The Lanka Post

Official Lanka Post Blog

නොසලකා නොහැරිය යුතු පිළිකා රෝග ලක්ෂණ 20ක්‌

ඇමරිකාවේ පමණක් සෑම වසරකම නව පිළිකා රෝගීන් මිලියන 1.7 ක් පමණ වාර්තා වෙනවා. තමන්ගේ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන්ම පමණක් වළක්වා ගත හැකි පිළිකා ප්‍රභේද ගණනාවක් තිබෙන නිසා වර්තමානයේ මිනිසුන් ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ගැනීම, දුම්පානය නැවැත්වීම වැනි යහපත් ජීවන පුරුදු කෙරෙහි වැඩිපුර යොමු වීම දක්නට ලැබෙනවා.නමුත් පිළිකාවෙහි ඇති වඩාත්ම භයානක කරුණ වන්නේ එය සිරුර පුරා පැතිර යන තෙක් බොහෝ විට එහි රෝග ලක්ෂණ අවධානයට ලක් නොවී මගහැරී යාමයි. ව්‍යායාම කරන විට දී සිදු වූ තුවාලයක්, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක්, සුළු සමේ ගැටලුවක් වැනි ඔබ බොහෝ විට ගණන් නොගන්නා දෙයක් තුළ මතුපිටින් පෙනෙනවාට වඩා යමක් සැඟවී තිබෙන්නට පුළුවන්. මේ නිසා කල් නොයවා මෙම රෝග ලක්ෂණ ගැන අවධානය යොමු කරනවා නම් ඔබට වඩාත් දිගු නිරෝගිමත් දිවියක් ගත කිරීමට හැකි සම්භාවිතාව වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබ ඒ ආකාරයට අවධානය යොමු කල යුතු, පිළිකාවක් ‘විය හැකි’ රෝග ලක්ෂණ කිහිපයක් ගැන දැනුවත් කරන්න සිතුවා.

01.පැහැදිලි කළ නොහැකි බර අඩුවීම.බොහෝ දෙනෙක් තමන්ගේ බර අඩුවීම ගැන කැමැත්තක් දැක්වුවත්, පැහැදිලි කළ හැකි හේතුවක් නොමැතිව බර අඩු වීම පිටුපස වඩාත් බරපතල යමක් තිබිය හැකියි. හේතුවක් නොමැතිව බර අඩු වීම බොහෝවිට පිළිකාවක මුල් රෝග ලක්ෂණ වලින් එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අන්නසෝත්‍රය, උගුර, උදරය ආදී ප්‍රදේශවල ඇතිවන පිළිකා නිසා ගිලීමේ අපහසුතාවයත්, කුස නිතරම පිරී ඇති බවකුත් දැනෙන නිසා නොදැනුවත්වම සැලකිය යුතු මට්ටමකින් බර අඩු විය හැකියි. මීට අමතරව ඔබගේ ජීර්ණය කෙරෙහි ඇති කෙරෙන බලපෑම නිසා මහාන්ත්‍රයේ පිළිකාත් අහේතුක බර අඩු වීමකට මුල් විය හැකියි.

10 Health Issues That Cause Unexplained Weight Loss

02 .අධික විඩාව.ඕනෑම කෙනෙකු එදිනෙදා නිරත වන කාර්යයන් නිසා දවස අවසානයේ වෙහෙසට පත් වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට ඇඳෙන් බැසීමට නොහැකි තරම් වෙහෙසක් දැනෙනවා නම් සහ සැලකිය යුතු මට්ටමේ අමතරව විවේකයක් අවශ්‍ය බව හැඟෙනවා නම් ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් ඕනෑම පිළිකා තත්ත්වයකදී විඩාව දැනීම සාමාන්‍ය දෙයක් වුනත් ඒ අතරිනුත් ලිම්ෆෝමා, ලියුකේමියා සහ තයිරොයිඩ් පිළිකා සිරුරේ ශක්තිය හීන කර දැමීම පිළිබඳ විශේෂයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. ඔබටත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික වෙහෙසක් දැනෙනවා නම් ඊට හේතුව සොයා බැලීම සඳහා වෛද්‍යවරයකු මුණගැසෙන්න.

