විශ්ව ශක්තිය ලගා කරන වජ්‍රායුධය
වජ්‍රය සංස්කෘත භාෂාවෙන් බිඳී ආ වචනයක්. එයට අර්ථ තුනක් ඇති අතර වජ්‍රය යන්න අකුණු සැරට ද, දියමන්තියට ද, ඉසුරුමත් බවට ද භාවිතා වෙන බව සඳහන්.වජ්‍රය නැත්නම් වජ්‍රායුධය කියන්නේ දෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ ආයුධයක්. ඉතින් මේ ශක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය සංකේතවත් කරමින් ඈත අතීතයේ පටන්ම වජ්‍ර නිපදවීම සිදු කරනු ලබනවා.
වජ්‍ර කියන්නේ දාර හතරක් හෝ අටකින් සමන්විත හිස් දෙකක් දෙපසින් ඇති මධ්‍යයෙන් තරමක් ගෝලාකරා හැඩය ගත් මුගුරක් වගේ දෙයක්. දෙපස දාර අගින් එක්වී ඇති ආකාරයෙන් වගේම ඒ දාර එක් නොවී වෙන වෙනම උල් හැඩයෙන් යුක්ත ඒවාද තියෙනවා.
ඉතින් මේ වජ්‍රායුධය දෙවියන්ට අධිපති සක් දෙවිදු නැත්නම් ඉන්ද්‍රගේ ආයුධය වන අතර එහි උපත පිළිබඳව ඍජ් වේදයේ සහ පුරාණ කතා තුළ සඳහන් වෙනවා.ඒවායේ මේ පුවත මෙසේ සඳහන්.

පුරාණයේ අහී නැත්නම් ව්‍රිත්‍ර නමින් විශාල මකරෙක් වැනි සර්ප වේශයක් ඇති බලවත් අසුරයෙක් වුණා.ඔහු බොහෝ කාලයක් මහා බ්‍රහ්මයා වන්දනා කරමින් මහා බ්‍රහ්මයාගෙන් අහී අසුරයා වරයක් ලබාගත්තා.ඒ වරය වුණේ එතෙක් පහළ වෙලා තිබුණු කිසිම ආයුධයකින් තමන් විනාශ කරන්නට නොහැකිවීමටත් දැවමය ලෝහමය කිසිම ආයුධයකින් තමන් විනාශ නොකළ හැකිවීමත්ය.මේ වරය නිසා දෙවියන්ටවත් අසුරයාව විනාශ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමන් ලැබූ වරයෙන් උදම් වුණු අහී අසුරයා දෙව්ලොව ආක්‍රමණය කළා. දෙව්ලොව පාලනය අසුරයා අතරට පත්වීමෙන් ඔහු දෙවියන්ට ඍෂිවරුන්ට හිංසා කළා. මනුලෝකයට වැසි ලබා නොදීම නිසා මිනිසුන් පවා බොහෝසෙයින් පීඩාවට පත්වුණා.
මේ පීඩාවන් නිසාම ඉන්ද්‍ර හෙවත් සක් දෙවියන් විෂ්ණු දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටි අතර එවිට විෂ්ණු දෙවියන් පවසා සිටින්නේ “අහී අසුරයාව විනාශ කරන්නට මෙතෙක් ලෝකයේ පහළ නොවුණු ආයුධයකට සමාන නොවන ආකාරයෙන් එය දියමන්තියෙන් නිර්මාණය කළ යුතු බවත් ඒ තුළ දියමන්ති මෙන් දැඩි අස්ථි පිහිටා ඇති දධිචි නම් ඍෂිවරයාගේ කශේරු අස්ථි පිහිටවිය යුතු බවත් පවසා සිටියා. ”
ඉන්පසු සක් දෙවියන් දධිචි හමුවට ගොස් මේ පුවත සැල කළ පසුව ඒ ඍෂිවරයා මේ විපතෙන් දෙවියන් සහ මිනිසුන් ගලවා ගන්නට ඔහු මරණය වැළද ගන්නට කටයුතු කළා. ඔහු තම මරණයට පෙර ගංගා, බ්‍රහ්මපුත්‍ර ආදී ශුද්ධ වූ ගංගා ජලයෙන් පිරිසිදු වී ධ්‍යාන බලයෙන්ම ශරීරය දහනය වෙන්නට සලස්වනවා. ඉන්පසු සක් දෙවියන් දධිචි ඍෂිවරයාගේ කශේරු අස්ථි රැගෙන විශ්වකර්ම දෙවියන් වෙත ගිය අතර විශ්වකර්ම දෙවියා එයින් මෙතෙක් ලොව තිබූ කිසිම අයුධයකට සමාන නොවන අකුණු සැර ඇති කරන වජ්‍රායුධය නිර්මාණය කළා.මේ වජ්‍රායුධය රැගෙන අහී අසුරයා සමඟ යුද්ධයට ගිය සක් දෙවියන් අතින් අසුර මරණයට පත්වුණා. ඉතින් වජ්‍රායුධයේ උපත එසේ සිදුවුණු බව ඒ පුරාණ සාහිත්‍යයේ සඳහන්.

