The Lanka Post

Official Lanka Post Blog

රතන සූත්‍ර දේශනාවෙන් නිවැරදිව පිහිට ලබාගන්න පිළිවෙත

බුද දහමින් පෝෂණය වුණු ජාතියක් විදියට පිරිත් පිළිබඳව බෞද්ධයන් හොඳින් දැනුවත්.ඒ වගේම ඈත අතීතයේ සිටම පිරිත් ආරක්ෂාව කියන අර්ථයෙන් සෑම කටයුත්තකදීම භාවිතා වුණා. එදාටත් වඩා අද සෑම සුබ කටයුත්තකටම මුල පිරීමේ දී පිරිත් දේශනා කිරීම ජනප්‍රිය අංගයක් බවට පත්වෙලා. නමුත් අද වෙද්දි පිරිතෙන් නියමාකාරයෙන් පිහිටක් අරක්ෂාවක් ලබාගැනීම සම්බන්ධයෙන් බොහෝ අය තුළ නිවැරදි දැනුමක් නැහැ. කොහොමවුණත් එදා වගේම අදත් බෞද්ධයාගේ ජීවන රටාව තුළ පිරිත් නිරන්තරයෙන් ශ්‍රවණය කරනු ලබනවා වගේම දේශනා කරවනු ලබනවා. 

වර්තමානයේ මුළු ලෝකයම පීඩා විඳින කොවිඩ් වසංගත සමයේ දී රෝ බිය නැති කරගන්න රටට ලෝකයට සෙත් පතන්නට පිරිත් දේශනා බොහෝමයක් පැවැත්වුණා. ඉතින් මේ කාරණා එක්ක පිරිතේ අනුහස් පිළිබඳව ලාංකිකයන් බොහෝදෙනා දැනුවත්. ඉතින් මේ පිරිත් අතුරින් රතන සූත්‍රය තුන් සූත්‍රයට ඇතුළත් මහත් බල ඇති පිරිතක්. වසංගත උවදුරු දුරු කරගන්නට වැඩි වශයෙන් භාවිතා වෙන පිරිතක් වෙන්නෙත් මේ රතන සූත්‍රය.සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති හාස්කම් මේ රතන සූත්‍රයේ ඇති බව බෞද්ධයන් විදියට අපි දැනගත යුතුමයි.

රතන සූත්‍රයේ නිධාන කතාව -බුදුන් වහන්සේ මේ රතන සූත්‍රය දේශනා කර වදාළේ වේසාලි නුවර ඇතිවුණු දුර්භික්ෂයක් හේතුකරගෙන.එකල දඹදිව සමෘද්ධිමත් නගරයක් වුණු විශාලාවේ රජවරු 7707 දෙනෙක් වාසය කළ අතර යුවරජ, ඇමති භාණ්ඩාගාරිකයන් ද බොහෝ මිනිසුන් ද වාසය කළා.එක් කාලයක දී වර්ෂාව නොලැබී ගොවිතැන් පාලු වී ආහාර හිඟවුණා. ඒ නිසාම බොහෝදෙනෙක් රෝගාතුර වුණා.දුප්පත් අය මියදෙන්නට වුණා.ඒ මළමිනී නගරයේ දැමීම නිසා ගන්ධය පැතිරුණා.ඒ නිසා බොහෝ අමුනුෂ්‍යන් නගරයට ඇතුළු වුණා.ඒ අතරෙ තවත් මිනිසුන් මරණයට පත්වුණා.අහිවාතක නම් දරුණු වසංගත රෝගයක් ද පැතිර ගියා. රෝග භය, අමුනුෂ්‍ය භය සහ දුර්භික්ෂ භය යන තුනෙන් විශාලා මහනුවර විනාශ වෙන්නට වුණා.

මේ අවස්ථාවේ මේ උවදුරෙන් ගැලවීමට විශාලාවේ පාලකයන් පිහිට පැතුවේ බුදුන් වහන්සේගෙන්. බුදුන් වහන්සේට කරන ලද ආරාධනය පිළිගෙන ඔවුන් කෙරෙහි අනුකම්පා කර විශාලා මහනුවරට වැඩම කළ සේක.තථාගතයන් වහන්සේට විශාලා මහනුවරට වැඩම කරවන්නට නගරයේ සිට ගංගාව දක්වා පස් යොදුන් මග සමතලා කර පස් යොදුනෙන් යොදුන විහාර කරවා බිම්බිසාර රජු විසින් උන්වහන්සේට වැඩමවීමට කාලය දන්වා සිටියා. එවිට බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟ විශාලා මහනුවරට වැඩම කළ සේක.