03.රක්තහීනතාවය.රක්තහීනතාවය ඇතිවීමට බලපාන විවිධ රෝග ගණනාවක් තිබෙනවා. ඒ අතරිනුත් පිළිකා හේතුවෙන් රක්තහීනතාව ඇති වීම සුලබව දක්නට ලැබෙන්නක්‌. අස්ථි පිළිකා, මයලෝමා, ලිම්ෆෝමා සහ ලියුකේමියා වැනි රුධිරය සහ ඇට මිදුළු සම්බන්ධ පිළිකා තත්ත්ව වලදී රතු රුධිර සෛල අව නිෂ්පාදනයක් සිදුවිය හැකියි. මීට අමතරව උදරයේ සහ මහාන්ත්‍රයේ පිළිකා හේතුවෙන් ජීර්ණ පද්ධතියෙහි සිදුවන රුධිර ගැලීම් හේතුවෙන්ද රක්තහීනතාවය ඇතිවිය හැකියි.

04.සිරුරේ ආන්තික ප්‍රදේශ වල හිරිවැටීම.හේතුවක් නොමැතිව ඔබේ අත් හා පාද එක්වරම හිරිවැටෙනවා නම් එය වෛද්‍යවරයෙකු මුණ ගැසීමට වේලාවයි. මෙසේ අත් හා පාද වැනි සිරුරේ ආන්තික ප්‍රදේශ හිරිවැටීම සඳහා ස්නායුවක් තෙරපීම හෝ දියවැඩියාව වැනි වඩාත් සුලභ හේතූන් තිබුනත්, මොළය සහ කොඳුඇට පෙළෙහි ඇතිවන පිලිකා ගෙඩි (Tumors) හේතුවෙන් ඇතැම් ස්නායු වල ක්‍රියාකාරීත්වය සීමා වීම නිසාද මෙවැනි හිරි වැටීමක් සිදුවිය හැකියි.

Sweaty man cancer symptoms

05.රාත්‍රියට දහඩිය දැමීම.ඔබේ විදුලි පංකාව හෝ වායු සමීකරණය ක්‍රියා විරහිත වීම නිසා රාත්‍රියට දහඩියෙන් පෙඟී නින්දෙන් අවදි වීම සාමාන්‍ය දෙයක්. නමුත් එවැනි හේතුවක් නොමැතිව දිනපතාම දහඩියෙන් පෙඟී නින්දෙන් අවදි වීම සාමාන්‍ය දෙයක් නොවෙයි. තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හෙවත් හයිපොතයිරොයිඩිසම් හෝ ආර්ථවහරණය වැනි හේතු නිසා සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය පවත්වා ගැනීමට අපහසු වුණත්, මෙසේ රාත්‍රී කාලයට අධික ලෙස දහඩිය දැමීම සඳහා ඇතැම් විට පිළිකාද හේතු විය හැකියි. උදාහරණයක් වශයෙන්, වසා පද්ධතියේ පිළිකාවක් වන ලිම්ෆෝමා තත්ත්වයේදී මිනිසුන් පලමුව අත්දකින රෝග ලක්ෂණ වලින් එකක් ලෙස රාත්‍රී කාලයේ අධිකව දහඩිය දැමීම හඳුන්වන්නට පුළුවන්.

06.බඩ පිපුම.ඔබ ලබා ගන්නා ඇතැම් ආහාර, හෝර්මෝනමය වෙනස්කම්, අධික ලුණු භාවිතය වැනි හේතූන් නිසා බඩ පිපුම සාමාන්‍ය දෙයක් වුණත් ඇතැම් අවස්ථාවලදී උදරය සහ මහාන්ත්‍රය වැනි ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා හෝ අග්න්‍යාශයේ සහ ප්‍රජනක පද්ධතියේ ඇතිවන පිළිකා හේතුවෙන්ද බඩ පිපුම දක්නට හැකියි.

