නට නොහැකි වුණු අවස්ථා ඕනෑ තරම් ඉතිහාසයේ තියෙනවා. තවත් අවස්ථාවල එවැනි දේ ගැන තොරතුරු හෙළි කරන්නට බලධරයන් උත්සාහ ගන්නෙත් නැහැ. ඉතින් අදහා ගන්නට  නොහැකි අද්භූත සිදුවීම් සිදුවන කලාප පොළවේ වගේම සාගර කලාපවලත් තියෙනවා.ඉතින් බර්මියුඩා ත්‍රිකෝණය ගැන නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් බර්මියුඩා ත්‍රිකෝණය හැරුණාම තවත් අද්භූත අමුතු අමුතු දේවල් සිදුවෙන කලාප කිහිපයක් අපිට හමුවෙනවා. ඉතින් අද කතා කරන්නට යන්නේ අදහා ගන්නට නොහැකි සිදුවීම් සිදුවන තවත් අද්භූත ත්‍රිකෝණයක් ගැන කතා කරන්නට. ඉතින් මේ යන්නට සූදානම් වෙන්නේ රුසියාවට.

රුසියාවේ පළාත් කිහිපයකම පැහැදිලි කර ගන්නට අපහසු අමුතු කලාප 12ක් පමණ හඳුනා ගෙන තියෙනවා. ඉතින් මේ අමුතු දේවල් සිදුවෙන කලාප අතුරින් වඩාත්  ගුප්තම ස්ථානය විදියට සලකන්නේ පර්ම් පළාතේ එම් ත්‍රිකෝණය. මේ කලාපය සොයාගෙන තියෙන්නේ 1980 ගණන්වලදී කියලයි සඳහන් වෙන්නේ. මේ කලාපය යූරල් කඳුවැටියේ මොලියොරීකා ගම අසල වර්ග කිලෝමීටර් 70 ක් පුරාවටවට පැතිර පවතිනවා. ඉතින් මේ එම් නගරය නැත්නම් එම් ත්‍රිකෝණය යන එම් නමින් කියවෙන්නේ මොලියොබ්කා ගම යන්නයි.

එහි අමුතු එළි, අමුතු ඡායාවන් වගේම අහසේ අමුතු සලකුණු නිරන්තරයෙන් දකින්න්ට ලැබෙන අතර පිටසක්වල සිට හඳුනා නොගත් පියාඹන වස්තූන් පවා නිතරම මේ ප්‍රදේශයට පැමිණෙන බවත් වාර්තා වෙනවා. තවත් අවස්ථාවල හඳුනා නොගත් ශක්තීන් ආදිය පවා මෙහි පැවතුණත් මේ පළාතේ මිනිසුන්ට නම් ඒවා ආගන්තුක දේවල් නොවෙයි.

ඉතින් මේ ගම්මානය එතරම් ජනාකීර්ණ වුණු ගම්මානයක් නොවෙයි.නමුත් ගස් වැල් පිරුණු සුන්දර පරිසරයක් ඒ ගම්මානයට හිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගම්මානයට ළඟා වෙන්නට තියෙන්නෙත් එතරම් පහසු මාර්ගයක් නම් නෙවෙයි. ඉතාම දුෂ්කර ගමනකින් පසුව තමයි මේ ගම්මානයට ළඟා වෙන්නට හැකියාව ලැබෙන්නේ.

කොහොමවුණත් තවමත් අබිරහස් ගොන්නක් සැඟවී තියෙන මේ කලාපයේ සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. බර්මියුඩා ත්‍රිකෝණය නමින් හඳුන්වන කලාපයට යන අහස් යානා නැව් ආදිය අතුරුදහන් කරන බව අපි අහලා තියෙනවන් නේ.ඉතින් මේ එම් ත්‍රිකෝණයේ නම් එවැනි වස්තූන් ඒ කලාපයට ඇද ගැනීමක් කරන්නේ  නැහැ. මිනිසුන්, යාන වාහන ආදිය අතුරුදන් වන කලාපයක් නොවන නමුත් මේ රුසියාවේ එම් ත්‍රිකෝණ කලාපයට ඇතුළු වුණාට පස්සේ ඉහතින් සඳහන් කළා වගේම වර්ණවත් එළි සහ වර්ණවත් විදුලි කෙටීම් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කලාපය තුළට ඇතුළු වෙද්දි ඔරලෝසුවේ කටු ඉබේම නතර වෙන බවත් වාර්තා වෙනවා.

ඒ කරුණු කාරණා හැරුණාම මේ එම් ත්‍රිකෝණ කලාපයේ සුලබවම දකින්නට හැකි තවත් සුවිශේෂී දෙයක් තමයි හඳුනා ගන්නට තවමත් අපොහොසත් වූ පියාඹන වස්තූන්. ඉතින් නිරන්තරයෙන් දකින්නට හැකි මේ පියාඹන වස්තූන් පිළිබඳව පර්යේෂකයන් පලකර ඇත්තේ මෙවන් අදහසක්. මෙය පෘථිවියේ පහළ ස්ථරවල සිට ඉහළට චුම්බක  ශක්තිය පැමිණෙන්නට ඇති මාර්ගයක් බවයි. ඉතින් විද්‍යාඥයන් මේ පිළිබඳව තවදුරත් පැහැදිලි කරමින් පවසා සිටින්නේ පෘථිවියේ ගැඹුරේ සිට ශක්තිමත් ශක්තිය පොළවෙන් ඉහළට පැමිණෙන්නේ පොළව යට තිබෙන බිඳුණු තැන්වල සිට බවත් ඒ බිඳුණු ස්ථාන ඇත්තටම පෘථිවියේ පහළ ස්ථරවල සිට ඉහළට විද්‍යුත් චුම්බක ශක්තිය පැමිණෙන්නට තියෙන මාර්ගයක් බවත් ය. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අමුතු වර්ණ වගේම අමුතු අමුතු ශබ්දයන් පවා ඇති වෙන්නේ.