ඉන්දියානු පුරාවෘත්තයට අනුව වජ්‍ර කියන්නේ විශ්වයේ ඇති වඩාත් බලවත්ම ආයුධය. හින්දු ඉගැන්වීම්වල හැරුණාම බුදු දහම, ජෛන ඉගැන්වීම්වලත් මේ ආයුධය පිළිබඳව සඳහන් වෙනවා. රාමායනයේ හනුමාන් සිය කුඩා කාලයේ දී සූර්ය දෙවියන් ගිලින්නට උත්සාහ කරද්දි ඉන්ද්‍ර තම වජ්‍රායුධයෙන් හනුමාන් හට අකුණු සැර එල්ල කර තියෙනවා. නමුත් ඔහු එයින් කිසිම බලපෑමකට ලක්ව නැහැ.බුදු දහමේ වජ්‍රය කියන්නේ බුද්ධාගමේ ප්‍රධාන නිකායන් තුනෙන් එකක් වෙන වජ්‍රායනයේ සංකේතය. සකේතාත්මක සහ චාරිත්‍රානුකූල මෙවලමක් විදියට වජ්‍රය භාවිතය ඉන්දියාවේ පමණක් නොවෙයි ආසියාවේ අනිත් ප්‍රදේශවලත් ව්‍යාප්ත වූ අතර ලංකාව, ටිබෙටය තායිලන්තය වගේ රටවලත් බොහෝ කාලයක සිටම වජ්‍ර නිර්මාණයට සහ භාවිතයට ගත් බවට සාධක පවතිනවා.
ඉන්දියාවේ ඉහළම යුධ හමුදා ලංඡනය වන පරම වීර චක්‍ර තුළ වජ්‍රයක් සංකේත කර තිබෙන්නේ වජ්‍රය නිර්මාණය සඳහා ජීවිතය පරිත්‍යාග කළ දධිචි ඍෂිට ගෞරවයක් වශයෙනි.තායිලන්තයේ වජ්‍රායුධය රජුගේ පෞද්ගලික මුද්‍රාව විදියට ඉන්ද්‍රගේ චාපය වන අතර තායිලන්තයේ ස්වයම්භූනාත් පන්සල තුළ ද විශාල වජ්‍රයක් නිර්මාණය කර ඇති බවත් දකින්නට හැකියි. ඒ හැරුණාම භූතානයේ සංකේතයේ විශ්ව වජ්‍ර හෙවත් ද්විත්ව වජ්‍ර දර්ශණය වෙයි. ඒ අනුව සක් දෙවියන්ගේ වජ්‍රායුධය ආශ්‍රයෙන් විවිධ රටවල වජ්‍ර නිර්මාණය කර භාවිතා කරන බව පැහැදිලියි.
