The Lanka Post

Official Lanka Post Blog

අම්ල පිත්ත රෝගය සුව කරන කෝමාරිකා ශාකය

උෂ්ණාධික දේශගුණයක් සහිත රටවල් තුළ වඩාත් හොඳින් වැඩෙන ශාක විශේෂයක් ලෙස කෝමාරිකා හඳුනාගත  හැකිය. විශේෂයෙන් අප්‍රිකාව, ඇමරිකාව, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තුළ  කොමරිකා ශාකය හොඳින් වැඩේ. මෙම ශාකය අන්වර්ථ නාම රැසකින් ද හඳුන්වනු ලබයි. සෘතු කුමාරි, ගෘහ කන්‍යා, කුමාරි සහ කුමාරිකා යන නම් පෙන්වා දිය හැකිය. 

පඳුරක් ලෙස වැඩෙන කොමාරිකා ශාකයේ පත්‍ර දාර දෙපැත්තෙහි කටු සහිත ගතියක් පවතී. එමෙන්ම පත්‍රය ඇතුළත මාංසල කොටසත් ඇති අතර එය විනිවිද පෙනෙන සුදු පැහැති ජෙලි කොටසකි. තවද මෙම පත්‍රය දිගින් යුක්ත වේ. ඕනෑම පාංශු මට්ටමක වැඩෙන මෙම ශාකය සඳහා සාත්තුවක් එතරම් අවශ්‍ය නොවේ. එනමුත් තරමක කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් යෙදූ විට සාරවත් අන්දමින් කෝමාරිකා පඳුරු වැඩේ. ඉඩකඩ අඩු නිවාස තුළ පවා පෝච්චියක වුවද මෙම කෝමාරිකා ශාක පහසුවෙන් වගා කර ගත හැකිය. Liliaceae උද්භිද කුලයට අයත් මෙම ශාකය Alo Indica නම් උද්භිද නාමයෙන් හඳුන්වනු ලැබේ.

ඖෂධීය වටිනාකමින් අනූන ශාකයක් වන බැවින් වර්තමානයේ දී රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාත්, ෂැම්පු වර්ග, සබන් වර්ග, සුවඳ විලවුන් වර්ග හා ශරීර ආලේපන වර්ග නිපදවීමේදී කෝමාරිකා යොදා ගනී. 

කොමාරිකා සතු ඖෂධීය ගුණයන් පිළිබඳ කතා කිරීමේදී ශරීරය නිපදවිය නොහැකි ඇමයිනෝ අම්ල වර්ග හතක් කෝමාරිකා තුළ අන්තර්ගත වේ. ඒ අනුව ශරීරයට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල විසි දෙකෙන් විස්සක්ම ලබාදීමේ හැකියාව කෝමාරිකා සතුවේ. 

කාන්තාවන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා ද කෝමාරිකා යොදා ගැනීම සුලබවේ. ඒ අනුව සම වියලීම, සම ඉරිතැලීම, සම පිලිස්සීම හා අවපැහැ ගැන්වීම ආදී තත්ත්වයන්ට කෝමාරිකා භාවිතයෙන් ප්‍රතිකාර කරනු ලබයි. කෝමාරිකා තුළ පවතින තෙතමනය සහිත ගුණය සම ආශ්‍රිත ප්‍රතිකාර සඳහා වඩාත් යෝග්‍යවේ. තවද හිසකෙස් ආශ්‍රිත ප්‍රතිකාර සඳහා ද කෝමාරිකා සුදුසුවේ. ඒ අනුව හිසෙහි ගල්වන ආලේපන නිෂ්පාදනය කිරීමේදී කෝමාරිකා යොදා ගනී.  ඊට අමතරව කොමාරිකා මදය සූරා හිසෙහි ගැල්වීම හිසකෙස් වර්ධනයට බෙහෙවින් ඉවහල්වේ.