තථාගතයන් වහන්සේ පිළිගන්නට ලිච්ඡවීන් කරවටක් ගං දියේ බැස සිටි අතර තථාගතයන් වහන්සේ ලිච්ඡවීන්ගේ බිමට පා තබනවාත් සමඟම මහ වැසි වසින්නට වුණා.මලකුණු සියල්ල පාවී ගොස් මුළු ප්‍රදේශයම පිරිසිදු වුණා. එහි නගර දොරටුව අබියසදී ආනන්ද තෙරුණ් වහන්සේ අමතා මේ  සූත්‍ර ධර්මය ඉගෙන ගෙන ලිච්ඡවී කුමරුවන් සමඟ විශාලා මහනුවර තුන් පවුරු වටා ඇවිදිමින් පිරිත් කරන්න යැයි මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මය වදාළ සේක. ආනන්ද තෙරුණ් වහන්සේ බුද්ධ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරටම පිරිත් පැන් ඉසිනු ලැබුවා.දින හතක් පුරාවට නුවර පුරාම රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන් බිය දුරුවුණා.

ඒ නිසාම එදා සිට අදටත් විවිධ උවදුරු හමුවේ ලාංකිකයන් රතන සූත්‍රය භාවිතා කරනු ලබනවා. ලංකාවේ එදා බුද්ධදාස රජුගේ පුතු වුණු උපතිස්ස රාජ්‍ය සමයේදී දුර්භික්ෂයක් ඇති වූ නිසා පිළියෙල කළ රථයක බුද්ධ ප්‍රතිමාවක් වඩා හිදුවා පැන් කලයක් ඉදිරියේ තබා රතන සූත්‍රය සජ්ධායනා කරමින් භික්ෂූන් වහන්සේලා කිහිපවරක් නගරය ප්‍රදක්ෂිණා කිරීමෙන් දුර්භික්ෂය නිම වුණු බව සඳහන්. 

ඒ වගේම එක්තරා කාලයක දී ලංකාවේ ඇති වූ  නියගයකදී ගොයම් මැලවී බෝග වගා වැනසී මහ දුර්භික්ෂයක් සහ ලෙඩ රෝග ඇතිව ගිය නිසා ලංකාවම තුනුරුවන් උදෙසා එකම පූජා මහෝත්ස්වයක් කරවා දළදා වහන්සේ නුවර ප්‍රදක්ෂිණ කරවා රතන සූත්‍රය ප්‍රධාන කොටගෙන මහ පිරිත් දේශනාවක් පවත්වා ඇති බවත් ඉන් පසු මහ වැසි ඇද හැලී දුර්භික්ෂය නිමාවුණු බවත් මහාවංශයේ සඳහන්.

රතන සූත්‍රයේ අනුහස්-අද සමාජයේ ජීවත් වෙන මිනිසුන් විදියට අපිට එදාට වඩා ලෙඩ රෝග කරදර පීඩාවන් වැඩියි. ඒ හැරුනම මිනිසුන් යහපත් ගුණධර්මවලින් පිරිහෙමින් යන නිසා කරන කියන බොහෝ දේවල්වලින් යහපත් ප්‍රථිඵල ලැබෙන්නෙත් නැහැ. හම්බ කරන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැමදාම කරදර, ගෙදර කාටහරි ලෙඩක් නම් වරදින්නෙ නැහැ ආදී වශයෙන් බොහෝ අය කියනවා.ඉතින් මේ ආකාරයේ පීඩාවන් නිසාම මිනිසුන් මානසිකව මහත් පීඩාවට පත්වෙනවා. ඒ කරදරවලින් වැළකෙන්නට සෙතක් ශාන්තියක් උදා කරගන්නට යන්ත්‍ර මන්ත්‍ර, කොඩිවිණ අණවිණ කැපීම් පස්සේත් බොහෝදෙනෙක් යනවා. නමුත් මේ සියලුම කරදර පීඩාවන්ට පිහිටක් සෙතක් සැලසෙන සූත්‍රයක් තමයි බුදුන් වහන්සේ දේශනා කළ මේ රතන සූත්‍රය.

