The Lanka Post

Official Lanka Post Blog

ඇසුරුම්කරණ සංකේත වලින් අදහස් වන දේවල් 12 ක්

විවිධ භාණ්ඩ ඇසුරුම් වල නොයෙක් ආකාරයේ සංකේත සඳහන් වෙනවා. මෙම සංකේත වලින් එම භාණ්ඩ ගබඩා කළ යුතු සහ ප්‍රවාහනය කළ යුතු ආකාරයත්, ඒවා භාවිතා කිරීමේදී ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්ව ගැනත් අපව දැනුවත් කෙරෙනවා.නොදන්නා ඕනෑම කෙනෙකුගේ දැනගැනීම පිණිස පෙට්ටි සහ ඇසුරුම් වල සඳහන් වන එවැනි සුලබ සංකේත වලින් අදහස් කෙරෙන දේ ගැන අපි මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නට සිතුවා.

ඇසුරුම් කරන සංකේත අවශ්‍ය වන්නේ ඇයි? විවිධ ඇසුරුම් වල එහි අන්තර්ගත භාණ්ඩයට අදාළව නිෂ්පාදකයන් විසින් ලබාදෙන තොරතුරු අඩංගු වෙනවා. එමගින් භාණ්ඩයට සිදුවන හානි අවම කරගෙන එහි කල් පැවැත්ම දිගු කර ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව, වචන වෙනුවට සංකේතයක් යොදා ගැනීම මගින් කුඩා ඉඩක වුවත් වැදගත් තොරතුරු සියල්ල ඉදිරිපත් කළ හැකියි.

ඇසුරුම්කරණ සංකේත වලින් අදහස් වන්නේ මොනවාද?

01.ඉරිතැළුණු වීදුරුවක සංකේතයෙන් අදහස් වන්නේ හොඳ තත්වයේ පිඟන් කෝප්ප හෝ වීදුරු වැනි ඉතා සියුම්, බිඳෙනසුලු ද්‍රව්‍යයක් ඇසුරුම තුල අන්තර්ගත වන බවයි. එවැනි භාණ්ඩ සමග ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි. සාමාන්‍යයෙන් බිඳෙන සුළු ද්‍රව්‍ය නිෂ්පාදකයන් විසින් ඒවා බබල් රැප් (bubble wrap) වැනි මෘදු අමුද්‍රව්‍යයක් මගින් ඇසුරුම් කලත්, පරිහරණය කරන විට එවැනි පෙට්ටියකට අමතර සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයයි.

02.කුඩා පෙට්ටියක් වට කොට සිටින දෑතක සංකේතයෙන් අදහස් වන්නේ එම භාණ්ඩය ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බවයි. එය ඉක්මනින් හානි වන, බිඳෙනසුලු සියුම් කොටස් අන්තර්ගත ද්‍රව්‍යයක් විය හැකියි.

03.ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය අඩංගු පාර්සල් වල සාමාන්‍යයෙන් ගින්නක සලකුණ දැක්වෙනවා. ඉක්මනින් ගිනි ගන්නා දෙයක් උෂ්ණත්වය ආසන්නයෙන් තැබීම අනතුරුදායක විය හැකි නිසා මෙම සංකේතයෙන් අදහස් වන්නේ එම පෙට්ටිය උෂ්ණත්ව ප්‍රභවයක් අසලින් නොතැබිය යුතු බවයි.

04.උඩු අතට හැරුණු ඊතල දෙකක සංකේතයෙන් අදහස් වන්නේ ගබඩා කරන විට සහ ප්‍රවාහනය කරන විට එම පෙට්ටිය සෑම විටම උඩු අතට තැබිය යුතු බවයි. එමගින් භාණ්ඩ වලට හානියක් නොවන පරිදි පෙට්ටිය විවෘත කළ යුතු පැත්ත ගැනත් අදහසක් ලබාගත හැකියි.

05.සූර්යයාට සහ වහලයකට පහලින් ඇති කුඩා පෙට්ටියක සංකේතයෙන් අදහස් වන්නේ එම ද්‍රව්‍ය අඩංගු පාර්සලය හිරු එලියෙන් ඈත්ව ගබඩා කළ යුතු බවයි.

