කතරගම දෙවියන්ගේ ප්‍රධාන සේනාධිපති සූනියම් දෙවියන්ගේ උප්පත්ති කතාව
මහත් තෙද බල ඇති දෙවි දේවතාවුන් අතර කතරගම දෙවිඳුන් නැත්නම් කඳ කුමරුන්ට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්. රුහුණට අධිපති කතරගම දෙවියන් තමන් වහන්සේට විශේෂ කාර්යයන් සඳහා සහාය වුණු දෙවි දේවතාවුන් රැසක් පිළිබඳව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.රටේ පාලකයා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යන්නටත් එදත් අදත් විවිධ පුද්ගලයන්ව සේවයට යොදවනු ලැබුණා. ඉතින් ඒ වගේ කතරගම දෙවියන්ගේ පරිවාර සේනාවේ සේනාධිපති ලෙසින් කටයුතු කළේ සූනියම් දෙවියන් බවටයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.
පුර පක්ෂයේදී දෙවියෙක් ලෙසත් අව පක්ෂයේ දී යක්ෂයෙකුගේ විලාසයෙනුත් වාසය කරන සූනියම් දෙවියන් දේවතා බණ්ඩාර දෙවියන්ගේ අධිකාරම් ලෙසත්, උපුල්වන් දෙවියන්ගේ පණිවුඩකරු ලෙසත් වැඩ වාසය කරන බවයි ජනතාවගේ විශ්වාසය. ඒ අනුව සූනියම් දෙවියන් විෂ්ණු ආදී සතරවරම් දෙවිවරු වගේම වැදගත් ස්ථානයක් හිමි කරනු ලබනවා. මේ සූනියම් දෙවියන් ඔඩ්ඩි කුමාර, ගම්භාර දෙවියන්, සූනියම් යකා ලෙසත් හඳුන්වනු ලබන අතර ඒ දෙවියන්ට පරිවාර යක්ෂයන් 8 ක් සිටින බවත් පැවසෙනවා. මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රය තුළ වීර සඳුන්, මදුරෙයි විරන්, මල්තිරියාම් ආදි නම්වලින් හඳුන්වනවා.

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතින අතර මේ දෙවියන් වසඟ පුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක් ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසෙන් මෙලොව පහළ වූ බවත් සඳහන්.
ඒ වගේම තවත් ජනප්‍රවාදයකට අනුව පුරාණ දඹදිව උතුරු දිශාවේ එක්තරා ප්‍රදේශයක දරුණු යක්ෂ උවදුරක් පැවති අතර මල්වර වුණු දැරියන් රූමත් කාන්තාවන් තනිපංගලමේ සිටිය දී විකාරයෙන් දොඩවන්නට වුණා.අලුත උපන් බිලිදුන් එක්වරම අතුරුදන් වුණා.මේ උවදුරෙන් පීඩාවට පත් ජනතාව විවිධ ශාන්ති කර්ම බලි බිලි කරමින් මේ උවදුරෙන් මිදෙන්නට උත්සාහ කළත් ඒ සියල්ලම නිෂ්පල වුණා. ඉන්පසු නැවත තෙලිඟු රටින් දක්ෂ ඇදුරෙක් ගෙන් වූ අතර යක්ෂයාගේ බලවත්කම දුටු ඇදුරා සූනියම් කැපුම් මන්ත්‍ර ලක්ෂයක් ලියා ජීවම් කළ පුස්කොළ ග්‍රන්ථයක් ඇතුළට යක්ෂයා අල්ලා සිරකර එය රන් නූලකින් ගැට ගසා මුහුදේ පා කර යැව්වා.
