හෙළදීපය සිව්හෙළය ලෙස හැඳින්වුණ හේතුව
සිංහල නාමය ප්‍රභවය වුණු ආකාරය පිළිබඳව විවිධ වූ මතවාද පවතිනවා. ඒ අතුරින් එක් මතයක් ලෙසට දක්වන්නේ සිංහල ජාතිය ප්‍රභවය වුණු ගෝත්‍ර හතරයි. එය සිව් හෙළය විදියටයි සඳහන් වන්නේ. කොහොමවුණත් සිව්හෙළය පිළිබඳවත් විවිධ වූ මතවාද නිර්මාණය වෙලා තියෙනවා.
තවත් තැනෙක මේ සිව්හෙළය නිර්මාණය වී තියෙන්නේ දිවයිනේ තිබුණු භෞමික ස්වාභාවයට අනුව බවට සඳහන් වෙනවා. විශේෂයෙන්ම සංස්කරණයට ලක් නොවූ රාජාවලිය පූජාවලිය වගේ ග්‍රන්ථවල මගුල් සක්වල දකුණින් ඇති ජන්බුද්ද්වීපය නම් මහද්වීපය දීප හතරකට බෙදී තිබුණු බව පැවසෙනවා.ඒ අනුව බුදුන්ගේ කාලයේ මෙසේ රාජ්‍ය හතරකට දිවයින බෙදී පැවති බව පැවසෙනවා.එදා හිමවත ලෙසට හැඳින්වූ ඉහළ කඳුකරයේ මහ එලි තැන්න සානුවේ පිහිටි අනෝතත්ත විලෙන් ආරම්භ වී විටෙක පොළව අභ්‍යන්තරයෙන් ද විටෙක පොළව මතුපිටින් ද මුහුදට ගලායන මහවැලි, කැළණි, වළවේ සහ කළු යන නම්වලින් හැඳින්වෙන ගංගා හතර සිව් මහ ගංගාවන් ලෙසයි හඳුනා ගන්නේ. ඒ ගංගාවලින් හෙළදීපය කොටස් හතරකට කැඩී තිබී ඇති බව ඒ අදහස්වලට අනුව පෙන්වා දෙනවා.

මේ ස්වාභාවික පිහිටීම ඉහළ කඳුකරයේ සිට පහළ මුහුද දක්වා ඇත්තේ කඳු බෑවුම් හතරක් නැත්නම් හෙල් හතර ජඹු දීපය, කුරු දීපය, ගිරි දීපය නමින් හඳුන්වා තිබුණු බවත් මේ දීප හතරේ එකතුව නිසා සිව් හෙළය යන නාමය පටබැදි ඇති බවත්ය. සිව්හෙළයන්ගේ දීපය යන අදහසින් “සිව්හෙළන්දීප් ”යන වචනය සිළෙන්දීප්,සිළන්දීප් සිරන්ඩිබ් ලෙස වෙනස් වන්නට ඇති බව අරිසෙන් අහුබුදු ශූරීන් සඳහන් කරනවා .ඒ වගේම සිව්හෙළය යන නම විදේශීය ජාතිකයන්ගේ භාෂාවල උච්චාරණ විධි සමඟ වෙනස් වී සෙයිලෑන් (Seylan) යන නම හෙළදීපයට භාවිතා කළ බවත් ඉතිහාස ගවේශකයන් පෙන්වා දී තියෙනවා.ඒ අනුව මේ හෙල් හතරේ ජීවත් වුණු වැසියන් හෙළයන් විදියට හඳුන්වනවා. නමුත් ඒ ජීවත් වුණු ගෝත්‍ර හතර නිසා මේ දිවයින එකල සිව් හෙළය ලෙස හැඳින් වූ බව සාවද්‍ය බව ඒ මතයට අනුව පැවසෙනවා.
