The Lanka Post

Official Lanka Post Blog

ශ්‍රී පාද අඩවියේ ඇත් සොහොනේ කතාව

සුමන සමන් දෙවියන් අධිපතිව වැඩ සිටින සිරිපා අඩවිය සැබැවින්ම හාස්කම් පිරුණු භූමි  ප්‍රදේශයක්. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිරිපා සටහන පිහිටා ඇති සමනොළ කඳු මුදුන දෙස් විදෙස් ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙන පූජනීය අඩවියක්. සිරිපා අඩවිය ආසන්නයේ වාසය කරන ගම්වාසීන් කියන විදියට සමන් දෙවියන්ගේ දෙවි රැකවරණය ඒ අඩවිය පුරාවටම පැතිරිලා තියෙනවා. ඒ වගේමයි හාස්කම් හැරුණාම අද්භූත යම් යම් දේවල් පවා මේ අඩවියේ තිබෙන බවට ඔවුන් අතර විවිධ මතවාදයන් පවා පවතිනවා. අදටත් මිනිසුන්ට යාමට නොහැකි වඩාත් අද්භූත ස්ථාන මේ සිරිපා අඩවියේ සැඟවී තිබෙන බවත් ඔවුන් විශ්වාස කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ සිරිපා අඩවියේ ගම්වාසීන් විශ්වාස කරන සිරිපා අඩවියේ ඇති ගුප්ත ඇත් සොහොන පිළිබඳවයි . 

මෙය සැබැවින්ම පුරාවෘත්තයක් විදියට පැවතෙන අතර ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත සාක්ෂියක් අනාවරණය කරගන්නට හැකියාවක් නම් ලැබී නැහැ. නමුත් 1940 දශකයේ දී පමණ ඇත් සොහොන දුටු බවට අනාවරණය කර ගෙන තියෙනවා. ඒ 1940 වසරේ දී ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ශ්‍රී පාද අභය භුමිය ආසන්න කලාපයට කඩා වැටී ඇති බව වාර්තාවල සඳහන්. 

ඒ සිදුවුණු ගුවන් අනතුරින් තිදෙනෙක්ම මරණයට පත්වුණු බවත් වාර්තා වෙනවා. පැය කිහිපයකට පමණ පසුව කම්පනයට පත්ව සිටි තවත් නියමුවෙක් යානයෙන් බිමට බැස හාත්පස නිරීක්ෂණය කළා. හාත්පසම ඝන කැලෑවෙන් වැසී තිබුණු නිසාවෙන් ඔහු මිනිස් වාසයක් සොයා ගන්නට කැලෑව මැදින් ගමන් ආරම්භ කළා. වනයේ ඇති පලතුරු කමින් ගලාගිය පිරිසිදු සීතල දිය පහරකින් පිපාසය නිවාගනිමින් ඔහු තවත් ඉදිරියට ගමන් කළේ මිනිස් පුළුටක් හෝ දැකීමේ අභිප්‍රායෙනි.

නමුත් ටික දුරක් යද්දී ඔහුට දකින්නට ලැබුණේ අක්කර ගණනාවක විහිදි තැනිතලා බිමක අලි ඇතුන්ගේ ඇට සැකිලි, අස්ථි කොටස්, ඇත් දත් ආදිය විසිරී ඇති ආකාරයයි. ඒ භූමියේ අස්ථි කොටස් දහස් ගණනක් දකින්නට ලැබුණු බවයි වාර්තා වෙන්නේ. මේ තැනිතලා භූමිය විශාල ගහකොළවලින් වැසී තිබුණු බවත් වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබූ බවත් ඒ අසලින් ජල පහරක් ද ගලා ගිය බවත් සඳහන්.

ඔහුගේ නිරීක්ෂණයට අනුව ඒ තැනිතලා භූමි ප්‍රදේශයේ ඇතුන්ගේ විශාල අස්ථි කොටස් හා දිරාගිය ඇට සැකිලි ආදියත් තැනින් තැන විසිරී ඇති ඇත් දළ ආදියෙනුත් එය ඇතුන්ගේ සුසානයක් විය හැකියි. ඉතින් ඒ පුද්ගලයා බොහෝ වේලාවක් ඒ ස්ථානය නිරීක්ෂණය කර නැවත ගමන් ආරම්භ කළේ මේ ඝන වනාන්තරයෙන් පිටවෙන්නට මගක් සොයා ගන්නටයි. නමුත් එය සිතූ තරම් පහසු කාර්යයක් නොවූ අතර ඔහුට දින ගණනාවක් ඉබාගාතයේ ඇවිදින්නට සිදුවුණා.

