The Lanka Post

Official Lanka Post Blog

රුධිරය රතු පැහැ වී නහර නිල් පැහැයෙන් යුක්ත වන්නේ ඇයි?

මිනිස් සිරුර කියන්නේ පද්ධති රාශියක එකතුවක්. ඒ වගේම ඒවගේ ක්‍රියාවලීන් ද ඉතා සංකීර්ණ ඒවායි. ජීවය පවත්වාගැනීම සඳහා විශාල  යාන්ත්‍රණයක් එහි සිදු වෙනවා. මිනිස් සිරුර ආශ්චර්යමත් නිර්මාණයක් ලෙස හැඳින්වෙන්නේ ද මේ අපූරු ක්‍රියාකාරිත්වයන් නිසයි. 

මිනිස් සිරුරේ පවතින එවන් අපූරු සැකැස්මක් ගැනයි අද අවධානය. ඇත්තටම ඇයි රුධිරය රතු පාට වෙලා නහර නිල් පාට වෙන්නේ? මේ ප්‍රශ්ණය ගැන ඔබට කවදා හරි හිතිලා තියෙනවා ද?

රුධිර නාළ එහෙමත් නැතිනම් ලේ නහර අපේ මුළු ශරීරය පුරාවටම ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒවා මඟින් අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට වැදගත් වන අවයව හා පටක වල අවශ්‍ය පෝෂණය අඛණ්ඩව සැපයීම සිදුකරනු ලබනවා. මෙය ක්‍රියාත්මක වෙන්නේ පද්ධතියක් විදියටයි. රුධිර සංසරණ පද්ධතිය ලෙස හඳුන්වන එහි ප්‍රධානම අවයවය තමයි මිනිස් හෘදය. හෘදය හරියට විශාල පොම්පයක් වගෙයි. එමඟින් අපේ මුළු සිරුර පුරාවටම රුධිරය පොම්ප කරනු ලබනවා.

හෘදයේ සිට ධමනි (arteries) ලෙස හඳුන්වන විශාල රුධිර නාළ හරහා ඔක්සිජන් මුසු වූ රුධිරය එහෙමත් නැතිනම් ඔක්සිජනීකෘත රුධිරය ශරීරය පුරා ගමන් කිරීමට පටන්ගනියි. ධමනි හෘදයෙන් ඉවතට යන විට ශාඛාවලට බෙදේ. එම ශාඛා නැවත අතුරු ශාඛා වලට බෙදෙයි. මේවා කේශ නාළිකා (capillaries) ලෙස හැඳින්වෙයි.

කේශනාළිකා මඟින් සිරුරේ හෘදයෙන් ඈත කොටස් වෙත ඔක්සිජන් සහිත රුධිරය ගෙන යයි.එහිදි සෛල වලට අවශ්‍ය පෝෂණය ලබාදී, කාබන් ඩයොක්සයිඩ් සමඟ සංතෘප්ත වි ඇති රුධිරය (waste blood) රුධිර ශිරා (veins) ගෙන යයි.ශිරා හරහා රුධිරය නැවත හදවතට පැමිණෙන අතර එමඟින් නැවත පෙනහළු හරහා ගොස් ඔක්සිජන් ලබාගෙන ඊළඟ චක්‍රය ආරම්භ වේ.

ශිරා වල ගමන් කරන රුධිරය නිල් පාටද?

සමහර අය සිතන්නේ ඔක්සිජන් නොමැතිකම නිසා ශිරා රුධිරය නිල් පැහැයක් ගන්නා බවයි.කෙසේ වෙතත්, මෙම උපකල්පනය වැරදියි. ඇත්ත වශයෙන්ම, රුධිරය සැම විටම රතු ය. ධමනි වල ඔක්සිජන් බහුල රුධිරය දීප්තිමත් රතු පැහැයක් ගන්නා අතර බොහෝ දුරට ඔක්සිජන් නොමැති ශිරා වල රුධිරය තද රතු පැහැතිය.

එසේ නම්, නහර නිල් පැහැයෙන් දිස්වන්නේ ඇයි?

නහර වල වර්ණය සාධක කිහිපයක් මත රඳා පවතී: ආලෝකය අපේ ශරීරය හා සම්බන්ධ වීමේදී හැසිරෙන ආකාරය, අපේ ඇස්වල වර්ණ සංජානනය කිරීමේ (හඳුනාගැනිමේ) හැකියාව සහ රුධිරයේ ඇති විශේෂ ගුණාංගයන් (properties) මත රඳා පවතී.

ආලෝකයේ විවිධ වර්ණ වල ඇත්තේ විවිධ තරංග ආයාමයන් (wavelengths) වේ. මේ හේතුව නිසා  ඒවාට අපේ සමට විනිවිද යාමට ඇති හැකියාව කෙරෙහි බලපායි. දිවා කාලයේදී අපේ සමට වැටෙන ආලෝකය සුදු ය. එය දෘශ්‍ය විකිරණ (visible radiation) වල අනෙකුත් සියලුම වර්ගයේ වර්ණ වල මිශ්‍රණයකි. නහර නිල් පැහැයෙන් දිස්වන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට රතු සහ නිල් ආලෝක වර්ණාවලිය හැසිරීම කෙසේ දැයි සොයා ගැනීම වැදගත් වෙනවා.

නිල් ආලෝකයට ඇත්තේ කෙටි තරංග ආයාමයක් . එයට සමට ගැඹුරට විනිවිද යාමට නොහැකි නිසා සම මත පතිත වූ විට බොහෝ දුරට පරාවර්තනය වෙයි (ආපසු හැරෙයි). රතු ආලෝකයට දිගු තරංග ආයාමයක් ඇත. එය බාධක හරහා පහසුවෙන් ගමන් කරනවා වගේම ඒවායින් පරාවර්තනය වෙනවාද අඩුය. මෙම ආලෝකයට මිලිමීටර 5 සිට 10 දක්වා සම පහළට විනිවිද ගමන් කිරීමට හැකියි. එනම් ශිරා පවතින ප්‍රදේශ තෙක්ම. එම ප්‍රදේශයේදී මෙම රතු ආලෝකය රුධිරය මඟින් අවශෝෂණය (උරාගැනීම) කරගනියි.

රතු හා නිල් ආලෝකය එකවරකදී සම මත පතිත වන විට (ඔබ දිනපතා දිවා ආලෝකයේදී නිරාවරණය වනවා මෙන්), විශාල නහර මඟින් නිල් ආලෝකය පරාවර්තනය කරමින්, රතු ආලෝකය අවශෝෂණය කරගැනීම සිදුකරයි. ඒ මොහොතේදීම නහර පිහිටා ඇති ස්ථාන වල මිනිස් ඇසට රතු පැහැය අඩු හා නිල් පැහැය වැඩි ආකාරයක් පෙනීමට පටන්ගනියි.

නහර  වල වර්ණය කෙලින්ම රඳා පවතින්නේ ඒවායේ ප්‍රමාණය සහ ඒවායේ පිහිටීමේ ගැඹුර මත වීම සිත්ගන්නා සුලු අපූරු කරුණකි. සම මතුපිටට සමීපව පිහිටා ඇති ඉතා තුනී කේශනාලිකා වලට විශාල නහර වල මෙන් ගැඹුරු තද නිල් පැහැයක් දක්නට නොමැත. අපේ අස් වලට ඒවායේ පැහැය රෝස හෝ දම් පැහැයන්ට හුරු ස්වභාවයකින් පෙනිය හැකියි.