07.උගුරේ ගෙඩියක් ඇතිවීම.මෙහිදී අප අදහස් කරන්නේ උගුරේ සැබැවින්ම ගෙඩියක් ඇතිවීම නොවෙයි. නමුත් උගුරේ ගෙඩියක් වැනි යමක් සිර වී ඇත්තාක් මෙන් අපහසුවක් දැනීම පිළිබඳවයි. තයිරොයිඩ් ග්‍රන්ථිය, අන්නසෝත්‍රය හා උගුර සම්බන්ධ පිලිකා වලදී මෙවැනි සංවේදනයක් දැනිය හැකි නිසා එවැන්නක් දිගින් දිගටම ඔබේ උගුරේ දැනෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න.

08.වසා ගැටිති ඉදිමීම.පිලිකාවක වඩාත් සුලභ ලක්ෂණයක් ලෙස සිරුරේ ගෙඩියක් හට ගැනීම සැලකුනත්, සාමාන්‍ය වසා ගැටිත්තක් ඉදිමීම පවා යම්කිසි බරපතළ යමක් පිළිබඳ ඉඟි කළ හැකියි. රුධිරය සම්බන්ධ පිළිකා, ලිම්ෆෝමා, ලියුකේමියා ඇතුළු වෙනත් පිළිකාවන් ගණනාවක්ම බොහෝවිට හඳුනා ගැනෙන්නේ රෝගියෙකු ඉදිමුණු වසා ගැටිත්තක් පිළිබඳව විමසීමට වෛද්‍යවරයෙකු මුණ ගැසුණු අවස්ථාවකදීයි.

Swollen lymph nodes surprising cancer symptoms

09.මුහුණ ඉදිමීම.රාත්‍රියට වැඩිපුර ලුණු සහිත ආහාර ලබා ගැනීම නිසා පසුදා උදෑසන මුහුණ සහ කම්මුල් වල තරමක් ඉදිමුණ ස්වභාවයක් සමග අවදි වන්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ හැරුණු කොට පිළිකා ගෙඩි මගින් රුධිර පරිවහනය අවහිර කෙරෙන විට, විශේෂයෙන්ම උත්තර මහා ශිරාවට, මිනිසුන් බොහෝ විට කැපී පෙනෙන ලෙස මුහුණ ඉදිමීමක් අත්විඳිනු දක්නට ලැබෙනවා. මෙය වඩාත් සුලභව තයිරොයිඩ්, පෙනහළු සහ පියයුරු පිලිකා වලදීත්, ඇතැම් අවස්ථාවලදී වකුගඩු සහ ලිම්ෆෝමා තත්ත්වයේදීත් දක්නට ලැබෙනවා.

10.දෘෂ්ඨිය වෙනස් වීම.වයසත් සමග ක්‍රමයෙන් දෘෂ්ඨිය සම්බන්ධ ගැටළු ඇති වීම හැරුණු කොට, ඔබ එක්වරම ඇස් පෙනීම වෙනස් වීම සම්බන්ධ ගැටලුවකට මුහුණ පානවා නම් වහාම වෛද්‍යවරයෙකු ඒ පිළිබඳව දැනුවත් කරන්න. මොළය සහ අක්ෂි ස්නායුව ආශ්‍රිතව ඇතිවන පිළිකා ගෙඩි මගින් ඇස්වලට පීඩනයක් එල්ල කෙරෙන නිසා එවැනි අවස්ථාවකදී ඉතා ඉක්මන් සහ බරපතළ දෘෂ්ටි වෙනස්වීමකට මුහුණ පෑමට සිදුවිය හැකියි.