06 කලින් සංකේතය මෙන් නොව උෂ්ණත්වමානයක සළකුණෙන් කිසියම් නිර්දේශිත උෂ්ණත්ව පරාසයක් හැඟවෙනවා. එම නිසා භාණ්ඩයට හානියක් වීම වළක්වා ගැනීම සඳහා එය එහි සඳහන් උෂ්ණත්ව පරාසය තුල ගබඩා කිරීම වැදගත්.

07.කුඩයක සංකේතයෙන් අදහස් වන්නේ එහි අඩංගු භාණ්ඩයට ජලයෙන් හානි විය හැකි බවයි. එම නිසා සෑම විටම එය තෙතමනය සහිත ස්ථාන වලින් ඈත්ව තැබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ටොයිලට් පේපර් සහ පේපර් ටවල් අඩංගු පෙට්ටියක මෙම සංකේතය සඳහන් කර තිබිය හැකියි.

08.වීදුරුවක සහ ගෑරැප්පුවක සංකේතයෙන් අදහස් වන්නේ එහි ආහාර අන්තර්ගත වන බවයි. එම නිසා එවැනි පෙට්ටියක් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. මීට අමතරව එහි අඩංගු ආහාර නරක් විය හැකි නිසා එය ඉක්මනින් නියමිත ස්ථානයට ප්‍රවාහනය කළ යුතු බවටත් ප්‍රවාහනකරුවන් වෙත දැනුම් දීමක් කෙරෙනවා.

09.කතිරයකින් කපා හරින ලද කොක්කක සංකේතයෙන් අදහස් වන්නේ කොක්කකින් එසවූ විට පෙට්ටිය පහලින් විවෘත වී භාණ්ඩය බිමට වැටිය හැකි ආකාරයේ බරින් වැඩි යමක් එහි අන්තර්ගත වන බවයි. එම නිසා එවැනි සංකේතයක් අඩංගු පෙට්ටියක භාණ්ඩ වලට හානියක් නොවීම සඳහා කොක්කකින් අල්ලා ඉහළින් ඔසවනවා වෙනුවට පතුලෙන් ඔසවා ප්‍රවාහනය කළ යුතු බවට අදහසක් ලබා දෙනවා.

10.කිසියම් අංකයක් සහ ඊට පහළින් තීරු දෙකක් දැක්වෙන සංකේතයෙන් අදහස් වන්නේ එම භාණ්ඩය මත තවත් පෙට්ටි කිහිපයක් තැන්පත් කළ හැකි බවයි. (එම අංකයෙන් දැක්වෙන්නේ එසේ තැන්පත් කළ හැකි පෙට්ටි ගණනයි) ප්‍රවාහනය අතරතුර එම සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි පෙට්ටි ගණනක් ඒ මතින් තැන්පත් කළහොත් ඇසුරුමට හෝ භාණ්ඩයට හානියක් විය හැකියි.

11.පෙට්ටි දෙකක් එක මත තබා එය කපා හරින ලද සංකේතයෙන් අදහස් වන්නේ එහි අන්තර්ගත ද්‍රව්‍ය බිඳෙනසුලු සියුම් ද්‍රව්‍යයක් නිසා එම පෙට්ටිය මත වෙනත් පෙට්ටි තැන්පත් නොකළ යුතු බවයි.

12.කපා හරින ලද පිහියක සංකේතයෙන් අදහස් වන්නේ පෙට්ටිය විවෘත කිරීම සඳහා පිහියක් භාවිතා නොකළ යුතු බවයි. එමගින් එහි අඩංගු ද්‍රව්‍යයට හානියක් විය හැකියි.

13.පුද්ගලයකු පෙට්ටියක් ඔසවන ආකාරය දක්වා එය තහනම් කරන සලකුණක්‌ මගින් කපා දමා ඇති සංකේතයෙන් අදහස් වන්නේ එම පෙට්ටිය පුද්ගලයකු තනියම නොඑසවිය යුතු බවයි. එහි අඩංගු ද්‍රව්‍ය බරෙන් වැඩි නිසා තවත් පුද්ගලයෙකුගේ උපකාරය ඇතිව හෝ උපකරණයක් ආධාරයෙන් එය සිදු කිරීම වඩාත් සුදුසු බව එයින් හැඟවෙනවා.

14.ට්‍රොලියක සංකේතයෙන් අදහස් වන්නේ එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළ යුතු නිසා හෝ පුද්ගලයකුට එසවිය නොහැකි තරම් බර නිසා හෝ එය එහා මෙහා ගෙන යාම සඳහා ට්‍රොලියක් භාවිතා කළ යුතු බවයි.