ඒ අනුව ඇතැම් අයගේ මතයට අනුව දිවයිනේ යක්ෂ, නාග,දේව, රාක්ෂ යන ගෝත්‍ර හතරක් ජීවත් වුණු නිසාවෙන් සිව්හෙළය යන නාමය පටබැදී ඇති බවයි. වෙල්ලාල ජයමහ සූරීහුගේ අදහසක් අරීසෙන් අහුබුදු ශූරින් විසින් රචිත “ඉර හද නැගි රට (යටගිය වංශය )” නම් පොතේ මේ විදියට සඳහන් වෙනවා.
“සිව්හෙළ නම් මෙහි මුල සිටැ විසූ අසුර ,රකුස්,යක්, නා යන සිව් කුලෙහි හෙළයෝ පඬු අබාවෝ දඹදිවින් නිබඳ අදෙන උවදුරු දැක තව තව මෙසේ බිඳීගියහොත් රට දෑ වැටී නැසී යතියි බිය පත්වැ, මේ පැරණි සිව් කුළ එක් කොට සිව්හෙළ නමින් හඳුන්වන්නට අණ කළහ. මෙසේ සිව්හෙළ යන්න කලක් වැහැරවීමෙන් නිපන් සීහෙළ යන්න බලා සියලු කල්හි රටත් දැයත් දඹදිවට පාවාදෙන්නට සිතූ පාලි ඇදුරෝ සීහළ යන්නක් ද සකු ඇදුරෝ සිංහල යන්නක් මවා ගත්හ.”
ජයමහ වෙල්ලාලයන්ට අනුව ඉහත සඳහන් යක්, රකුස් ,නා, දේව යන කණ්ඩායම් සිව් හෙළය යන්නෙන් අදහස් වන බව දක්වා තියෙනවා.එකල දිවයිනේ මේ කියන යක්ෂ, නාග දේව යන ගෝත්‍ර තුන හැරුණාම ඒවායින් බිඳුණු තවත් ගෝත්‍ර ගණනාවක්ම සහජීවනයෙන් වාසය කළ බව පැවසෙනවා.මේ විවිධ ගෝත්‍රවලට අයත් වුණු වැසියන් පොදුවේ සිව්හෙළය ලෙස හඳුන්වා ඇති බව පැවසෙනවා.
රාමායනයට අනුව නම් දිවයිනේ එකල ජීවත්ව ඇත්තේ රකුසන් , යකුන්, නාගයන් බවත් ඔවුන් සතුන් සහ භූතයන් ලෙස විකෘති අය බවත්ය. කොහොමවුණත් එකල ප්‍රධාන වශයෙන් ජීවත් වුණු ගෝත්‍ර හතර රාක්ෂ, යක්ෂ, නාග දේව යන අය ලංකාවේ වාසය කර තියෙනවා.
රාක්ෂ ගෝත්‍රය මොවුන් ආගමික පසුබිමට අනුව සූර්ය වංශික සහ චන්ද්‍ර වංශිකයන් ලෙස පෙළපත් දෙකකට බෙදී සිටියා. මේ සූර්ය වංශිකයන් කළු ගඟෙන් උතුරු ප්‍රදේශයේත් චන්ද්‍ර වංශිකයන් ඒ ගඟෙන් පහළ කොටසේත් ජීවත්ව ඇති බවට සාධක පවතින අතර මොවුන් සිය අනන්‍යතාවය සඳහා යොදාගෙන තිබුණේ ස්වස්තිකය සහ මකරා සලකුණුයි.
යක්ෂ ගෝත්‍රය දකුණ සහ ඌව ප්‍රධාන කොටගත් ජනපදවල වාසය කර ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය පෙන්වූ සලකුණ වුණේ නෙළුම් මල සහ කෙටේරියයි. ඔවුන් සතුව දියුණු භාෂාවක් තිබූ අතර යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා ද දක්ෂ වුණා.

