එකගෙයි කෑම – සහෝදරයන් හත්දෙනෙකුට එක බිරිඳයි
වර්තමානයේ පවතින ආකාරයේ සංකීර්ණ සමාජයක් මීට වසර ගණනාවකට පෙර දකින්නට ලැබුණේ නැහැ.සරල අවශ්‍යතා තිබුණු සරල සමාජයක් එකල පැවතුණේ. ඉතින් එදාටත් අදටත් පොදු දෙයක් තමයි විවාහය කියන්නේ. ඈත අතීතයේ විවාහය ඇති වුණේ විශ්වාසය මත. අද සහතිකයට පමණක් සීමාවුණු විවාහ තමයි බොහෝවිට දකින්නට තියෙන්නේ. කොහොමවුණත් එදා බින්න විවාහ, දීග විවාහ ආදී විවාහ ක්‍රම පැවතුණා. එකගෙයි කෑම කියන්නේ එක් විවාහ සම්ප්‍රදායක්.
ඉතින් විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ තිබුණු විවාහ සම්ප්‍රදායක්. නමුත් අද වෙද්දි අභාවයට ගියපු සම්ප්‍රදායක්. අද නම් “මේ මොන අශීලාචාරකමක් ද ”කියලා ඇතැම් අයට සිතෙන්නටත් පුළුවන්. එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටින විට එක් බිරිඳක් ඒ සියලුදෙනාම වෙනුවෙන් කැන්දා ගෙන ඒම තමයි ඒ එකගෙයි කෑම කියන්නේ.මේ විවාහ සම්ප්‍රදායේ අරමුණු අතර ප්‍රධාන අරමුණ වුණේ ඉඩකඩම් සහ දේපළ බෙදීයාම වැළැක්වීම.
එදා ප්‍රේමය සහ ආදරයට වඩා ප්‍රධානත්වයක් හිමිවුණේ බත්පත සහ කාමාශාව සන්සිදුවා ගැනීම කියන කාරණා.මේ විවාහ ක්‍රමයට අනුව මනාලිය කැන්දා ගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොහොයුරා විසින්. ඔහු තමයි බිරිඳගේ පළමුවෙනි ස්වාමිපුරුෂයා.ගෙදර ප්‍රධානියා වෙන්නෙත් වැඩිමහල් සොහොයුරා. නමුත් පිරිමින් 7 දෙනෙක්ට වඩා වැඩි පවුලකට පොදු බිරියක් ගෙන ඒම උඩරට නීතියෙන් තහනම්ව තිබුණා. එය කාන්තාව පැත්තෙන් බැලූවිට සාධාරණ කරුණක් බව පෙනී යනවා.
ඩේව් දුටු ලංකාව කෘතියේ එකගෙයි කෑම සම්බන්ධයෙන් මෙසේ සටහන් කර තිබෙනවා. “අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධී නමුත් සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහුපුරුෂ සේවනය අපූර්ව විය.එහි ස්ත්‍රීයකට බොහෝවිට පුරුෂයන් දෙදෙනෙකු වෙති.ස්වාමිපුරුෂයින් සත්දෙනෙකු සිටින ස්ත්‍රියක් ගැනද මට අසන්නට ලැබිණි.”
ඉංග්‍රීසි ජාතික ඩේව් මේ එකගෙයි කෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අයෙක් ඉතින් ඔහු පවසන විදියට මේ දීගය ගැන කිසිම පිරිමියෙක් තමා හවුල් දීගයක් බව කිසිවෙක්ට පවසන්නේ නැහැ. ඔහු කියන්නේ එකගෙයි රක්ෂා වෙන බව.
ඒ වගේම තමයි ඩේව් සඳහන් කරන විදියට බිරිඳගේ පිළිතුර වෙන්නෙත් “ මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා” යන්නයි .කොහොමවුණත් මේ එකගෙයි කෑම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වග රාජාවලිය හෙළි කරනවා. රාජාවලියේ මේ විවාහය ගැන මෙසේ සඳහන් කර තියෙනවා.
“මේ විජයබාහු රජ එකගෙයි කන අවදියට වැදූ කුමාරයන් තුන් දෙනාම , ධර්ම පරාක්‍රමබාහු රජුගේ ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන් හා විජේබාහු රජ්ජුරුවන් දෙන්නා එක් දෝලියට පැමිණ උන්නයි දත යුතු ” ඉතින් මේ ග්‍රන්ථය ඒ කියන විදියට ඒකල මේ එකගෙයි දීගය සාමාන්‍ය විවාහ රීතියක් විදියට පැවති බවත් ක්‍රි. ව. 1500- 1600 දක්වා මේ දීග පිළිවෙත වඩාත් ප්‍රචලිතව පැවති බවත් වැඩිදුරටත් එහි සඳහන්.
