රජගල සැගවුණු අප්‍රකට ඉතිහාසය
ලංකාවේ විශිෂ්ඨ උරුමයන් අතුරින් කාලයක් වනයෙන් වැසී තිබුණු රජගල පුදබිම ලෝක උරුමයක් බවට පත්වෙන්නට පවා නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනු ලබනවා.ලංකාවේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගල තැන්න ග්‍රාමයේ ඇති මේ භූමිය දැනට ලංකාවේ ඇති විශාලම පුරාවිද්‍යා වටිනාකමින් යුත් පැරණිම භූමියක්. මෙහි භූමි ප්‍රමාණය අක්කර 1125 ට අධික බවයි පැවසෙන්නේ. ඉතින් කාලයක්ම වසන්ව පැවති මේ වටිනා උරුමයන් සහිත භූමිය අනාවරණය කරගන්නේ 2010 න් පමණ පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව කරන ලද ව්‍යාපෘතියක් හේතුවෙන්. ඒ නිසාම මේ භූමියේ සැඟවී පැවති අතීත කරුණු කාරණා රැසක්ම අනාවරණය කරගන්නට අවකාශ ලැබුණා.
මේ භූමිය රජගල තැන්න, රජගල, රාස්සහෙළ යන නම්වලින් ද හඳුන්වා තිබුණත් සෙල්ලිපි සාධකවලට අනුව එදා මේ ස්ථානය “ගිරිකුම්භීල ” යන නමින් හඳුන්වා තියෙනවා. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ට අනුව ගිරිකුම්භීල කියන්නේ පාලි බසින් කිඹුලාට. ගොනාගොපල්ල ප්‍රදේශයෙන් බැලුවම රජගල කඳුවැටිය කිඹුලෙක් ලෙසට දකින්නට හැකිවීම නිසා කිඹුල් කන්ද ලෙසින් ඒ නම භාවිතා වෙන්නට ඇති බව විශ්වාස කරනවා. ඒ හැරුණාම ධන තිස පවන ලෙසත්, පසුකාලයක අරියාකාර ගිරිකුම්භිලවාපී තිස්ස පබ්බත විහාරය විදියටත් හඳුන්වා දී තියෙනවා. ඒ වගේම දෙවන මහින්ද රාජ්‍ය සමයේ දී අරිත්තරා වෙහෙර විදියටත් ක්‍රි. ව. 4 වන සියවසේ දී රචගල විදියටත් මේ පුදබිම හඳුන්වා ඇති බවයි අනාවරණය වී තියෙන්නේ.
ඉතින් මේ රජගල කියන්නේ මිහින්තලය, අරන්කැලේ, කුඩුම්බිගල වගේම එදා වනවාසි භික්ෂූන් වැඩ සිටි මධ්‍යස්ථානයක්. ඉතින් මේ පුදබිමේ පැරණිම ගල්ලෙන්, ගොඩනැගිලි හා ස්තූප ආදිය ඇතුළු තවත් බොහෝ පැරණි නටබුන් දැකබලා ගන්නට පුළුවන්. නමුත් මේ ඝන වනාන්තරයෙන් වැසී ගිය සුන්දර භූමි භාගය සතා සීපාවුන්ගෙන් නම් අඩුවක් නැහැ. ඉතින් පැරණි නටබුන් 600 ත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති මේ පුරාවිද්‍යා භූමිය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවනි වන්නක් බව පැවසෙනවා.
ඉතිහාසය

මේ භුමියේ මුල් ඉතිහාසය පිළිබඳව තොරතුරු නිශ්චිත නොවුණත් මෙහි ක්‍රි. පූ. පළමුවන සියවසට අයත් සෙල්ලිපි හමුවීම නිසා ඒ කාලයේ සිටම මේ කලාපයේ භික්ෂූන් වහනසේලා වැඩ සිටින්නට ඇති බවට විශ්වාස කරනවා. ඒ වගේම රජගල ව්‍යාපෘතියේ උපදේශක මහාචාර්ය කරුණාසේන හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ගිරිකුම්භීල විහාරය ඉදිවීමෙන් පසුව තවත් සියවස් දහයකට වැඩි කාලයක් එය භික්ෂු වාසස්ථානයක් ලෙස අඛණ්ඩව පැමිණ ඇති බවයි.
මෙරට වෛද්‍යවරයෙක්ව සිටි ආර්. එල්. ස්පිට්ල් සිය “අනාගත චාරිකාවල” සඳහන් කර ඇත්තේ ඔහු සංචාරය කරන කාලයේ මේ භූමිය වැද්දන්ගේ වාසභූමියක්ව පැවති බවයි. “ දිව්ලානේ සිටි එකම වැද්දා වන නාගකච්චා ළමා කාලයේම රාස්සගලට පැමිණ ගල් ගුහාවක විසූ අතර ඔහුගේ පිරිස ගල් ගුහා හතරක හෝ පහක පමණ විසිරී විසූහ. ” මේ සටහන සත්‍යක් ලෙස පිළිගන්නට හැකිවෙන්නේ රජගල භූමියෙන් වැදි සිතුවම් ඇද ඇති ලෙන් හමුවීම නිසාවෙන්.ඒ වගේම මේ භූමියෙන් හමුව ඇති කෙටේරිය ද එය තහවුරු කෙරෙන තවත් සාධකයක්.