11.මුත්‍රා පාලනය කරගත නොහැකි වීම.ඔබට මුත්‍රා පහ කිරීමට අවශ්‍ය අවස්ථාවකදී වැසිකිළියට යන තෙක් ඉවසා සිටීමට නොහැකිව පාලනයකින් තොරව මුත්‍රා පිටවෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න. ඇතැම් අවස්ථා වලදී වයස සහ ගර්භණී බව නිසාත් මෙය සිදුවන අතර තවත් අවස්ථා වලදී නිශ්චිත පිළිකා තත්ත්ව නිසා එය සිදුවිය හැකියි. පුරස්ථ ග්‍රන්ථි පිළිකා, මුත්‍රාශ පිළිකා සහ ප්‍රජනක පද්ධතියේ ඇතිවන පිලිකා ගෙඩි ඒ සඳහා උදාහරණ ලෙස හැඳින්විය හැකියි.

12.සමේ වළවල් ඇතිවීම.හිරුට නිරාවරණය වීම සහ හෝර්මෝනමය වෙනස්කම් නිසාත් විවිධ සමේ ගැටළු සහ වෙනස් ලක්ෂණ ඇතිවිය හැකියි. එනමුත් විශේෂයෙන්ම පපුව ආශ්‍රිත සමේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. සමේ කුඩා තිත් වැනි වළවල් හට ගැනීම ඇතුළු සමේ වෙනස්කම් (peau d’orange යනුවෙන් හැඳින් වෙන මෙම තත්ත්වයේදී දොඩම් ගෙඩියක ලෙල්ලේ පිට පැත්තේ දක්නට ලැබෙන ඉඳිකටු තුඩවල් වැනි කුඩා සිදුරු සමේ දක්නට ලැබෙනවා) බොහෝ විට පියයුරු පිළිකාවක ලක්ෂණයක් විය හැකියි.

Woman Eating Almond Anti-Aging

13.ගිලීමේ අපහසුතාවය.සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදීත් අත්විඳින්නට ලැබෙන ගිලීමේ අපහසුතාවය ඇතැම් අවස්ථා වලදී වඩාත් බරපතළ තත්ත්වයක ලක්ෂණයක් විය හැකියි. අන්නසෝත්‍රය හා උගුර ආශ්‍රිත පිළිකා තත්ත්ව වලදීත් මෙසේ ගිලීමේ අපහසුතාවක් ඇතිවිය හැකි අතර අවාසනාවකට මෙම රෝග ලක්ෂණය බොහෝ ප්‍රමාද වන තුරු නිරීක්ෂණය නොවී මගහැරී යනවා. මෙම ලක්ෂණය ඉතා සුළුවෙන් හෝ තිබෙනවා නම් සහ ආහාර ගන්නා විට කෑම නිතර සිර වෙනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

14.පර්ශු වලට පහලින් දැනෙන වේදනාව.බොහෝ වෙහෙසක් දැරිය යුතු බරපතළ ව්‍යායාම නිසා සහ වැරදි ඉරියව්වකින් නින්දට යාම වැනි හේතු නිසාත් පර්ශු ආශ්‍රිතව වේදනාවක් ඇතිවිය හැකි වුණත් ඇතැම් අවස්ථා වලදී ඔබේ පර්ශු කූඩුවේ දකුණු පසට පහලින් දැනෙන වේදනාව අක්මා පිළිකාවක ලක්ෂණයක් විය හැකියි. මේ අතර අස්ථි සම්බන්ධ පිළිකාවකදී ඍජුවම පර්ශු නොහොත් ඉළඇට වල වේදනාව අත්විඳිය හැකියි.

