දොළුකන්දේ සැඟවුණු හනුමන්තාගේ රහස් ඔසු උයන
ලංකාවේ දකින්නට ලැබෙන සුන්දර ස්ථාන බොහොමයක හරි අපූරු සැඟවුණු කතා බෝහෝමයක් පවතිනවා. ඒ ඇසුරින් තියෙන ජනප්‍රවාදවලින් අතීත තොරතුරු බොහෝමයක් අනාවරණය කර ගන්නට හැකියාව පවතිනවා. අදටත් වැඩි වශයෙන් කතාබහට ලක්වෙන විවාදයට ලක්වෙන කාරණයක් තමයි රාම රාවණා යුද්ධය. ඉතින් ලංකාවේ ස්ථාන බොහෝමයක් රාවණා රජුගේ ඉතිහාසය සමඟ බැඳී තියෙනවා.ලිඛිත සාධක නැතිවුණත් ඒවා අදටත් ලාංකීය ඉතිහාසය ගැන කතා කරද්දි අවධානයට ලක් වෙනවා.ඉතින් දොළුකන්ද කියන්නෙත් එදා රාම රාවණ යුද්ධයේ දී හනුමන්තා හිමාලයෙන් ගෙන ආ ඖෂධ කන්දෙන් කොටසක් වැටුණු බවට විශ්වාස කරන ප්‍රදේශයක්. ඉතින් මේ කාරණා හැරුණාම දොළුකන්දේ රාස්සගල සැඟවුණු ඉතිහාස කතා ගැන මේ ලිපියෙන් විමසීමට ලක් කරන්නයි මේ සූදානම් වෙන්නේ.

- පටුන ගම් සොදයි දොළුකන්ද දෑල
- පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ
- ගල් වැඩ සොදයි රජ දුටුගැමුණු තාලේ
- මුහුදු පෙනෙයි දොළු කන්දට වයිතාලේ
ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි මේ දොළුකන්ද අද වෙද්දි සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථානයක් බවට පත්ව තියෙනවා. කුරුණෑගල සිට ඉබ්බාගමුවට ගිහින් දොළුකන්දට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිරිපිටිය හරහා දොළු කන්දට ළඟා වෙන්නත් පුළුවන්.
ඉතින් මේ කන්ද දොළුව කියන ගමේ තියෙන නිසා දොළුකන්ද ලෙස හඳුන්වන බව පැවසෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 700 ක් පමණ උසකින් තමයි මේ කන්ද පිහිටා තියෙන්නේ.ඉතින් කිලෝමීටර් පහ හමාරක් පමණ දිගින් යුත් අඩි 2000 ක් පමණ උසකින් යුත් දොළු කන්ද තරණය කිරිම සැබැවින්ම ඉතා සුන්දර ගමනක්. නමුත් ටිකක් දුෂ්කරයි. උතුරු දකුණු දිශාගතව පැතිරෙන කඳුවැටියේ දකුණු කෙළවර ඍජු බෑවුමක් සහිත පර්වත කූටයකින් සමන්විත වෙනවා. ඉතින් එහි ඇති මේ අද්භූත ස්වභාවය නිසාම අතීතයේ පටන් ගම්මුන් ඒ කොටස රාස්සගල කියලයි හඳුන්වන්නේ.කොහොමවුණත් මේ කන්ද නගින්නට දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකුගේ උදව් ලබා ගැනීම වඩාත් යෝග්‍යයයි කියලා තමයි ඒ අත්දැකීම ලබා ගත් අය නම් පවසන්නේ.
දකුණින් නැලව, හකිරිල්ල, දොළුව, වෑවල ගම යන ගම්වලින් ද, බටහිරින් හීපහුව, අරන්කැලේ යන ගම්වලින් ද, උතුරින් කුඹුක් ගැටේ, හිරිපිටිය මාර්ගයෙන් ද , නැගෙනහිරින් මගලෙගොඩ, විලිබැම්ම, හුණුපොල, මොරගොල්ල, බාරුබේ යන ගම්වලිනුත් දොළුකන්ද මායිම් වෙනවා.