ඉතාමත් වෙහෙසකර දින ගණනාවකට පසුව ඔහු ගම්මානයකට ළඟා වූ අතර ගම්මුන්ගේ සත්කාර සංග්‍රහ ලැබ විඩාව දුරු කරගත් ඔහු තමා මහ ඝන කැලයේදී දුටු සුසාන භූමිය පිළිබඳව තොරතුරු අනාවරණය කළා. ඒ විතරක් නොවෙයි ඒ පුද්ගයා සිරිපා අඩවියේ අබිරහස් ලෙස සැඟවී ඇති ඇත් සොහොන ගැන තමා දුටු දේ පුවත්පත්කට පවසා සිටියත් නැවත ඇත් සොහොන සොයා යන්නට අවස්ථාවල ලැබී නැති වගයි වාර්තා වෙන්නේ.

මීට වසර ගණනාවක පෙර ඒ පුද්ගලයා දුටු ඒ ඇත් සුසානය සොයා ගන්නට පසුකාලීනව විවිධ උත්සාහයන් දැරුවත් ඒ එක් උත්සාහයක්වත් සඵල වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. වෙහෙස මහන්සියත් සමඟ කැලේ ඉබාගාතේ ඇවිද ගිය ඒ පුද්ගලයාටත් එහි ගමන් මග ගැන නිසි අවබෝධයක් නොතිබීමත් කාලයත් සමඟ ඒ සිදුවීම යටපත්වීමත් නිසා අද වෙද්දිත් මේ කාරණය අබිරහසක්ව පවතිනවා.

නමුත් පැරන්නන්ගේ අදහස් හා විශ්වාසයන්ට අනුව ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වුණු ගුප්ත සුසාන භූමියක් පවතිනවා. වියපත් වුණු, මරණයට වඩාත් ළංවුණු අලි ඇතුන් එය දැණුනු විට ඒ සුසාන භූමිය කරා පැමිණ ඇදවැටී මියයන බවත් ශ්‍රී පාද අඩවිය හා බැඳුණු ජනකතාවලත් කියවෙනවා.ඉතින් ගම්මුන් කියන විදියට එය සිරිපා අඩවියේ අලි ඇතුන්ට පමණක් සීමා වූ රහසක්ම පමණයි. ඉතින් එය එසේ සිතීමට ඉඩකඩ බොහෝයි. 

මීට වසර ගණනාවකට පෙර අද මෙන් වන විනාශයන් සිදුව තිබුණේ නැහැ. ඒ වගේම වනාන්තර සරුවට ප්‍රදේශය පුරාම පැතිර තිබුණ. අලි ඇතුන් නිදහසේ සැරිසරුවා. එකල අලිමංකඩ ඇහිරීම් සහ මිනිසුන්ගෙන් බාධා අලින්ට ඇතිවුණේ නැහැ. එදාට වඩා අද සිරිපා අඩවියේ පමණක් නොවෙයි ලංකාවේම අලි ඇතුන් ගහණය බොහෝ සෙයින් අඩුවී තියෙනවා.ඉතින් මේ කාරණා සියල්ලම විමර්ශණයට ලක් කළ විට එදා හස්තීන් මිනිසුන්ගේ හිරිහැරවලට ලක්වුණේ නැති බව පැහැදිලියි. අද වගේ  විවිධ අරමුණු තකා ඇතුන් ඝාතනයට ලක්වුණේ නැහැ. ඒ වගේම වනාන්තරයේ හස්තීන්ට ඕන කරන ආහාර, ජලය වගේම නිදැල්ලේ සැරිසරන්නට ඉඩකඩ තිබුණා. ඒ නිසාවෙන් දීර්ඝායුෂ ලබන්නට එදා අලි ඇතුන් වාසනාවන්ත වුණා.

ඒ නිසා නිරෝගී අලි ඇතුන් දිගාසිරි වින්දා. කාලයක් යද්දී වියපත් භාවයට පත්වූ විට ඇත් රැළේ උපකාර ඇතිව හෝ තනිව මේ සුසාන භූමියට පැමිණ වාසය කරන්න ඇති. ඒ ආසන්නයේ අවශ්‍ය තරම් ආහාර හා ජල පහසුකම තිබීම ඔවුන්ට පහසුවක් ද වෙන්නට ඇති.

ඒ විතරක් නෙවෙයි ඒ කාලවල සිරිපා කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තර ද අලි ඇතුන්ගේ වාසස්ථාන වූ අතර ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තරත් අලි ඇතුන්ගෙන් පිරී පැවතුණු බව පැවසෙනවා . ඉතින් ඈත සිට පැමිණි සංක්‍රමණික අලි ඇතුන් වගේම රංචුවලින් ඉවත්වුණු සහ රංචුවලින් නෙරපා දැමූ තනි අලි පවා එකල මේ සීමාවේ නිදහසේ ජීවත් වෙන්නට ඇති. ඉතින් වසර දහස් ගණනක් සිරිපා අඩවියේ තිබුණු ඒ ගුප්ත ඇත් සොහොන අලි පරපුරටම සීමා වූ රහසක් ලෙස පවතින්නට ඇති. 

