The Lanka Post

Official Lanka Post Blog

ගඟේ දේවාලයේ අදටත් ඇති හාස්කම්

ලාංකීය ජනතාව අතර පමණක් නොව වෙනත් බොහෝ රටවල බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවෙන දෙවි කෙනෙක් තමයි ගණ දෙවියන්. ගණපති, ගණේශ්වර, ගණේෂ්, ඒකදන්ත,යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන ගණදෙවියෝ නුවණට අධිපති දෙවියන් විදියටයි සලකනු ලබන්නේ. දේව පුරාණයට අනුව ගණ දෙවියන්ගේ මව පාර්වතී දේවිය වන අතර පියා ශිව දෙවියන් .කතරගම දෙවියන් බාල සොහොයුරා වන අතර අයියරත්න නම් තවත් සොහොයුරෙක් ද ගණ දෙවියන්ට  ඉන්නවා. 

ගණ දෙවියන්ගේ මුහුණ ඇතෙකුගේ හිසක් විදියටයි දකින්නට ලැබෙන්නේ. ඒ කතරගම දෙවියන්ට වල්ලි අම්මා කියන රූමත් කාන්තාව කැමති කරවා ගන්නට උදව් කිරීමේ ප්‍රතිඵලයක් විදියට.ගණ දෙවියන් වල්ලි අම්මා තැති ගන්වන්නට ඇතෙකුගේ ස්වරූපයක් මවාගත් බවත්, එහිදී බියට පත් වල්ලි කතරගම දෙවියන් ළඟට දිවගිය බවත් සඳහන් වෙනවා.ඒ වෙලාවේ ගණ දෙවියන්ගේ මවාගත් වේශය ඉවත්වෙන්නට  ඉසින්නට යැයි කතරගම දෙවියන්ට දුන් පැන් ටික කතරගම දෙවියන්ට අමතක වූයේන් ඒ වේශය ඉවත් නොවුණු බව කියවෙනවා. ඇතැම් ජනප්‍රවාදවලට අනුව ඇතාට බියවුණු වල්ලිට සිහිය නැතිවුණ නිසා ගණ දෙවියන්ට ඉසින්න තිබූ පැන් ටික වල්ලිට ඉසපු නිසා ගණ දෙවියන්ට ඉසින්න පැන් මදි වුණාලු.

ඉතින් නුවණට, ධනයට,සෞභාග්‍යයට ,කරදර දුරු කරගන්නට ගණ දෙවියන් වන්දනා කරන්නට බොහෝ බැතිමතුන් එක් රොක් වෙනවා.ගණ දෙවියන්ගේ රූපය ඇත් හිසක් සහිත මිටි තරබාරු සිරුරක් තියෙන, උදරය විශාල, අත් සතරක් ඇති අයෙක්. අත්වල ශංඛයක්, අංකුශයක්, වක්‍රා යුධයක්,මානෙල් මලක් ආදී දේවල් දරා සිටිනවා.කරේ පූ නූලත් දරා සිටින ගණ දෙවියන්ගේ වාහනය මීයෙක් .

ඉතින් ජනතාවට පිහිට දෙන, දරුවන්ට නුවණ දෙන, ගණ දෙවියන්ට පූජෝපහාර විදියට ඉදි කරපු දේවාලයක් ගැන තමයි මේ කියන්න යන්නේ.  මේ දේවාලය පිහිටා තියෙන්නේ සෙල්ල කතරගම. ඉතින් කතරගම පුරාවෘතයේ ජන්මය නැත්නම් තිඹිරි ගෙය විදියට සලකන්නේ මේ සෙල්ල කතරගම . අර මන් කලින් සඳහන් කරපු විදියට වල්ලි මාතාව වැද්දෙකුට හමුවෙන්නේ සෙල්ල කතරගම සමීපයේ බව බොහෝ පොත පතේ සඳහන් වෙනවා .  නාරද පුරාණයේ කියවෙන විදියට වල්ලි මාතාව ඕපපාතිකව ඉපදුණු දේව කන්‍යාවියක්  . උගුල් වළක  සිටි ඇයව වැද්දෙකුට හමුවෙලා හදා වඩා ගත් බව සඳහන් වෙනවා. ඉතින් මේ රූමත් වල්ලි මාතාව කතරගම දෙවියන්ගේ  බිරිඳ ලෙස පාවා ගන්නට උපකාර කළේ ගණ දෙවියන්. ඉතින් ස්කන්ධ පුරාණයට අනුව වල්ලි මාතාව තමා සතු කරගත් කඳ කුමරුන් ගණ දෙවිඳුන් විසින් අත පැන් වත්කර විවාහ ප්‍රාප්තියට පත්කළ ස්ථානය වෙන්නේ මේ ස්ථානයයි. ඒ සිදුවීම නිසාවෙන් මේ ස්ථානයේ දේවාලයක් ගණ දෙවියන් උදෙසා නිර්මාණය කළ බවයි පැවසෙන්නේ.