17 වන සියවසේ දී රොබට් නොක්ස් ලියා ඇත්තේ “ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැණියකට පුරුෂයන් දෙදෙනෙක් සිටීම ස්වාභාවිකය.” යනුවෙන්. ඉතින් මේ කරුණුවලට අනුව එදා ඉතා ප්‍රචලිත දීග ක්‍රමයක් ලෙස මේ එකගෙයි කෑම ලංකා සමාජයේ පැවත තිබෙනවා.
එකල සමාජයේ සැමියන් බොහෝ ගණනකට බිරිය වන ගැහැණිය වාසනාවන්තියක් විදියට සලකනු ලැබුවා. බොහෝ කාන්තාවන් ඒ දීගයට බොහෝ මනාපව සිටියා කියලත් බොහෝ තැන්වල සඳහන් වෙනවා. නමුත් ඒ දීගයට අකමැති කාන්තාවොත් සිටින්නට ඇති බවත් සිතන්නට පුළුවන්. ඒ වගේම එකගෙයි කන සහෝදරයෙක් ඉන් මිදී වෙනත් විවාහයක් කරගත් අවස්ථාත් එකල සමාජයේ නොතිබුණා නොවෙයි. ඒ වගේම බොහෝ අවස්ථාවල එකගෙයි කෑමෙන් බාල සොහොයුරා ඉවත් වෙන අවස්ථා ද පැවතුණු බව සඳහන්. උඩරැටියන් අතර මනා ලෙස ස්ථාවර වුණු ඒ දීගය පෘතිගීසි සමයේ දී මුහුදු ආශ්‍රිතව කලාපයේ ධීවර ගම්මානවලත් පැතිරී ගිය බවයි සඳහන් වෙන්නේ.
ආචාර ධර්ම -ඥාති සමූහයාගේ එකඟත්වයෙන් පවුලේ වැඩිමහලු සොහොයුරා ගෙනෙන බිරිය සමඟ අනික් සොහොයුරන්ටත් ලිංගික ඇසුර පවත්වන්නට අවසර හිමිවෙනවා.වැඩිමහල් සොහොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරනවා. ඊළඟ රැය ඊළඟට වැඩිමහල් සොහොයුරා සමඟ ගත කරනවා.මේ විදියට අනෙක් සෑම සොහොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරනවා. පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව හතකට වඩා වැඩි නම් අටවැන්නාට වෙනත් බිරියක් කැන්දා ගෙන එන්නට හැකියාව තියෙනවා. ඒ අටවන සොහොයුරාට බාල සොහොයුරෙක් සිටී නම් අටවන සොහොයුරාගේ බිරිඳත් සමඟ ලිංගික සබඳතා පවත්වන්නට නවවැනි සොහොයුරාටත් අවසර හිමිවෙනවා.
මේ විවාහයේ දී යම් ආචාර ධර්ම පද්ධතියකුත් නැත්තේම නොවෙයි. සැමියෙක් බිරිඳ සමඟ කාමරයේ සිටින බව දන්වන්නට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලීම ආදිය සිදු කරනවා. එයින් අනික් සහෝදරයන් දැන ගන්නවා ඇය යහන්ගත වෙලා කියලා. ඒ නිසා තමන්ගේ වාරය එනතුරා කාමරයට යන්නට බලාගෙන සිටිනවා. කිසිම දවසක අමුඩ ලේන්සු දෙකක් එල්ලෙන තත්ත්වයක් නම් උදා වෙන්නේ නැහැ.
ඒ වගේම ඇය යහන්ගත වූ විට එය සංකේතාත්මකව සන්නිවේදනය කරන්නට නිවස ඉදිරිපිට කුල්ලක් තැබීමත් සිදු කළා. ඒ වගේම ඇයට මාස් ශුද්ධිය පටන්ගෙන ඇති බව ඇය තම ස්වාමිපුරුෂයන්ට සන්නිවේදනය කළේ කිරි ගසක දිය රෙද්දක් වැනීමෙන්. එවිට සිය හැඟීම් යටපත් කරගෙන සිටින්නට ස්වාමිපුරුෂයන්ට සිදුවුණා.
- හඳත් මෝරලා රන්තරු සමඟ දිලේ
- ගතත් සීතලෙන් හිරිගඩු වැටෙන වෙලේ
- සිතක් අහල වී නුබ වෙත ආව කලේ
- අදත් දිය රෙද්ද වැනුව ද කොටුව වැලේ
කොහොමවුණත් දහවල් කාලයේ දී ඕනෑම සහෝදරයෙක්ට තම බිරිඳ සමඟ කාලය ගත කරන්නට හැකියාව තියෙනවා. දහවල් කාලයේදී බිරියගේ කාමරය ප්‍රයෝජනයට ගෙන නොමැති බව ඔවුන්ගෙන් අයෙක් දුටුවොත් ඒ අවස්ථාවේ හැටියට එක් සොහොයුරෙක්ට අඹු සැමියන් ලෙස හැසිටිය හැකියි.අනික් කාරණය කිසිම විටෙක කිසිදු සහෝදරයෙක්ට අකමැත්ත පල කරන්නට බිරිඳට හැකියාවක් නම් නැහැ. මොකද ඒ සියලුදෙනාම ඇයගේ ස්වාමි පුරුෂයන් නිසා. එක අඹුවක් සහේට අරගෙන එක ගෙදරක ජීවත් වෙද්දි ඔවුන් අතර අභ්‍යන්තර ගැටුම් පවා ඇතිවෙන්නට ඇති. නමුත් ඒවා බාහිර සමාජයට නිරාවරණය වුණේ නැහැ.