මේ දොළුකන්ද සමඟ ජනප්‍රවාද කිහිපයක්ම බැඳී පවතිනවා. පෙර සඳහන් කළා වගේම රාම රාවණ යුද්ධයේ දී තුවාල ලැබූ ලක්ෂ්මනට ප්‍රතිකාර කරන්නට ඕන කරපු පැලෑටිය ගෙන එන්නට හනුමන්තාව හිමාලයට යවනවා. එක් ස්ත්‍රියක් වෙනුවෙන් නිකරුණේ මේ කරණ සටන ගැන සිතමින් ගියපු හනුමන්තාට ඕන කරන පැලෑටියේ නම අමතක වුණාලු. ඉතින් ඒ නිසා පැලෑටි සහිත කඳු කොටසක්ම ඔසවාගෙන ආ බවත් ඒවා අරගෙන එන අතරමගදී කන්දේ කොටසක් කඩාවැටීමෙන් දොළුකන්ද ඇතිවුණා කියලත් කියනවා.කොහොමනමුත් එදා හනුමා ගෙන ආ ඖෂධ රූමස්සල, රිටිගල ආදී ලංකාවේ ස්ථානවලට පතිත වුණු බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.එයින් එක් ස්ථානයක් විදියට දොළුකන්දත් නම් දරා තිබෙනවා.
කොහොමනමුත් මේ කන්ද අතීතයේ දී ඖෂධ වනයක්ව පැවති නිසාම වෙදකමට නම් දරා සිටි බුද්ධදාස රජතුමත් මේ ඔසු උයනට අසු පිටින් පැමිණිලා දෝලාවකින් කන්ද මතට පැමිණි බවත් පැවසෙනවා. ඒ වගේම සඳ රාජ, කුරාහැඩයා, මහපත්මයා, මහ හැඩයා, ඉර රාජ, මහ සුදනා, කුඩා සුදනා, ජටාමකුට, මහ නාම්බා, කළු කොහිල, කලු වෙල්ලන්ගිරිය, මයුරපාද, කොට කිඹුලා, සුදු හදුන්, රත් හදුන්, ගරුඪ රාජා සහ කළු වැල් වගේ බොහෝ දුර්ලභ ගණයේ ඔසු පැළෑටි වර්ග දහස් ගණනක් මේ දොළු කන්ද ආශ්‍රිත වනයේ තිබෙන බවත් ගම්මුන් විශ්වාස කරනවා. ඒ වගේම අතීතයේ සිටම මේ වනයෙන් බොහෝ වෙදැදුරන් බෙහෙත් පැලෑටි සොයන්නට ආවා ගියා කියලත් ඔවුන් පවසනවා.
නමුත් ජාවාරම්කරුවන් වගේම මේ උයන නරඹන්නට එන ආයුර්වේද වෛද්‍යවරුන් සහ සිසුන් පවා මෙහි ඇති වටිනා ඖෂධ වගේම දුර්ලභ ගණයේ මල් පැලෑටි පවා ගලවා ගෙන යන බව ගම්මුන් පවසනවා. නමුත් දොළුකන්ද මුදුනේ ඇති දේශගුණය වෙනත් ප්‍රදේශවල නොමැති නිසා ඒ පැළ විනාශ වන බවත් ඔවුන් පවසනවා. ඔවුන් ඒ පැලෑටි වැඩි මිලට අලෙවි කිරීම නිසාත් දිනෙන් දිනම මේ දුර්ලභ ඔසු පැල විනාශ වී යන බවයි ගම්වාසීන් සඳහන් කරන්නේ.

