පැණි දොඩම් වගාවෙන් ඉහළ ආදායමක් ලබාගන්න විදිය
පිටරටින් ආනයනය කරන දොඩම් වැඩි මිලකට මිලට ගන්නට ලාංකීය ජනතාව පුරුදුවී සිටීම සැබැවින්ම මහත් ඛේදවාචකයක්. විවිධ රසායනික එකතු කර ලංකාවට ගෙන්වන බොහෝ පලතුරු මිලට ගැනීම විලාසිතාවක් වෙලා. දොඩම් ගත්තොත් කහ පැහැ පිටරට දොඩම් ගෙඩියක් මිලට ගන්නටත්, අපේ රටේ වගා කරන ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත නැවුම් දොඩම් ගෙඩියක් මිලට ගන්නට මැලිවෙන්නටත් හේතුව කුමක් ද යන්න විමසා බැලිය යුතුයි. ඇපල් ලංකාවේ දේශගුණික තත්ත්වයන් යටතේ වගා කරන්නට නොහැකි නමුත් යහමින් ලංකාවේ වගා කරන්නට හැකියාව ඇති දොඩම් පිටරටින් ගෙන්වන්නේ කුමණ අරමුණකින් ද යන්න සිතා බැලිය යුතු කරුණක්.
අද පලතුරු වෙළදපොළ ආක්‍රමණය කර තියෙන මේ දොඩම්වලට කදිම පිළිතුරක් දෙන්නට ලාංකීය ජනතාව විදියට අපට හැකියාවක් තියෙනවා. ඕනෑම කලාපයක වගාකර ඉහළ අස්වැන්නක් ලබාගත හැකි දොඩම් වගාව සඳහා දේශීය ගොවියා යොමුවීමෙන් අපේ මුදල් පිටරට යාම වළක්වා අතමිට සරුකරගෙන නීරෝගී ජාතියක් විදියට නැගී සිටින්නට හැකියි. ඉතින් සාර්ථකව දොඩම් වගාවක් කරන ආකාරය පිළිබඳව මේ ලිපියෙන් කතා කරමු.
සැමකාලයකම හොඳ ඉල්ලුමක් තියෙන,වෙහෙසකර ගොවිතැනක් නොවන වසර 13-15ක් අස්වැන්න ලබාගත හකි දොඩම් වගාව නඩත්තුව අපහසු වගාවක් නොවෙයි.
පස සහ දේශගුණික සාධක

වියළි සහ අතරමැදි කලාපවල හොඳින් වගා කළ හැකි පැණි දොඩම් වගාව සෙල්ෂියස් අංශක 13-38 ත් අතර වියළි දේගුණයක් තුළ වඩාත් සාර්ථකව වගා කළ හැකි බවට මතයක් පවතිනවා. ඒ වගේම වියළි කලාපයේ වගා කරන දොඩම් රසයෙන්, ගුණයෙන් සහ පැගිරිවලින් පොහොසත් බවටත් මතයක් පවතින නමුත් තෙත් කලාපයේත් වගා කර හොඳ අස්වැන්නක් ලබාගත හැකි දොඩම් ප්‍රභේද ලංකාවේ පවතිනවා.
ජලය හොඳින් බැස යන කාබනික ද්‍රව්‍ය බහුල ලොම් පස මේ සඳහා වඩාත් සුදුසුයි. ඒ වගේම පසේ මීටර් දෙකක් පමණ ගැඹුර දක්වා වූ ප්‍රදේශයේ බොහෝ තද පස් තට්ටුවක් නොමැතිවීමත් වගාවේ සාර්ථකත්වය සඳහා වඩාත් සුදුසුයි.
පසේ තිබිය යුතු PH අගය වෙන්නේ 5-6 ත් අතරයි. මේ අගයට වඩා අඩු හෝ වැඩි වුණොත් විවිධ මූල ද්‍රව්‍ය විෂවීම් සහ ඌනතාවයන් නිසා වගාව දුර්වල විය හැකියි.
වසර පුරාම පැතිරුණු වර්ෂාව පැණි දොඩම් වගාවට සුදුසු නොවන අතර මාස 2-3ක් පැහැදිලි වියළි කාලයක් පැවතිය යුතුයි.
පැල ලබාගැනීම