15.අත් යට ගැටිත්තක් ඇතිවීම.පිළිකාවක් විය හැකි ගෙඩි සම්බන්ධව පියයුරු පරීක්ෂා කළ යුතු බව බොහෝ දෙනෙක් දැන සිටියත්, එවැන්නක් සඳහා කිහිලි ප්‍රදේශයද පරික්ෂා කළ යුතු බවට බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඔබත් අත් යට එවැනි ගෙඩියක් හෝ ගැටිත්තක් නිරීක්ෂණය කරනවා නම් ඒ පිළිබඳව නිශ්චිතව දැන ගැනීමට පටක පරීක්ෂාවක් ( Biopsy) කිරීම වඩාත් සුදුසුයි. කිහිලි පරික්ෂා කිරීමෙන් පියයුරු පිළිකා පමණක් නොව ලිම්ෆෝමා වැනි පිළිකා හා සම්බන්ධ වන ඉදිමුණු වසා ගැටිතිද සොයාගත හැකියි.

16.සම යට ඇති වන රතු පැහැති පැල්ලම්. (Petechiae)කිසිම හේතුවක් නොමැතිව ඔබේ සම මත කුඩා තිත් වැනි රතු පැහැති තුවාල හට ගන්නවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. අභ්‍යන්තර රුධිර ගැලීමක් හේතුවෙන් හටගන්නා මෙම පැල්ලම් බොහෝවිට ලියුකේමියාව හෝ ලිම්ෆෝමා වැනි පිළිකාවක ලක්ෂණයක් විය හැකි අතර බොහෝ අවස්ථා වලදී දදයක් හෝ සුළු සමේ ගැටළුවක් ලෙස වරදවා වටහා ගැනෙනවා.

17.අස්ථි වේදනාව.අස්ථි වල හටගන්නා වේදනාව සෑම විටම වයසත් සමග සිදුවන්නක් නොවෙයි. එය බොහෝ අවස්ථාවලදී අස්ථිමය පිළිකාවක ලක්ෂණයක් වන නිසා එවන් වේදනාවක් හට ගැනීමට හේතු විය හැකි හදිසි අනතුරක් හෝ වෙනත් හේතුවක් නොමැතිව නිතර අස්ථි වල වේදනාවන් හටගන්නවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Woman with Doctor

18.වලිප්පුව.අපස්මාරය රෝගය හා සම්බන්ධව දක්නට ලැබෙන වලිප්පු තත්ත්වය ඇතැම් අවස්ථාවලදී මොළයේ ඇතිවන පිළිකා ගෙඩි හේතුවෙන්ද ඇතිවිය හැකියි. මේ නිසා ඔබ අපස්මාරය/මීමැස්මොරය වැනි රෝග තත්ත්වයක් නැතත් වලිප්පුව වැනි කම්පන තත්ත්ව වලින් පීඩා විඳිනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

19.සුව නොවන කැස්ස.පෙනහළු පිළිකා සහ තයිරොයිඩ් පිළිකා බොහෝ විට හඳුනාගන්නේ ඒවායේ රෝග ලක්ෂණයක් ලෙස සුව නොවන කැස්සක්‌ රෝගීන් අත්විඳින නිසයි. මේ නිසා සාමාන්‍ය කැස්සකට එදිනෙදා භාවිතා කරන ඖෂධ වලින්වත් ප්‍රතිඵලයක් නොමැති, සුව නොවන දිගුකාලීන කැස්සක් තිබෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

20.සමේ වර්ණය වෙනස් වීම.බොහෝ දෙනෙක් රන්වන් පැහැ සමක් ලබා ගැනීමට කැමැත්තක් දැක්වුවත් සම කහ පැහැයට හැරීම නම් ඒ තරම් සුබදායක ලක්ෂණයක් නොවෙයි. අක්මා පිළිකාවක අවසන් අදියර වලදී සම කහ පැහැයට හැරීමට හේතු වෙමින් දරුණු සෙංගමාල තත්ත්වයක් හට ගැනීම දක්නට ලැබෙනවා. මේ අතර සම නිල් පැහැ වීම දක්නට ලැබෙන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා වලදී රුධිරය අවම ලෙස ඔක්සිජනීකෘත වීම නිසයි.