මහාවංශය සඳහන් කරන විදියට දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජතිස්ස රජු (ක්‍රි .පූ. 119- 109 )විසින් මේ විහාරය ආරම්භ කර තියෙනවා. මේ ලජ්ජතිස්ස රජු විසින් කරවන ලද බවට සැලකෙන සෙල්ලිපි කිහිපයක් මේ භූමියෙන් හමුවී ඇති අතර සද්ධාතිස්ස රජු දුටුගැමුණු පාලන කාලයේ දී යුව රජු ලෙස දීඝවාපියේ සිටි බව වංශකතාවල සඳහන් වන නිසාවෙන් එකල ඔහුගේ පුත් ලජ්ජතිස්ස රජු මේ විහාරය කරවන්නට ඇති බව සිතීම සාධාරණයි.
ඒ වගේම අනුරාධපුර යුගයේ සිටි කුටකණ්ණතිස්ස රජු, තිස්ස රජු, භාතික තිස්ස රජු මහසෙන් රජු, දප්පුල සහ බුද්ධදාස යන රජවරුන් විසින් ඔවුන්ගේ රාජ්‍ය කාලයන්වලදී මේ ස්ථානය වැඩිදියුණු කරවා ඇති බවට ද සාධක පවතිනවා.
සෙල්ලිපි

මේ පුදබිමෙන් සොයාගෙන ඇති සෙල්ලිපි අතුරින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව තහවුරු කෙරෙන එක් සෙල්ලිපියක් වනවා. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන සෙල්ලිපි 2 අතුරින් එකක් මිහින්තලයෙන් ද අනෙක මේ රජගල තැන්නෙන් ද සොයාගෙන තියෙනවා. මහින්දාගමනය පිළිබඳව වංශකථාව එයින් තවදුරටත් සනාථ වෙනවා.
ඒ ලේඛනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ සහ ඉත්ථිය තෙරුන් වහන්සේගේ නම් සඳහන් කර තියෙන අතර මේ සෙල්ලිපිය තැනිතලා ප්‍රදේශයේ සිට කඳුමුදුනට නගින විට පැරණි මාර්ග දෙක එකිනෙකට හමුවන තැන පිහිටි ගල්තලාවේ දකින්නට පුළුවන්.ඒ සෙල්ලිපියේ “යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම ) හිද තෙරහ තුබෙ ” ලෙස සඳහන් අතර එයින් මේ දිවයිනට පළමුවෙන් සමෘද්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්ථූපය යන්න අදහස් වෙයි.මේ සෙල්ලිපිය ඇති ගල්තලාවේ දාගැබ් දෙකක් ද දකින්නට ලැබෙනවා. ඒවා මිහිඳු තෙරුන් සහ ඉත්තිය හිමියන්ගේ ධාතු නිදන් කර කරවන ලද බවටයි පිළිගනු ලබන්නේ.
නටබුන්

2012 වසරේ දී පමණ සිට වසර 5 ක් තරම් කාලයක් මේ රජගල තැන්න භූමියේ කරන ලද කැණීම්වලින් පොළොන්නරු යුගයට හෝ ඉන්පසු යුගයකට අයත් කිසිදු ඉදිකිරීමක් හෝ ප්‍රතිසංසකරණයක් පිළිබඳව සාධක ලැබී නැති බව සඳහන් වෙනවා.ඒ අනුව මේ භූමිය අනුරාධපුර යුගයෙන් පසුව සිට හුදකලාව වනයෙන් වැසී පවතින්නට ඇති බව සිතන්නට පුළුවන්. කොහොමවුණත් මේ භූමියෙන් අනුරාධපුර යුගයේ දී තැනූ ගොඩනැල්ලක් ද සොයාගෙන ඇති අතර වර්ග අඩි 36 ක් පමණ වුණු ගල්වලින් තනන ලද ගල් පතුරු දෙකක් සෙවිලි කර තැනූ මෙය භාවනා කුටියක් විය හැකිබව මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මේ පුදබිමේ දකින්නට ඇති ගොඩනැගිලි අතර ගල්කණු 132කින් සමන්විත ඕවලාකාර හැඩය ගත් විශාල දාන ශාලාව, ඒ ආසන්නයේ පිහිටි භික්ෂූන් වහන්සේලා ස්නානය කළ ජන්තාගාරය ද, පොහොය ගෙයද, මීටර 100ක් දිග වැව් බැම්ම සහිත වැව ද, බෝධිඝරය සහ අතීත භික්ෂූන් වහන්සේලා පිරිකර ඇතුළු ප්‍රත්‍ය බෙදාගන්නා ලද අහබත්ගෙය නම් ගොඩනැගිල්ල ද, ලජ්ජතිස්ස රජුගේ ශානිකා නම් බිසව සාදන ලද ලෙන ද මේ වන විට සංරක්ෂණය කර තියෙනවා.