ඉතින් ඒ වජ්‍රය විසිතුරු භාණ්ඩයක් මෙන් දකින්නට ලැබුණත් මෙය විශ්වයේ පුණ්‍ය වූ ශක්තීන් නැත්නම් විශ්වය තුළ ඇති ජීවීයාට හිතකර වූ ප්‍රයෝජනවත් විශ්වාස ශක්තීන් ගබඩා කර අවැසි ආකාරයට හසුරුවා ගන්නට නිර්මාණය කළ එකක්. ඒ වගේම විශුෂ්ඨ ජ්‍යාමිතික සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණයක්. මේ ආයුධයේ දෙපස ඇති නෙලුම් පොහොට්ටු දෙක වැනි කොටසින් විශ්වයේ සහ භූමියේ ඇති ශක්තිය උරා ගැනීම උදෙසා නිර්මාණය වුණු ජ්‍යාමිතික සහ වාස්තු විද්‍යාත්මක උපකරණ දෙකක්. එහි ඇද ඇති ගෝලය තුළට ඒ ඇදගන්නා ශක්තිය එකතු කර වජ්‍රය අත දරන්නට ඒ ශක්තිය සම්ප්‍රේෂණය කරන අයුරින් මෙය නිමවා තියෙනවා. ඒ වගේම මේ වජ්‍ර තුළ අකුණක ශක්තිය ගබඩා කරන්නට හැකි බව පැවසෙනවා. ඒ වගේම මේ නිර්මාණයන් නිතැතින්ම මිනිසා වෙත විශ්වයේ ඇති ක්‍රියාකාරී ශක්තිය ලබාදෙමින් මිනිසා සෞභාග්‍ය කරා ගෙන ආයුධයක්. විශ්ව ශක්තියේ බලයෙන් සියලු කටයුතු සාර්ථකත්වයට පත් කරගන්නාසේම ප්‍රබල මිනිසුන් තම බහට අවනත කරගන්නට, පිරිස් බලය වර්ධනයටත් අතීත පුද්ගලයන් ඒ උපකරණය භාවිතා කළ බව පැවසෙනවා.

මහ රාවණ රජුට පුලස්ථි ඍෂිවරයා නිමකර දුන් වජ්‍රායුධය දිශා අටකට යොමුවුණු මුහුණකින් යුත් එකක් බවත් පසුව විශ්වකර්ම මුනිවරයා මේ අයුරින් දෙපසට මුහුණත් ඇති වජ්‍රය නිමකළ බවත් සඳහන්. ඒ අනුව එය යුධ අයුධයක් ලෙස නොව මිනිසාට ශක්තිය ලබාදෙන උපකරණයක් වුණා.
ඒ වගේම මේ වජ්‍රය හෙවත් ජයකොන්තය ලංකා ඉතිහාසය තුළ පුවත් කිහිපයක්ම පවතිනවා. ලක්දිව ආරක්ෂා කරන තෙද බලැති කතරගම දෙවියන්ගේ දකුණු පළමු අතේ දරා සිටින්නේත් මේ මහත් බල ඇති වජ්‍රායුධයයි. ඒ හැරුණාම ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාට කඳසුරිදුන් විසින් එළාර රජු හා සටනට යද්දි අත තබා ගන්නා ලෙසට ලබාදුන් ජයකොන්තය එතුමාට යුද්දය ජයගන්නට මහත් ශක්තියක් වුණු බව සඳහන් වෙනවා. ඒ වගේම සුරයන්ගේ මහා දෙවියා විදියට සලකන ඊශ්වර දෙවියන් අත වූ ත්‍රිශූලයත් මේ වජ්‍රයක් වන අතර ත්‍රිශූලය පද්ම පාද දෙකක් සහිත වජ්‍රයක් බවට දක්වා තියෙනවා.
ඉතින් අද වෙද්දි මන්ත්‍ර ක්‍රමයේ ප්‍රවීණයන්ගේ මතයට අනුව වජ්‍රායුධයේ හැඩයෙන් නිර්මාණය කරන වජ්‍ර ඉතාම දුර්ලභ බලවත් මන්ත්‍ර කරන අතර මන්ත්‍රයෙන් සිද්ධ නොකළ වජ්‍ර වුණත් ගෞරව සම්පයුක්තව සමිපයේ තබා ගැනීම සක්දෙව් බැල්ම ලැබෙන්නට හේතුවෙන බව විශ්වාස කරනු ලබනවා.