- බීජ ලබාගැනීමේ දී උසස් ගණයේ වැඩි අස්වැන්නක් ලබාදෙන නීරෝගි ගසකින් ගත් හොඳින් ඉදුණු දොඩම් ගෙඩියක් තෝරා ගත යුතුයි.
- බීජ ගෙඩියෙන් වෙන්කරගත් වහාම ජලයේ හොඳින් සෝදාගන්න. නමුත් මේ බීජ අව්වේ වියළා නොගත යුතුයි.
- බීජයේ උල් කෙළවරින් දික්වුණු බීජාවරනය මදක් දෙපසට විවර කර වැලි තවානක තවාන් කර ගන්න.
- ඉන්පසුව පිදුරු වසුනක් යොදා නිසි පරිදි ජලය සැපයිය යුතු අතර දවස් 7ක් හෝ 8කින් පැළවීම ඇරඹෙයි.
- මේ තවාන් බීජවලින් පත්‍ර දෙකක් ඇතිවුණාට පසුව නීරෝගී පැල කළු හෝ විනිවිද පෙනෙන සෙන්ටිමීටර් 15-20 තරම් විශ්කම්භය ඇති සෙන්ටිමීටර් 22-30 තරම් උස මළුවල සිටුවා ගත යුතුයි. මේ සඳහා රෝපණ මාධ්‍ය ලෙසට වැලි, මතුපිට පස් සහ කොම්පෝස්ට් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර සකසා ගන්න.
- මේ ආකාරයට මාස 5-6ක් කාලයක් පවත්වා ගත යුතුයි.මාස 6න් පසුව ක්ෂේත්‍රරයේ සිටුවා ගත හැකියි.
- බීජවලින් හැරුණාම බද්ධ කිරීමෙන් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඉතා ඵලබර ගස් බිහිකර ගතහැකි වුනත් වෛරස් බෝවීමේ අවදානම වැඩිවීම එහි ඇති අවාසිදායක තත්ත්වයක්.
පැල සිටුවීම

- මේ සඳහා ක්ෂේත්‍රය සකස් කර ගැනීමේදී ඉඩම පිරිසිදු කර ගැනීමත් පාංශු සංරක්ෂණ ක්‍රම යෙදීමත් අත්‍යවශ්‍ය වෙයි.ඒ වගේම අවට ඉඩම්වලින් ගලන වැසි ජලය පාලනය කිරීම සඳහාත් ඉඩමෙන් බැහැර කිරීමටත් නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.
- පැල සඳහා සැකසිය යුතු වලක ප්‍රමාණය බුරුල් පසක නම් සෙන්ටිමීටර් 60*60*60 ක් ද, මනා වර්ධනයකට නම් සෙන්ටිමීටර් 90*90*90 ක් ද විය යුතුයි. මේ වළවල් තුළට දිරාගිය ගොම පොහොර වළෙන් අඩක් පමණ පුරවා මතුපිට පස්වලින් පුරවා වළ තුලදීම මිශ්‍ර කළ යුතුයි. තෙතමනය රඳාපවත්වා ගන්නට වළ පතුලට පොල් ලෙලි ඇතිරීමත් සුදුසුයි. පසේ ආම්ලිකතාවය වැඩිනම් ඒ සඳහා ඩොලමයිට් කුඩු කිලෝ ග්‍රෑම් එකක් වළ තුළට දමා මිශ්‍ර කරන්න. ඩොලමයිට් යොදා සති 2කින් පමණ සහ පැල සිටුවන්නට දවස් 3-4 කට පෙර පැණි දොඩම් සඳහා වූ පොහොර මිශ්‍රණය පසට යොදා මිශ්‍ර කරන්න.
- පැල අතර පරතරය මීටර් 4*5 විය යුතුයි.
පොහොර භාවිතය