ඒ වගේම මහවංශයේ සඳහන් වෙන දොළ පබ්බත මේ දොළුකන්ද බවටත් ඇතැමුන් විශ්වාස කරනවා. ඒ වගේම මහසෙන් සහ ජෙට්ඨතිස්ස යන රජවරුන්ට මේ කන්ද ආරක්ෂාව සැපයූ බව කියවෙනවා. ඒ අනුව මීට වසර ගණනාවකට ඉහත දී දොළු කන්දේ බලකොටුවක් හෝ මාලිගාවක් ඉදිකර තිබෙන්නට ඇති බව සිතන්නට හැකියි. ඒ අනුව එකල හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් වුණු ඒ.එම් හොකාට් විසින් වාර්තා කර ඇති කාරණයත් ඉතා වැදගත්. ඒ සටහනට අනුව එදා සීගීරිය, යාපහුව වගේම බලකොටුවක් මෙහි පවතින්නට ඇති නමුත් එහි විස්තර සොයන්නට ඔවුන්ට කාලයක් නොතිබු බවයි සඳහන් වන්නේ. ඕවර් සියර් කියන විදියට එකල මේ කන්දේ පිහිටි බලකොටුවක කොටු පවුරක් ද පැවත ඇති බව පවසා තිබෙනවා.
ඉතින් මෙහි බලකොටුවක් තිබුණු බවට විශ්වාස කළ හැකි නෂ්ටාවශේෂ අදටත් දකින්නට තිබීම ඒ අදහස සත්‍යයක් බවට තහවුරු කරනවා.අදටත් ගල වටේට තැනින් තැන දකින්නට ඇති එකල බැඳි පවුරක සලකුණු එවැනි නටබුන් අතර වෙනවා. ඒ වගේම එහි වැසිකිළි කැසිකිලි සහිත මාලිගා හෝ සිද්ධස්ථාන තිබුණ බවටත් විශ්වාස කරනු ලබනවා.

ඒ හැරුණාම මේ කන්දේ නටබුන් විශාල ප්‍රමාණයක් දකින්නට හැකියාව පවතින අතර එහි මාලිගාතැන්න ප්‍රදේශයේ ඇති පැරණි දාගැබක නටබුන් ඒ අතරින් විශේෂ වෙනවා. ඒ ස්ථානය වෙහෙරගල විදියටයි හඳුන්වනු ලබන්නේ.නමුත් අවාසනාවට ඒ සියල්ලම නිදන් සොරුන්ගේ ග්‍රහණයට නතුවෙලා. බොහෝ පුරාවස්තු ඒ හේතුව නිසාවෙන් විනාශ වෙන්නට ඇති. ඒ නිසාවෙන් අද ඒ ස්ථානයේ දකින්නට ලැබෙන්නේ පස් ගොඩක් සහ කැලයක් පමණයි. කොහොමවුණත් එහි ඇති ගල් ගුහාවක මිනිසුන් හා භික්ෂූන් වාසය කළ බවට සාක්ෂි දෙන අතර මේ දාගැබ අසලින් ජලය ගලායාමට ගලින්ම සකස් කළ ඇළක් ද දකින්නට හැකියි. කොහොමවුණත් ඒ ප්‍රදේශය නිරීක්ෂණයේ දී නිදන් ගත් බවට සහ නිදන් සොරුන් නිදන් සෙවූ බවට තහවුරු කෙරෙන වළවල් රැසක් දකින්නට හැකියි. එසේම මේ දොළු කන්ද මුදුනේ ස්වාභාවිකව නිර්මාණය වුණු පොකුණු කිහිපයක් ද දකින්නට හැකියි. වැටකේ පොකුණ, දුනුකේ පොකුණ, කළුදිය පොකුණ විදියටයි ඒවා නම් කර තියෙන්නේ.
කොහොමවුණත් දොළුකන්ද කියන්නේ රාම රාවණ කාලයේ සිටම පණ්ඩුකාභය,වලගම්බා, බුද්ධදාස වගේ රජවරුන් දක්වාම දිවයන ඉතිහාසයක් සහිත හරිම අපූරු සුන්දරත්වයක් විඳින්නට පුළුවන් ස්ථානයක්.