නමුත් වසර ගණනාවකට පෙර තිබුණු ඇතුන්ටම සීමාවුණු ඒ අබිරහස් සුසාන භූමියට සිදුවුණේ කුමක් ද?  එදා බ්‍රිතාන්‍යයන් උඩරට රාජ්‍ය අල්ලා ගැනීමත් නිසා උඩරට පුරාම 1835 දී පමණ කෝපි වගාව ව්‍යාප්ත වෙන්නට වුණා. ඒ වගේම 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යානුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි වුණු සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක වුණා. උඩරට වැසියන් කැරලිවලින් පසුව සිය සරුසාර ඉඩම් අත්හැර වඩාත් ආරක්ෂිත කඳුකර ප්‍රදේශ කරා ගොස් ජීවත් වෙන්නට පටන් ගත්තා. ඉතින් මේ හේතූන් නිසා ඉංග්‍රීසීන් විශාල වනාන්තර එළිපෙහෙළි කරමින් කෝපි වගාව සඳහා යොදාගත් අතර ඒ සඳහා සිංහරාජය සිරිපාදය අවට පැතිර තිබූ පරිවාර කැලෑ වගේම පූජනීය ආරක්ෂිත කැලෑබිම් ද යොදා ගත්තා. අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වුණා. දිය ඇලි ජල උල්පත් සිඳී ගියා.

නිදැල්ලේ සැරිසැරූ අලි ඇතුන් ඝාතනය එදා වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් වුණා.ඒ සඳහා අලි ඇතුන් දහස් ගණනක් මරණයට පත්කළා.ශ්‍රී පාද අඩවියේ හා සිංහරාජ කඳු පාමුල ජීවත් වුණු අලි ඇතුන් වතුකරුවන් අතින් ඝාතනයට ලක්වීම දිනෙන් දින වැඩිවුණා. ඒ නිසාවෙන් එදා වියපත්ව මරණය දැණුනු විට මියදෙන්නට ගිය සුසාන භූමි පාලුවට ගියා. 1875 දී කෝපි වගාව ක්‍රමයෙන් අභාවයට යාමට සමඟ තේ, රබර්, සිංකෝනා, කොකෝවා ආදී වගාවන් වාණිජ මට්ටමෙන් වගා කිරීම ආරම්භ වීම නිසා කඳු මුදුන් දක්වාම කැලෑ එළි පෙහෙළි කෙරුණා. එතෙක් ඉතිරිව සිටි අලි ගහණය  ඒ සමඟම තවත් අඩුවෙන්නට වුණා.

අලි ඇතුන් අල්ලා හීලෑ කිරීම්, ගාල් කිරීම, විකිණීම, මදු ගසා අලි ඇතුන් ඇල්ලීම (මඩකලපුව අවට විසූ මට්ට නම් මුස්ලිම් ජනයා විසින් ) පිටරට පැටවීම නිසා අලි ඇතුන්ගේ විනාශය විශාල වශයෙන් සිදුවුණා. අලි ඇතුන් හීලෑ කිරීමේ දී ඔවුන්ට සිදුවන තුවාල නිසාවෙන් බොහෝ හස්තීන් මරණයටත් පත්වුණා. ඇත් ගාල් පවත්වා ගැනීම පනාමුරේ ඇත් ගාලෙන් අත්හිටවනු ලැබුවත් එතෙක් හස්තීන්ට සිදු වූ විනාශය අතිමහත්.

මේ කරුණු කාරණා නිසාවෙන් 1850 වෙද්දි ශ්‍රී පාද අඩවියේ ඇත් සුසාන භූමියට ඇදී එන අලි ඇතුන් ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට ලක්වුණා. කැලෑබද ප්‍රදේශවල ගම්මුන් පදිංචිවීමෙන් අලි ඇතුන් ශීඝ්‍ර ලෙස වඳවීමට ලක්වුණා. නිරන්තරයෙන් ගැවසෙන දඩයක්කරුවන්ගේ වර්ධනයත් , හැටන් දුම්රිය මාර්ගය ආරම්භවීමත් ආදී කරුණු කාරණා නිසා ශ්‍රී පාද භූමිය ආශ්‍රිතව  ජනගහනය වඩ වඩාත් වර්ධනය වූ නිසාවෙන් අලි ජනගහනය අද වෙද්දි ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි වාසය කරන්නේ. ඒ නිසාවෙන් 1940 වන විටත් අතීතයේ ශ්‍රී පාද අඩවියේ වාසය කළ අලි ඇතුන්ටම පමණක් සීමා වුණු සුසාන භූමියත් අභාවයට යන්නට ඇති බව සිතීම සාධාරණයි.