එය පාවී ගොස් ලක්දිව දකුණු ඉවුරේ තිබියදී නිවැසියෙක්ට (ගාල්ල ප්‍රදේශය) හමුවුණු අතර ගාල්ල ප්‍රදේශයට වර්තමාන කුලියාපිටිය ප්‍රදේශයෙන් වන්දනාවේ ගිය උපාසකයා ඔහු හා මිත්‍රවුණා.ඉතින් ඉන්පසු කිසිදිනෙක එය නොලිහන පොරොන්දුව පිට මේ පුස්කොළ පොත ඒ උපාසකයාට දුන් අතර ඔහු එය ගෙනවිත් පෙට්ටගමේ ආරක්ෂිතව තැබුවත් කල් ගතවෙත්ම එය සොරෙක්ගේ අතට පත්වුණා. කිසිවක් නොදත් සොරා මේ රන් නූල ලිහද්දිම යක්ෂයා එළියට පැන මහත් පෙළහර පාන්නට වුණා.බියට පත් සොරා නැවත පොත බදින්න ලණුව තද කළත් යක්ෂයා ඒ වෙද්දි එළියට පැන හමාරයි.
ඉන්පසු පෙර මෙන් රටට වින කරමින් ඇවිද්ද අතර ඒ යක්ෂයා ගුරුකම් දන්නා පිරිමි ළමුන් වගේම අලුත ඉපදුණු බිලිදුන් ද විනාශ කර තිබුණා.කබලෑවේ වැසියන්ට හිරිහැර කළ යක්ෂයා දමනයට සමත් අයෙක් නොවීය.
මේ අතර රාජපද්ම මුදියන්සේ නම් උපාසකයා රට බේරාදෙන ලෙස පත්තිනි දෙවියන්ට කන්නලව් කළා. පත්තිනි දෙවියන් කියා සිටියේ නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජීවම් කර නවගුණ වැල් හත් පොටක් සකස් කරදෙන ලෙසයි. ඉන්පසු මහත් පරිශ්‍රමයකින් පත්තිනි දෙවියන් මේ නවගුණ වැල් හත යක්ෂයාට දැමූ අතර එයින් අහසට පැන නැගුණු යක්ෂයා එයින් වැල් පොටවල් 4 ක් කඩාගත් නමුත් ඉතිරිය කඩාගත නොහැකි වුණු නිසා යකා මෙල්ල වුණා.මෙල්ල වූ යකු වැටී සිටියදී ගම්මුන් කඹවලින් බැඳ දැමූ අතර එතැන කඹලෑව නම් වුණා.
ඉතින් මේ යක්ෂයාගේ ශක්තිය දුටු පත්තිනි දෙවිදුන් ඔහුට දේව වරමක් දුන්නේ අසරණ වැසියන්ට පිහිටවීම සඳහා පොරොන්දු කරවා ගනිමින්. ඉන්පසු කඹලෑ යක්ෂයා කඹලෑ දෙවියන් වුණා.පිල්ලි 18 ක්, අංගම් 18 ක්, හූනියම් කිරීමට මන්ත්‍ර ලක්ෂයක් සහ හූනියම් කැපීමට මන්ත්‍ර ලක්ෂයක් ද ඔහුට හිමිවුණා.
විවිධ ජනප්‍රවාදවලට අනුව සූනියම් දෙවියන් ගැන විවිධ මතවාද අසන්නට ලැබෙනවා. සූනියම් දෙවියන්ගේ නිල රථය සුදු අශ්වයා වන අතර අතේ සෝලු වැලකි .සුදු ජටාවක් බැඳ, උතුරු සලුවකින් සැරසී සිටියි.මුවෙහි විෂ සර්පයන්, සිරසේ නාග කොණ්ඩා පහක්, උදරයේ නාග බඳ පටියක් ද දැකගත හැකියි. ඉතින් මේ දෙවියන් යහපත කරන්නාට යහපතත් අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලත් ලබාදෙන අර්ධ දේව ස්වරූපයක් සහ අර්ධ යක්ෂ ස්වරූපයක් ද සහිත දෙවි කෙනෙක් ලෙසටයි සලකන්නේ.

රාත්‍රී කාලයේදී සුදුවන් වස්ත්‍රාභරණයෙන් සැරසී ඉතාමත් ශාන්ත ස්වරූපයෙන් ගම්බිම්වල සැරිසරන විට පිච්ච මල් සුවඳ විහිදෙන බවත් උන්වහන්සේ වෙත බුරා පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහරදෙන බවත් එයින් පහර කෑ සුනඛයන් හඳුනා ගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියෙන බවත් බැතිමතුන් විශ්වාස කරනවා.