මේ රතන සූත්‍රයේ විශේෂත්වය තමයි මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන් පැහැදිලිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කර තිබීම. ඉතින් අනෙකුත් පිරිත් වගේම රතන සූත්‍රයත් මනා සිහියෙන් සජ්ධායනයත්, මනා සිහියෙන් ශ්‍රවණයත්, දැඩි විශ්වාසයතක් පැවතීමත් මෙයින් යහපතක් උදා කරගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම කෙලෙස්වලින් තොර පන්සිල් සුරකින අයෙක් නම් ඔබට නිතැතින්ම රතන සූත්‍රයෙන් පිහිට ආරක්ෂාව සෙත සැලසෙනවා නියතයි.යන්ත්‍ර මන්ත්‍රවලට එහා ගිය විශිෂ්ඨ බලයක් හාස්කමක් මේ පිරිත සතුයි. එය දිව ඔසුවක් වගේ.

 යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවෙන් බොහෝ අය බොහෝ විස්කම් කරනවා. අහසින් යෑම, වශී කිරීම්, විරසක කිරීම්, ගල් උණුකිරීම්, අංගම් පිල්ලි ආදීය මන්ත්‍ර බලයෙන් ඔවුන් කරනු ලබනවා.නමුත් ඒ සියල්ලම අවිද්‍යාවෙන් වැසුණු ලෝකයේ අවබෝධ කර නොගත්තු රාග, ද්වේෂ, මෝහ තුළ කැළබුණු හපන්කම් පමණයි. සමහර මන්ත්‍රධාරීන් මිය ගියාම ඔවුන්ගේ සිරුරු යක්ෂයන් මහත් ක්‍රෝධයෙන් ආහාරයට ගන්නා අවස්ථා තියෙනවා.ඔවුන්ගේ ඇට කටු පවා හූනියමක්. 

නමුත් එක් වචනයකින් දහසක් ලෝ කම්පා කරන දෙව් බඹුන් පවා හිස  නමන භාග්‍යවතුන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මය, ආරක්ෂක පිරිත් දේශනාවන් අදටත් ජනතාවට කොතරම් සෙතක් ශාන්තියක් උදා කරනව ද.ඉතින් උන්වහන්සේ විසින් දේශිත රතන සූත්‍රයෙන් පිහිට සරණ  නිසි පරිදි ලබාගන්න ආකාරය පිළිබඳව විමසා බලමු. 

හොඳින් සිල් සමාදන්ව තෙරුවන් වැඳ හැකි නම් ඇනවුම් පිරිත වරක් සජ්ධායනය කර රතන සූත්‍රයෙන් අදාල කාරණය සිහිකරන්න. එසේ පැහැදුණු සිතින් උදේ සවස සජ්ධායනා කිරීමෙන් තමන්ට සෙතක් ශාන්තියක් උදා කර ගන්නට හැකියි. 

ඉතින් මේ පිරිත් සත් වරක්, විසි එක්වරක්, එකසිය අට වරක්, දහස් වරක්, ලක්ෂ වරක් ආදි  වශයෙන් සජ්ධායනා කරනු ලබනවා.සිහි කළත් ශ්‍රවණය කළත් එයින් පිහිට නිරතුරුවම ලැබෙනවා. සිහි කරන්න කරන්න පිහිට ලැබෙනවා.

නිතර රතන සූත්‍රය සජ්ධායනයෙන් ශ්‍රවනයෙන් සියලු උවදුරු දුරුව ආරක්ෂාව සැලසෙනවා. ඒ සඳහා පිරිසිදු පැන්වලට හෝ තැඹිලි ගෙඩියකට තම දිව වේලෙන තුරු, සිතට දැනෙන තුරු රතන සූත්‍රය සජ්ධායනා කරන්න. එය තුන් වර සත්වරක් හෝ විසිඑක් වරක් කළ හැකියි.ඉන් අනතුරුව හිස්බඩ පානය කිරීමෙන් සියලු උවදුරු දුරු කරගන්නට හැකියි.