නාග ගෝත්‍රය මත්ස්‍ය ලාංඡනය කොටගත් මොවුන් නාවික සහ ධීවර කටයුතු මෙහෙයවන ලද පිරිසක් වුණා.වෙරළබඩ කලාපවල ජීවත් වුණු ඔවුන් වැඩි වශයෙන් කැළණිය අවට කලාපයේ වාසය කළ බවට සාධක පවතිනවා. ඒ වගේම රාවණ රජුගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ගෝත්‍රික වන විභීෂණ රජු සැලකිය හැකියි.මේ නාග ගෝත්‍රිකයන් ගොඩනගාගෙන තිබුණු නාග රාජධානිය ක්‍රි.පූ. 250 දී ඇතිවුණු මුහුදු ගොඩගැලීමකින් විනාශ වී ඇති අතර මන්නාරම සහ තූත්තුකුඩිය අතර පට්ටුනාගම් නගර ලක්ෂයක් ධීවර ගම්මාන 970 ක් හා තවත් ගම්මාන 400ක් විනාශ වී ඉතිරිව ඇත්තේ 1/12 ක් පමණයි.
දේව ගෝත්‍රය කඳුකර ප්‍රදේශවල ජීවත්වුණු මොවුන් අනන්‍යතාවය කොටගත්තේ පුන්කලසයි. සුළු ජනකොටසක් වුණු ඔවුන් තවුස්දම් රැකි අය බවත් පැවසෙනවා.
බුදු දහම පැමිණීමෙන් පසුව සිව්හෙළයේ ගෝත්‍ර සියල්ලන්ම පොදුවේ බුදු දහම වැළඳගත් පසුව ගෝත්‍ර අතර පැවති විෂමතා දුරුවුණු බව සඳහන්. බුදුන් වහන්සේගේ ලංකාගමනයේ දී මහාවංසය ආදී මූලාශ්‍රවල යක්ෂ, නාග සහ දේව යන කණ්ඩායම් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඉන්පසුව විජයාගමනය පිළිබඳව දක්වන තොරතුරුවලදීත් යක්ෂ නමින් හැඳින්වුණු පිරිසක් ගැන සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ප්‍රාථමික මූලාශ්‍රවල යක්ෂ, නාග සහ දේව යන කණ්ඩායම් මහියංගනය, නාගදීපය, කැළණිය,සමන්ගිරි, ලංකාපුරය සිරීසවත්ථුව ආදියේ විසූ බවත් දක්වා තියෙනවා. නමුත් මේ මූලාශ්‍රවල රාක්ෂ සහ අසුර කණ්ඩායම් පිළිබඳව සඳහන් නොවීම එක්තරා ගැටළුවක්.

කුමාරතුංග මුනිදාසයන්ගේ අදහසට අනුව නම් යක්ෂ සහ රාක්ෂ කියන්නේ එකම කණ්ඩායමක ස්වරූප දෙකක්. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් ද යක්ෂ සහ රාක්ෂ යන නම් දෙක එකම සත්ත්ව වර්ගයා හැඳින්වීම පිණිස විශේෂයෙන් භාවිතා කළ එකක් බව Pre Buddhist Religious Beliefs in Ceylon යන ලිපියේ පෙන්වා දී තියෙනවා. ඒ අනුව ලක්දිව එකල සිව්හෙළය යන සංකල්පය ශාස්ත්‍රීය නොවන බවට මත ගොඩනැගී තියෙනවා.
ඒ අනුව පොදු පිළිගැනීමක් වන්නේ තුන් හෙළය යන්නයි. නමුත් තුන් සිංහලය නැත්නම් තුන් හෙළය විදියට මූලාශ්‍රගත තොරතුරුවලට අනුව සඳහන් වෙන්නේ රුහුණු , මායා, පිහිටි යන ප්‍රාදේශීය බෙදීම් තුනයි. ඒ නිසාම මේ කරුණු කාරණා සමඟ බලද්දි යක්ෂ, නාග, දේව යන කණ්ඩායම් තුන මත පදනම්ව සිව්හෙළය යන්නට ව්‍යවහාර වූ බව සිතීම අශාස්ත්‍රීයයි. ඒ නිසාම එකල අනෝතප්ත විලෙන් ආරම්භ වූ ගංගාවලින් බෙදීගිය කොටස් හතර පාදක කොටගෙන සිව්හෙළය ලෙසට ව්‍යවහාර වූ බව සිතීම සාධාරනය විය හැකියි.