- වසරකදී යෙදිය යුතු පොහොර ප්‍රමාණය කොටස්වලට බෙදා පැලය වටේ කොළදාව පැතිරුණු දුරට විසිකර පස් මුල්ලු කළ යුතුයි. මෙහිදී පසේ තෙතමනය රැකීම සඳහා වසුන් යෙදිය යුතුයි.
- යූරියා, ත්‍රිත්ව සුපර් පොස්පේට්, මියුරේට් ඔෆ් පොටෑෂ් හැරුණාම දියර පොහොර භාවිතයත් හොඳ අස්වැන්නක් ලබා ගන්නට උපකාරී වෙනවා. මේ දියර පොහොර සතියකට වරක් යෙදීම ප්‍රමාණවත්.
- ඒ වගේම වැඩෙමින් පවතින නොමේරූ ගස් සඳහා නයිට්‍රජන් බහුල ක්ෂුද්‍ර මූලද්‍රව්‍යවලින් පොහොසත් පොහොර යෙදිය යුතුයි.පළමුවරට මල් පිපුණු පසුව අධික ලෙස පොටෑසියම් අඩංගු ක්ෂුද්‍ර මූල ද්‍රව්‍යවලින් පොහොසත් පොහොර සති දෙකකට වරක් යෙදීම ප්‍රයෝජනවත්. ගෙඩි මෝරන කාලයේදී මේවා යෙදීම අවශ්‍ය නොවෙයි.
- වාරය අවසන්වීමෙන් පසුව නොමේරු ගස් සඳහා දියර පොහොර මිශ්‍රණය යෙදිය යුතුයි.
- වසරකට දෙවරක් අස්වැන්න අවසන් වෙන්නට සතියකට පෙර සහ ඊට මාස 4-5කට පසුව ගසකට දිරාපත් වුණු කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 10ක් යෙදිය යුතුයි.
නඩත්තුව

- තනි වගාවක් ලෙස දොඩම් වගාව ඉතා යෝග්‍ය අතර වසර පුරාම ගසට හොඳින් හිරු එළිය ලැබීම ගසේ සාර්ථක වර්ධනයට සහ අස්වැන්න වර්ධනයටත් උපකාරී වෙනවා.
- වල් පැලෑටි මර්දනය කළ යුතු වුවත් සම්පූර්ණයෙන්ම වල් මර්දනය නොකළ යුත්තේ පස සෝදාපාලුවත් පසේ උෂ්ණත්වය ඉහලයාමත් සිදුවන නිසා. ඒ වගේම වල් පැල කපා දමා දොඩම් ගස වටා මීටරයක් හෝ දෙකක් දුරට ඝනකම් වසුනක් පවත්වා ගත යුතුයි.පැල සිටුවා පළමු වසර 3 දී පසේ තෙතමනය හොඳින් පවත්වා ගන්නට වියළි කාලයේ දී ජලය සැපයිය යුතුයි.
- වැඩි අස්වැන්නක් ලබා ගන්නට උසස් දොඩම් අස්වැන්නක් ලබා ගන්නටත් ගස් කප්පාදුව පුහුණු තවානේ සිටවීමේ සිට සිදු කළ යුතුයි. දිය රිකිලි, දුර්වල ඉති, වියලී ගිය හෝ මැරීගිය අතු ඵල හටගත් අතු කෙලවර ද කපා ඉවත් කළ යුතුයි. ඒ වගේම කැපුම් ස්ථානවලට දිලීර නාශක අඩංගු ආලේපනයක් ද තැවරිය යුතුයි.
- මල් හටගන්නා කාලයට මාස දෙකකට පමණ පෙර පස වියළීයාමට ඉඩ දී ගස මැලවීමට ඉඩ හරින්න. මියයාම වැළැක්වීමට පමණක් ජලය යොදා ඒ මාස දෙකෙන් පසුව හොඳින් ජලය සපයන්න. මල් හටගත් පසුව නොකඩවා මනා ලෙස පසේ තෙතමනය පවත්වා ගන්න.
- ඵල මෝරන විට පස වියළිව තබන්න. රෝග හා පලිබෝධ මර්දනය කරන්න.