දරුවන්ගේ පියා කවුද -බොහෝ අයටත් මේ ගැටළුවම ඇතිනේ. මොකද දරුවාගේ සැබෑ පියා කවුද කියලා දැන ගන්නට ක්‍රමයක් නැහැනේ. ඒ නිසා බිරිඳට ලැබෙන දරුවන්ට මේ සහෝදරයන් සියලුදෙනාම පියවරු වෙනවා. ඩේව් දුටු ලංකාවේ ඔහු සඳහන් කරන්නේ ළමයි වැඩිමහල් සොහොයුරාට ලොකු අප්පච්චි ලෙසින් ද බාල සොහොයුරාට කුඩප්පච්චි ලෙසින්ද අමතන ලද බවයි. මේ විවාහයේදී එක් අයෙක් මිය ගියොත් දරුවන්ට පියා අහිමි වෙන්නේ නැහැ.
එකගෙය දීගයේ වාසි -මුලින් සඳහන් කළා වගේම මේ සම්ප්‍රදායන් බිහිවී තිබුණේ පරම්පරාවේ දේපල බෙදී යා නොදී ආරක්ෂා කරගන්නට. අදටත් උඩරට වලව් වගේම විශාල ඉඩකඩම් පැවතෙන්නට මේ විවාහ ක්‍රමයත් හේතුවුණු බව පිළිගැනෙන කාරණයක්.සහෝදරයන් අතර ඉඩකඩම් බෙදී ගිය විට කුටුම්බයේ ආර්ථිකය බිඳ වැටෙනවා. සියලු දෙනාම එක පවුලක් වුණාම ආර්ථිකය ශක්තිමත් වෙනවා. එක් පිරිමියෙක් වෙනුවට දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් කුඹුරු වපුරද්දි හේන් කොටද්දි ඒ සියලු අස්වැන්න ආදායම එක නිවසකට ලැබීමෙන් ආර්ථිකයට වාසිදයක වන බව එදා සමාජය පිළිගත් ප්‍රධාන කාරණයක්.
සොහොයුරන් කිහිපදෙනෙක්ගේම බිරිය වීමෙන් ඔවුන් සියල්ලගේම ආදරය සෙනෙහස සහ රැකවරණය ඇයට ලැබුණා. ඉතින් ඒ නිසාවෙන් බොහෝ කාන්තාවන් මේ විවාහයට වැඩි කැමැත්තක් දැක් වූ බවත් සඳහන්. ඇයට පිරිමින් සියලුදෙනාගෙන් ගෞරවය ලැබීම ඇයගේ ගෞරවය ආරක්ෂා කිරීමට ඔවුන් සියලු දෙනා කටයුතු කිරීමත් ඇය වැන්දඹුවක් නොවීමත් වාසිදායක කාරණා අතර වෙනවා.
දරුවන්ට පියවරුන් කිහිපදෙනෙකුගේම ආදරය රැකවරණය හිමිවුණා. එක් සොහොයුරෙක් මියගියත් දරුවන්ට පියවරු කිහිපදෙනෙක්ම සිටීමත් වාසියක්. කොහොමනමුත් 1815 දී බ්‍රිතාන්‍යයන්ගේ ජයටත් රජයක් විදියට ලංකාව පත්වීමෙන් පසුව අලුත් නීති මගින් මේ විවාහ සම්ප්‍රදාය තහනම් කළා. ජෝන් කැපර් විසින් 1852 දී ලියූ Old Ceylon කියන පොතේ උඩරට බහු පුරුෂ විවාහය තහනම් කර තිබූ බව සඳහන් කර තියෙනවා. නමුත් බොහෝ ගම්බද පළාත්වලට ඒ නීති වලංගු වුණේ නැතිවග මෑත අතීතය දක්වාම ඒ විවාහ සම්ප්‍රදාය පැවතීමෙන් පැහැදිලි වෙනවා.
ඉතින් අද ඒ විවාහ සම්ප්‍රදාය ශිෂ්ට සම්පන්න නොවූ දෙයක් විදියට සැලකුණත් එදා මේ විවාහ සම්ප්‍රදාය මහත් ගෞවරවාන්විත දෙයක් විදියට සැලකූ බව පැහැදිලියි.