පිළිකා සෛල මර්ධනය කරයි. කෝමාරිකා ශරීරගත වීමෙන් පසුව ශරීරයේ පවතින වෙනස් වූ  DNA ව්‍යුහ මුල් තත්වයට ගෙන ඒමේ හැකියාව පවතී. එහිදී මෙම පිළිකා සෛල කෝමාරිකා නිසා ඇතිවන ප්‍රතිදේහ ගොඩනැගීමේ ගොඩ නැගීමේ හැකියාව නිසාම අකර්මණ්‍ය වේ. මේ සඳහා කෝමාරිකා සතුව පවතින ප්‍රතිශක්තිකරණය ඇති කිරීමේ හැකියාව ද උපකාරී වේ. ඒ අනුව පිළිකා සෛල විනාශ කිරීමේ ගුණයෙන් කෝමාරිකා ශාකය පොහොසත් වෙයි.

අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයට ගුණදායකය.

වර්තමානයේ ලොකු කුඩා භේදයකින් තොරව පීඩා විඳින රෝගී තත්ත්වයක් ලෙස අම්ල පිත්තය හඳුනාගත  හැකිය. ඒ සඳහා ද කදිම ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා භාවිතා කළ හැකිය. ආමාශයික යුෂ ඉහළ යාමත් සමග මෙම අම්ල පිත්ත රෝගය ඇතිවේ. මේ අනුව අන්ත්‍ර කේන්ද්‍ර කරගනිමින් තුවාල තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය. මෙහිදී කෝමාරිකා මදයේ පවතින ජෙලි පානය කිරීමෙන් එම රෝගය සුවපත්වේ. ඒ සඳහා හේතු වන්නේ කෝමාරිකා සතුව පවතින සිසිල් ගුණයි.

කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන ශරීර අපහසුතාවයන් සඳහා ද කෝමාරිකා වඩාත් ගුණදායකවේ. විශේෂයෙන් මෙම කාලයේදී කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසාවෙන් ශරීරය වේදනාවන්, ඇඟ රිදීම, දැවිල්ල ගතිය ආදියට කෝමාරිකා යුෂ පානය වඩාත් ගුණදායක වේ. ඒ අනුව කාන්තාවන්ට සුදුසු පාන වර්ගයන් අතුරින් කෝමාරිකා පානය සුවිශේෂී වේ.

කෝමාරිකා පානය රසවත් පානයක් ලෙස වර්තමානයේ ජනප්‍රියවේ. ඒ අනුව එය නිවසේ වුවද සකසා පානය කර ගැනීමට හැකිය. කෝමාරිකා පත්‍රයේ ජෙලි ටික සූරාගෙන එම ප්‍රමාණය මෙන් හත් ගුණයක් වතුර හෝ නැවුම් එළකිරි දමා මිශ්‍ර කරගෙන රස පරිදි සීනි හා ලුණු එකතු කර ශීත කර හෝ නොකර පානයට සුදුසු වේ.මීට අමතරව

  • රාත්‍රී අන්ධතාවයෙන් මිදීමට 
  • ශරීරයේ ඇති වන ප්‍රෝටීන් ඌනතාවයන්ට  
  • අක්ෂි රෝග වලට
  • පෝෂණ ඌනතාවයන්ට රක්තහීනතාවයට 
  • දුර්වල ප්‍රතිශක්තීකරණයට 
  • ආමාශගත රෝග වලට 
  • අම්ල පිත්ත රෝගයට
  • අර්ශස් රෝගයට
  • දියවැඩියාවට 
  • ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ගේ ඇතිවන රෝගී තත්වයන්ට
  • ශරීර පිළිස්සුම් වලට
  • කුරුලෑ ලප කැළැල් සමනයට

මේ ආදී රෝග සදහා කදිම ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිත කළ හැකිය. ඒ අනුව ඖෂධීය ගුණයෙන් අනූන කෝමාරිකා ශාකය සෑම නිවසකම වුවද පැවතිය යුතු ශාකයක්වේ.