ඒ හැරුණාම රජගල පිහිටි නටබුන් අතර අඩක් නිමකළ හිටි බුද්ධ ප්‍රතිමාව, දිය පිහිල්ල සහ එයට සම්බන්ධ සුවිශාල ශෛලමය පාත්‍රා, නාග රජු සහ රාජිනිය දැක්වෙන මුරගල, පුන්කලස දෝතීන් රැගත් අයුරු දැක්වෙන මුරගල,පැරණි ගල් උළුවස්ස සහිත ගල් ලෙන ඒ අතර දකින්නට පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලයක් භික්ෂු වාසස්ථානයක් ලෙස පවතින්නට ඇති බව සිතිය හැකි මේ භූමියේ ඇති මුල් ඉදිකිරීම්වලට වරින් වර ඇතිවන අවශ්‍යතා පිරිමසා ගන්නට නොයෙක් ඉදිකිරීම් වගේම නව අංගත් එකතු කර තිබෙනවා.මේ ස්ථානයේ කරන ලද කැණීම්වලදී පුරාවිද්‍යා ස්මාරක 700කට වැඩි ප්‍රමාණයක් හමුව තිබීමෙන් ඒ බව තහවුරු කර ගන්නට පුළුවන්.

මේ රජගල භූමියේ සීත ලෙන් 25 ක් කර තිබුණු බව අතීත වාර්තාවල සඳහන් වන අතර කඳුවැටි හරහා හමා එන සීතල සුළං ගල් ලෙන හුළට හමා එන්නට සලස්වා ලෙන් ඇතුළත උෂ්ණත්වය අඩුකරගෙන ඇති බව පුරාවිද්‍යාඥයන් පෙන්වා දී තියෙනවා.ඒ හැරුණාම ප්‍රාථමික ගුහා සිතුවම් සමූහයක් සහ අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන බිතු සිතුවම් කොටස් කිහිපයක් සහිත සිතුවම් ලෙනක් ද මේ භූමියේ දකින්නට හැකියි.
කොහොමවුණත් මේ පුරාවිද්‍යා භූමිය බොහෝ කාලයක් වනගතව පැවතීමන් නිසා ඒ කාලය තුළ මෙහි පැවති සුවිශේෂී නටබුන් ගොඩනැගිලි විනාශ මුඛයට ගොස් තිබුණා. නිදන් සොරුන් වගේම දඩයක්කාරයන්ගේ කටයුතු නිසා ඉතා වටිනා උරුමයන් බොහෝසෙයින් විනාශ වී තියෙනවා.මෙහි ඇති ස්මාරක බොහෝ ඒවා මෑතකාලයේදී මිනිසුන් විසින් කරන ලද විනාශයන් බවට විද්වතුන් සැක පහළ කරනවා.
ගවේෂන කටයුතු සඳහා පැමිණි විද්වතුන් මේ භූමිය යකුන් නැටූ සොහොන් පිටියක් ලෙසයි දැක තිබුණේ.මෙහි තිබූ දාගැබ් දෙකම පිහිටි පොළව මට්ටමෙන් අඩි පහළොවක් පමණ යටට හාරා නිදන් සොයා ඇති බවත්, ඒවායේ තිබූ වටිනා පූජා වස්තූන් නිදන් සොරුන් ගන්නට ඇති බවත් ඔවුන් පවසනවා. එක් දාගැබක තිබුණා යැයි සිතිය හැකි පළිගු කරඩුවක කොටසක් දාගැබ් මළුවේ තිබී ඔවුන්ට හමුව ඇති අතර සදකඩපහන, මුරගල්, ඡත්‍ර බුදු පිළිම සහ ආසනඝර ආදී සියල්ලම මිනිස් ක්‍රියාකාරකම් නිසා අපිට අහිමිවෙලා.
ඉතින් සියවස් ගණනාවක් භික්ෂූන්ට නිදහස් නිසංසල භූමියක් ලෙස පවතින්නට ඇති මේ භූමිය විවිධ පාලකයන් යටතේ විවිධ අංගවලින් සංවර්ධනය වන්නට ඇති. ඒ වගේම මේ භූමිය විශාල ප්‍රමාණයක පැතිර පවතින නිසා ඉතිහාසයේ තවත් බොහෝ දෑ අනාවරණය කරගන්නට මේ භූමිය සම්බන්ධ ගවේෂණවලට හැකියාවක් ලැබේවි. 2020 දී අවසන් කරන්නට නියමිතව තිබුණු රජගල තැන්න ව්‍යාපෘතිය තව වසර කිහිපයකින් දීර්ඝ කෙරෙන්නෙත් අනාගත මතුපරපුරට මේ භූමිය සංරක්ෂණය කොට දීම සඳහා සහ ඉතිහාසයේ සැඟවුණු අපූරු තොරතුරු තව තවත් හෙළි කරගන්නා අදහසින්.