අමුනුෂ්‍ය කරදරවලටත් රතන සූත්‍රයෙන් පිරිත් කළ පැන් පිරිත් නූල් ඉතා සුදුසුයි. නිවසේ වත්තේ ආරක්ෂාවට පවා රතන සූත්‍රයෙන් පිරිත් කර නොපෑගුණු ස්ථානවලින් ගත් ගල් සිව්කොණේ වළලනු ලබනවා. ඒ හැරුණාම රතන සූත්‍රයෙන් පිරිත් කළ තෙල් සුරයක දමාගැනීමත්, නිරතුරු අමුනුෂ්‍ය දෝෂ කරදරවලින් පවා ආරක්ෂා කරනු ලබනවා.

ඒ හැරුණාම කුඩා දරුවන්ගේ සියලුම දෝෂ ලෙඩවලට ප්‍රත්‍යක්ෂ ඖෂධය වෙන්නෙත් රතන සූත්‍රයමයි. සිහිනෙන් බය වීමට පිරිත් පැන්, පිරිත් තෙල් ගෑම, පිරිත් නූල් බැදීම සිදු කරනවා. කිරි වමනයට මව්කිරට පිරිත් කර දෙනු ලබනවා.නිතර අඩනවාට පිරිත් කියමින් ළමයාගේ රෙදි කොණ ගැටගසනු ලබනවා.

ඉතින් ඈත අතීතයේ සිටම රෝග අමුනුෂ්‍ය ආදී සියලුම කරදර දුරු කරගන්නට මිනිසුන් මහත් ශ්‍රද්ධාවෙන් රතන සූත්‍රය සජ්ධායනා කරමින් පිරිත් පැන් පිරිත් නූල් සුර පැළදීම් ආදිය කළා. ඒ වගේම ගොවිතැන් කටයුතුවලදීත් සියල්ලටම පෙරාතුව රතන සූත්‍රය සජ්ධායනා කිරීම සිරිතක් කොටගෙන තිබුණා. බීජ ඉසින විට, හාන විට, කුඹුරු කොටන විට රතන සූත්‍රයෙන් පිරිත් කර පැන් ඉසින්නට ගොවියන් අමතක කළේ නැහැ.ඒ සියලුම කරදර දුරුකර අස්වැන්න සරුසාර කරගන්නටයි. ඒ වගේම වසක් විසක් කැවුණාම, සර්ප ආදී විෂවලටත් ගෙඩිවලටත් තෙල් බෙහෙත් රතන සූත්‍රයෙන් පිරිත් කර සෙතක් ශාන්තියක් උදා කරගත්තා.

සර්පයෙක් කෑවත් විෂ බසින්නට, අපා දෙපා බහුපා සිව්පා සියලුම සතුන්ගෙන් වන උවදුරුවලින් රැකෙන්නට , දරුවන් නැති කාන්තාවන්ට දරුඵල ලැබෙන්නට, දරු ගැබත් මවත් ආරක්ෂා කරන්නට, දරු ප්‍රසූතියේ දී ආරක්ෂාවටත් එදා සිට ගම්මුන් රතන සූත්‍රය පිරිත් කොටගත් පිරිත් පැන් පිරිත් නූල් භාවිතා කළා. 

සියලුම රෝග පීඩාදියට රතන සූත්‍රය සජ්ධායනා කිරීම, නිතර සිහිකිරීම, පිරිත් පැන් පානයෙන් නූල් දැමීමෙන්  ශාන්තිය ලැබෙනවා. ඉතින් අද වෙද්දි නව නිවසකට ගෙවදීමකදීත්, ව්‍යාපාරයක් ඇරඹීමේදීත්, දරුවන්ට අකුරු කියවීම් ආදී සෑම සුබ කටයුත්තකදී ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වඩමවා පිරිත් දේශනා කරවා ගන්නට සැමදෙනාම පුරුදුව සිටිනවා. ඉතින් එහිදී සංඝයා වහන්සේලා තුන් සූත්‍රය සජ්ධායනා කරන අතර එය සෑම කටයුත්තක් සඳහාම සුබවෙයි. 

ඉතින් බෞද්ධයන් විදියට අපිට ඇතිවන නොයෙක් ලෙඩ රෝග,දුක් කම්කටොලු උවදුරුවලට එකම පිහිට වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද මේ පිරිත් දේශනාවන්. ඉතින් ඒ අතුරින් රතන සූත්‍රය නිතර සිහි කිරීමෙන් උදේ සවස සජ්ධායනා කිරීමෙන් සියලු අපල උවදුරු දුරුව, ලෙඩ රෝ බිය අඩුවී ජීවිතයට යහපතක්ම උදා වෙනවා නියතයි.