මේ සූනියම් දෙවියන් පුද පූජා ලබන දේවාල රැසක් ගැන සඳහන් වෙනවා. ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉදි වී ඇති දේවාල අතුරින් මාවනැල්ල අලුත් නුවර පල්ලේ දේවාලය, ඇම්බැක්කේ පල්ල දේවාලය,දෙමටගොඩ බේස්ලයින් විහාරය, මහනුවර නාථ දේවාලය වගේම සූනියම් දෙවියන්ට කැපවුණු ප්‍රධාන දේවාලය කුලියාපිටිය ආසන්නයේ පිහිටා තියෙනවා. එය කපලෑ දේවාලය ලෙසටයි හඳුන්වනු ලබන්නේ.
සූනියම් දෙවියන්ගේ ආශිර්වාදයට ලක්වන ප්‍රදේශ වෙන්නේ රද්දලාන, කබලෑව, කුඹල්වල, ගොමු ගොමුව, දික්හැර ,වෑවල, ගයියාල, දීගල්ල, වෑගමුව සහ පල්ලේ පිටියයි. කබලෑමුත්තා මුන්නේශ්වරම් සිට තම්මැන්නා තොටට ගොස් ගිමන් හැර දිය නා ගම්බිම් බලා ඇවිදින අතර ලංකාවේ නන්දෙසින් එන ජනතාව සූනියම් දෙවියන්ගේ පිහිට පතනු ලබයි.
ඉතින් බුදු සසුනේ ආරක්ෂාව සඳහා වූ වගකීම් පැවරී ඇත්තේ ද මේ දෙවියන් මත වන අතර බෞද්ධ වෙහෙර විහාර,දාගැබ, බෝධීන් වහන්සේලාගේ ආරක්ෂාව සූනියම් දෙවියන්ට පැවරී තිබෙනවා. බෝ ගස්වල දිරාගිය අතු කිසිවෙක් කපා ඉවත් කළ නමුත් ඒ භූමියේ කිසිවෙක් නැති අවස්ථාවල අසාමාන්‍ය අයුරින් එම අතු කිසියම් ආපදාවකින් තොරවම බිම වැටීමට සලස්වන්නේ සූනියම් දෙවියන් විසින් බව බොහෝ ජනයා විශ්වාස කරනවා. සූනියම් දෙවියන්ගේ අණසකට යටත්ව බහිරවයන් සහ නාගයන් සිටින බවටත් බොහෝ විහාරාමවල සහ බෝ ගස් ආරක්ෂාවට නාගයන් සහ බහිරවයන් යොදවන්නේ ද සූනියම් දෙවියන් බවටත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

බොහෝ නිවෙස්වල ගම්භාර දෙවියන් වෙනුවෙන් පහන් තැබීමටත් පුරුදුව සිටිනවා. නිවස ඉදිරිපිට තබන පහනේ එළිය නිවසේ ඉදිරි දොරට වැටීම නුසුදුසු බවයි ගම්මුන්ගේ පිළිගැනීම.පුර පක්ෂයේ දිනවල සූනියම් දෙවියන්ගේ බලය වැඩිවන අතර අව පක්ෂයේ දිනවල සූනියම් යක්ෂයාගේ බලය වැඩිවන නිසා අව පක්ෂයේ දිනවල සූනියම් යක්ෂයාගේ බැල්ම නිවසේ වැටීම අසුබයි.
කොහොමවුණත් සූනියම් දෙවියන්ට නිවස තුළ පහන් දැල්වීම නොකළ යුතු අතර දෙවියන්ට කපුරු පහන් පත්තු කර දුම් අල්ලා පින්දීමෙන් සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවන අතර සර්ව ආරක්ෂාව ද ලැබෙයි.
ඉතින් ඒ සූනියම් දෙවියන් කතරගම දෙවියන්ගේ වගේම තවත් බලවත් දෙවි දේවතාවුන් වහන්සේලාගේ සිය කාර්යබාරය ඉටු කිරීමට මහත් වූ බලයක් ලබාදෙන දෙවි කෙනෙක් ලෙසයි පිළිගනු ලබන්නේ.