Molebka's triangle – MYSTICAL RUSSIA

ඉතින් ඒ විදියට එම් ත්‍රිකෝණය ගැන සඳහන් වුණත් එම් ත්‍රිකෝණ කලාපයේ සිදුවෙන දේවල් පිළිබඳව තවමත් නිසි පරිදි විස්තර කරගන්නට හැකියාවක් නම් නැහැ. එය ඉතාම අපහසු දෙයක් ලෙසටයි සඳහන් වෙන්නේ.

යම් අයෙක් ගිනි මැලයක් ළඟ සිටිද්දී ට්‍රැක්ටරයක් ගමන් කරන හඬ ඇසෙන්නට පුළුවන්. ඉතින් ඒ පුද්ගලයා ට්‍රැක්ටරයක් පැමිණීමේ අපේක්ශාවෙන් බලා සිටියත් ට්‍රැක්ටරයක් දකින්නට නම් හැකියාවක් නැහැ. නමුත්  ඒ පුද්ගලයාට ට්‍රැක්ටරය ක්‍රමයෙන් ළඟාවෙන බවත් ටිකකින් තමාව පසුකර යන හඬත් ඇසුණත් එය දකින්නට හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ අමුතු දේවල් මේ එම් ත්‍රිකෝණයේ නිතරම සිද්ධ වෙනවා. ඉතින් මේ කලාපයේ ජීවත් වෙන ජනතාව මේ සිදුවිම් නිසා බොහෝ අවස්ථාවල බියට පත්වෙනවා.

ඒ වගේමයි කෙනෙක් ඇවිදගෙන යද්දි ඒ පුද්ගලයාගේ මොළයට යම් බලපෑමක් සිදුවුණා වගේ බලවත් හැඟීමකට පත් වෙනවා. නමුත් පසුදිනයේ ඒ ස්ථානයටම නැවත ගිහින් බැලුවත් නැවත එවැනි දෙයක් අත් විදින්නට නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ දැනෙන දේවල් තවත් අයෙක්ට සාක්ෂි විදියට පෙන්වන්න නම් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කතා කරන එම් ත්‍රිකෝණය තුළ විද්‍යුත් චුම්බක ස්වභාවය සහ වෙනම අපට නොපෙනෙන  බලවේගයන් ක්‍රිරියාත්මක වනවා කියලා තමයි  විද්‍යාඥයන් විශ්වාස කරනු ලබන්නේ. 

කොහොමවුණත් කිසිදු ආකාරයේ ප්‍රතිකාර විදියක් සොයාගන්නට නොහැකි ලෙඩ රෝග සුවපත් කරන්නට, ආත්මයන් සුවපත් කරන්නට, තවත් අයෙක් තුළ තියෙන  හැකියාවන් වැඩිදියුණු කරන්නට ආදී බලයන් ද මේ එම් ත්‍රිකෝණය ආශ්‍රිත කලාපයේ දී පුද්ගලයන්ට ලැබෙන බවත් විශ්වාස කරනවා.යම් අයෙක් ළඟ ඇති පසුගාමී තත්ත්වයන් නැතිකර ඔහුට අරමුණක් ඇතිව යහපත් අනාගතයක් උරුම කරන්නට මේ එම් ත්‍රිකෝණය ආශ්‍රිත කලාපයේ දී ඒ අයගේ මනස  හැඩගැසෙන බවයි පැවසෙන්නේ.

මාධ්‍යවේදී පවල් මුකටෝ පසුව ගගනගාමියෙක් බවට පත්ව සෝවියට් රුසියාවේ රුසියාව නියෝජනය කරමින්  ගගනගාමියෙක් විදියට අභ්‍යවකාශය පවා තරණය කිරීම් නිදසුන් ලෙස ඔවුන් දක්වනවා.ඔහුගේ එම් ත්‍රිකෝණයට ගිය ගමනින් පසුව මේ සියලුම දේවල් සිදුවුණා කියලයි පවෙල් මුකටෝ පවසා තිබුණේ. ඔහු එම් ත්‍රිකෝණය සම්බන්ධ ගවේෂන වාර්තාවක් තැබූ පවෙල් නැවත මොස්කව්වලට පැමිණි විට ඔහුගේ සිතුවිලි හැඟීම් සියල්ල වෙනස් වුණු බව ඔහුට දැනී තිබූ බවත් තමන්ගේ සැඟවී තිබුණු හැකියාවන් එළියට ආවේ මේ එම් ත්‍රිකෝණයට ගිය ගමන නිසා බවත් ඔහු පවසා තිබුණා.

 ඒ වගේම මේ අද්භූත දේවල් සිද්ධ වෙන මේ ප්‍රදේශයට වරක් එන අයෙක් නැවත එන්නට දැඩි කැමැත්තක් දක්වන බවයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ කලාපයේ අමුතු ශක්තියක් බලපා ඇති බව තමයි ඒ ජනතාව නම් විශ්වාස කරන්නේ.

ඉතින් මේ එම් ත්‍රිකෝණයේ අදහා ගන්නටත් අපහසු විවිධාකාරයේ අමුතු සිදුවීම් ගැන සඳහන් වුණත් ඒවායේ සත්‍ය  අසත්‍යතාවය ගැන නම් නිශ්චිත තොරතුරු හමුවෙන්නේ නැහැ. නමුත් මේ රුසියාවේ එම් ත්‍රිකෝණය ගුප්ත බවින් පිරිණු අමුතු දේ සිදුවන තවමත් ලොවටම අබිරහස් කලාපයක්.