ඉතින් මේ ගඟේ දේවාලය මැණික් ගඟ මැද ඉතා රමණීය පරිසරයක පිහිටා තියෙනවා. මේ සෙල්ල කතරගම ගණ දෙවි දේවාලය. හින්දු බැතිමතුන් මාණික්‍ය  පුල්ලෙයාර් කෝවිල විදියට හඳුන්වනු ලබන්නේත් මේ ගඟේ දේවාලයමයි.ලෝකයේ ජීවමාන දෙවියන්ගෙන් පාද ස්පර්ශය ලබපු ස්ථාන අතරින් ඉතා ප්‍රමුඛ පෙළේ හාස්කම් ඇති පුදබිමක් වෙන්නේ මේ සෙල්ල කතරගම. මේ සෙල්ල කතරගම ඉදිව ඇති ගඟේ දේවාලයේ එක් විශේෂත්වයක් වෙන්නේ ගණ දෙවියන්ගේ දකුණු පසින් පොළවෙන් පැන නැගුණු තවමත් වැඩෙමින් පවතින ශිව ලිංගය. ඒ නිසා මේ දේවාලයේ ශිව රත්‍රී පූජෝත්සවයක් ද පවත්වනු ලබනවා. මේ ශිව රාත්‍රී පූජාව සම්බන්ධයෙන් කියවෙන සිදුවීම් කිහිපයක් අසන්නට ලැබෙනවා .

ඒ අනුව ශිව රාත්‍රී පුරාණයට සහ බ්‍රාහ්මාණ්ඩ පුරාණයට අනුව ශිව ලිංගයේ උපත ගැන සඳහන් වෙනවා. ඒ කතා පුවතට අනුව විෂ්ණු දෙවියන් සහ මහා බ්‍රහ්මයා අතර තරගයක් ඇතිව තියෙනවා ඊශ්වර දෙවියන්ගේ ප්‍රමාණය කොපමණ ද යන්න සොයා බලන්න. ඉතින් ඒ තරගයේ දී මහා බ්‍රහ්මයා හිස දක්වාත් මහා විශ්නු දෙවියන් පාදය දක්වාත් සොයන්නට එකඟ වුණා.ඌරු වේශයක් ගත් විෂ්ණු දෙවියන් පාදය සොයා ගියත් එය කරන්නට අපහසු නිසා පසුව අතහැර දැම්මා.හිස සොයමින් ගියපු මහා බ්‍රහ්මයාටත් හිස සොයාගන්නට නොහැකි වුණා.ඉතින් ඔය යන අතරමගදි මහා බ්‍රහ්මයාට වැටකෙයියා මලක් හමුවුණා. ඒ වගේම මේ මහා බ්‍රහ්මයා පරාජය පිළිගන්න ලෑස්තිත් නැහැ.

