රස ගුණ පිරි පොල් සම්බෝලය
ලොකු කුඩා සියල්ලන් අතර ම ඉතා ජනප්‍රිය ආහාරයක් ලෙස සම්බෝල හඳුනාගත හැකිය. ඒ අතරිනුත් පොල් සම්බෝල වඩාත් ජනප්‍රිය වේ. මෙම සම්බෝලය පොල්, රතු ලූනු, මිරිස්, ලුණු සහ දෙහි සමගින් මුසුකොට කොටා ඉතා කෙටි කාලයකින් ක්ෂණිකව සකස් කර ගත හැකිය. විවිධ ආහාර වර්ග සමග භාවිත කළ හැකි ප්‍රණීත ආහාරයක් වන පොල් සම්බෝලය බත්, පාන්, පිට්ටු, ඉදි ආප්ප, මෙන්ම ක්‍රීම් කැකිර් වැනි බිස්කට් සමග ද ආහාරයට ගත හැකිය. ඉතා පහසුවෙන් සකසා ගත හැකිවාක් මෙන්ම මෙහි පෝෂණීය ගුණය ද ඉමහත් ය.පොල්සම්බෝල සැකසීමට ගන්නා විවිධ අමුද්‍රව්‍ය නිසාවෙන් ඉතා විශාල පෝෂණීය ගුණයක් සම්බෝලය තුළ අන්තර්ගත වේ.

පොල්සම්බෝල සෑදීමේදී භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ පොල් වේ. ඒ අනුව පොල් තුළ අන්තර්ගත සොඩියම්, පොටෑසියම් සහ සංතෘප්ත මේද කොටස් මිනිස් සිරුරට අත්‍යවශ්‍යවේ. තවද පොල්වල පවතින තන්තුමය ස්වභාවය නිසාවෙන් ආහාර දිරවීම පහසු කරයි.
පොල්සම්බෝල සඳහා භාවිත කරන තවත් අමු ද්‍රව්‍යයක් වන්නේ රතු ලූනුය. රතුලූනු මගින් සම්බෝලයේ රස, ගුණ වැඩි කරයි . එමෙන්ම රතුලූනු තුළ පවතින බැක්ටීරියා නාශක ගුණය මිනිස් සිරුරේ ඇතිවන අහිතකර බැක්ටීරියා විනාශ කරයි.
සම්බෝල වලට භාවිතා කරන මිරිස් වල ද බොහෝ පෝෂණීය ගුණයක් අන්තර්ගත වේ. ඒ අනුව මිරිස් තුළ විටමින් ඒ, බී සහ සී යන පෝෂ්‍ය කොටස් පවතී. තවද මිනිස් සිරුරේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමට ද මිරිස් උපකාරවේ. මිරිස් සමගම සම්බෝලය රසවත් කර ගැනීම සඳහා ගම්මිරිස් ද යොදා ගනී. ගම්මිරිස් තුළ මල බද්ධය, පාචනය, කන් කැක්කුම, හර්නියා, හන්දිපත් වේදනා වකුගඩු රෝග පෙනහළු රෝග ආදිය සඳහා වඩාත් ගුණදායක පෝෂක කොටස් අන්තර්ගත වේ.
සම්බෝල රසවත් කර ගැනීමේදී නැතිවම බැරි දෙයක් ලෙස ලුණු හඳුනාගත හැකිය. ලුණු නොමැතිනම් සම්බෝලයේ සැබෑ රසය මතු කර ගැනීමට නොහැකි වේ. ඒ අනුව ලුණු මගින් රුධිර පීඩනය මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට හැකියාව පවතී.
ලුණු හා සම මට්ටමින් ම සම්බෝල රසවත් කරන්නේ දෙහි හෝ නාරං වේ. ඒ අනුව දෙහි සතුව ද බොහෝ පෝෂ කොටස් අන්තර්ගත වේ. සිරුරේ බර අඩු වීමට, ඇස් සඳහා, මල බද්ධය සුවතාවය සඳහා, ආහාර දිරවීම පහසු කිරීමට දෙහි උපකාරී වේ.
මේ අනුව සම්බෝලයක් සැකසීම සඳහා යොදා ගන්නා අමුද්රව්ය වල පවතින පෝෂණීය ගුණයන් නිසා පොල් සම්බෝලය ඉතා රසවත් මෙන්ම පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාරයක් වශයෙන් හඳුනාගත හැකිය.
පොල්සම්බෝල සැකසීමේදී වියලුනු පොල් භාවිතා කිරීම සුදුසු නොවේ. එයට හේතුව රසයෙන් අඩුවීම සහ මේදය අධික වීම නිසාවෙනි. යම් හෙයකින් වියළුණු පොල් සම්බෝල සැකසීම සඳහා භාවිත කරන්නේ නම් සීනි හැන්දක් හෝ දෙකක් යෙදීමෙන් සම්බෝලය රසවත් කර ගත හැකිය.

නිවරදිව පොල් සම්බෝලයක් සැකසීමේදී පහත දැක්වෙන අමුද්‍රව්‍ය අවශ්‍යවේ. සිහින්ව ගාගත් පොල්, සිහින්ව කපාගත් රතුලූනු, සිහින්ව කපාගත් සුදුලූනු, කෑලි මිරිස්, ගම්මිරිස්, උම්බලකඩ, ලුණු සහ දෙහි අවශ්‍යවේ.
පොල්සම්බෝල සකසා ගත හැකි ආකාර කිහිපයකි. එනම් ඇඹරුම් ගලෙහි අඹරා, වං ගෙඩියෙහි කොටා, බ්ලෙන්ඩර් භාවිතයෙන් හෝ අතින් පොඩි මිශ්‍ර කරමින්ය.
ඉහත දක්වා ඇති කුමන ආකාරයකට හෝ අවශ්ය අමුද්‍රව්‍ය එකට මුසුකොට රස අනුව පොල් සම්බෝලය සකසා ගත හැකිය. සම්බෝලේ රසය ඉස්මතු කර ගැනීම සඳහා භාවිතා කරන දෙහි වෙනුවට වෙනත් ආදේශක ද යොදා ගනී. ඒ අනුව නාරං, විනාකිරි, සියඹලා, ලුණු දෙහි, තක්කාලි පෙන්වාදිය හැකිය.
මීට අමතරව පොල් සම්බෝලය රසවත් කර ගැනීම සඳහා මූලික අමුද්‍රව්‍ය වලට අමතරව තවත් අමුද්‍රව්‍ය යොදා ගනු ලැබේ. ඒවා පහත පරිදි දැක්විය හැකිය.
උම්බලකඩ වෙනුවට පුළුස්සන ලද කරවල හෝ තෙලේ බදින ලද කරවල, කරපිංචා කොළ, තෙල් හෝ බටර් යොදා යොදා තෙම්පරාදු කිරීම, කූනිස්සන් හෝ හාල්මැස්සන් බැද මුසු කිරිම, වේලු මිරිස් හෝ කෑලි මිරිස් වෙනුවට අමුමිරිස්, කොච්චි, නයි මිරිස් ආදිය යෙදීම පෙන්වා දිය හැකි ය.
මේ අනුව ඉතා පහසුවෙන් සහ ඉතා කෙටි කාලයකින් සකසා ගත හැකි පොල් සම්බෝලය බොහෝ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත ගුණදායක ආහාරයක් වශයෙන් හඳුනාගත හැකිය.