ඉතින් ඒ නිසා මහා බ්‍රහ්මයා විෂ්ණු දෙවියන් හමුවුණාම බොරුවක් කියනවා තමන් හිස දුටු බවත්, එයට සාක්ෂි මේ වැටකෙයියා මල වන බවත් කියමින්. ඒ අවස්ථාවේ විශාල ආලෝකයක් විහිදුවමින් ශිව ලිංගයේ උපත සිදුවුණාලු. ඒ වගේම බොරුවක් කී නිසා මහා බ්‍රහ්මයා ඊශ්වර දෙවියන්ගේ ශාපයටත් ලක් වුණාලු.  ඒ ශාපය විදියට සඳහන් වෙන්නේ කිසිම තැනක මහා බ්‍රහ්මයා වෙනුවෙන් වෙන්වුණු මූලස්ථාන දෙවොලක් ඇති නොවන ලෙසටත්, සාක්ෂි විදියට යොදාගත් වැටකෙයියා මල කිසිම පූජාවකට යොදා නොගන්නා ලෙසත් ය.

මෙසේ පහළ වුණු ශිව ලිංගය උදෙසා රාත්‍රී පූජා උත්සවය ආරම්භ වෙන්නටත් පාදක වූ සිදුවීමක් ගැන සඳහන් වෙනවා. ඒ දිනක් දඩයමේ ගිය දඩයක්කරුවෙක්ට ගිය මාර්ගය සොයා ගත නොහැකිව අතරමං වෙලා තියෙනවා. එහිදී රාත්‍රීයේ දී කොටියෙක් මේ දඩයක්කරු පසුපස පන්නාගෙන ආවා. ඉතින් කොටියාගෙන් බේරෙන්නට මේ පුද්ගලයා අසල තිබුණු බෙලි ගසකට නැග්ගත් දඩයක්කරු ගසෙන් බසින තුරු කොටියාත් ගස මුල ලැගගෙන සිටියා. ඉතින් ඒ වෙලාවේ ශිව දෙවියන්ගේ බැතිමතෙක් වුණු දඩයක්කරු ඕම් නමඃ ශිවාය යනුවෙන් ජප කරමින් ගසේ බෙලි පත්‍ර කඩා බිමට දමමින් නිරාහාරව නොනිදා රැය පහන් කළා. ඉතින් ඔහු කඩා දැබූ බෙලි කොළ වැටී තිබුණේ බෙලිගස පාමුල තිබුණු ශිව ලිංගයක් මතට.ඉතින් උදෑසන අවදි වුණු ශිව දෙවියෝ දඩයක්කාරයාට ආශීර්වාද කර නික්ම ගියාලු. මේ සිදුවීමෙන් පසුව රාත්‍රී ශිව පූජාව ආරම්භ වූ බව සඳහන් වෙනවා.

ඉතින් මේ හාස්කම් ඇති ගඟේ දේවාලයත්  ඊශ්වර දෙවියන්ගේ වාස භවනයක් විදියට ඉදිවුණු එකක් විදියටත් සලකනු ලබනවා. ඒ ශිව ලිංගය ඇති දේවාලයක් නිසා.ඉතින් ඒ නිසා සිදු කරන ශිව රාත්‍රී පූජෝත්සවය දේව පුරාණයේ සහ වේදයේ සඳහන් වෙන පරිද්දෙන් බැතිමතුන් යම් කාරණාවක් වෙනුවෙන් උපවාස කරමින් රාත්‍රිය නොනිදා පහන් කරමින් ශිව දෙවියන්ට ප්‍රාර්ථනා කරනු ලබනවා. මේ ගණපති දෙවියන් උදෙසා කරන පූජාවලින් අනතුරුව මහා ශිව රාත්‍රී පූජාවෙන් එය නිමා කරනු ලබනවා.එහිදී පැයෙන් පැයට පොල් ගෙඩි 25ක් බිඳිමින් ප්‍රාර්ථනා කරන බව කියවෙනවා.

ඉතින් ගණ දෙවියන් මුල්කොටගෙන ඉදිවෙලා තියෙන ගඟේ දේවාලය සැමට සෙත සලසන හාස්කම් බොහෝමයක් පිරුණු දෙවොලක් විදියට සිය දහස් ගණන් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවෙන බව කිව යුතුයි.