හෙළයන් කළ විශ්මිත නිර්මාණ 10 ක්
ලාංකීය අපිට ඉතා දීර්ඝ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. අපිටම උරුම වුණු සුවිශේෂී වගේම විශිෂ්ඨ හෙළ වෙදකමක් තිබුණා. අපිටම අනන්‍ය වූ විස්මිත වාරි තාක්ෂණයක් තිබුණා. අදටත් ලොව ඉංජිනේරුවන් මවිත වෙන ආකාරයේ ඉංජිනේරු තාක්ෂණයක් , ගුවන් යානා තාක්ෂණයක් ,ගෘහ නිර්මාණ ශිල්පයක්, වාස්තු විද්‍යාවක් එදා අප සතුවුණා. නමුත් තවමත් අප සංවර්ධනය වෙමින් පවතින රටක්. අපට කොතනක හරි වැරදුණා. එදා සුද්දා ඒ රටවලට ගෙන ගියේ අපේ තාක්ෂණය අපේ උරුමයන්.
රුවන්වැලි සෑයේ භාවිතා කළ අකුණු තාක්ෂණය එයට කදිම නිදසුනක්. බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් අකුණු තාක්ෂණය සොයා ගනිද්දී රුවන්වැලි සෑයට ඒ තාක්ෂණය අපේ හෙළයන් භාවිතා කර තිබුණා. සීගිරියේ ගල ඇතුළේ මාලිගාවේ සියලු වටිනා සම්පත් සුද්දා සතුකරගෙන ලාංකීකයන්ගේ අපූරු විශ්මිත නිර්මාණ ලාංකීයන්ට දකින්නට තියෙන අවස්ථාව පවා අහිමි කළා. ඒ එච්. සී. බෙල් මහතාගේ මූලිකත්වයෙන්. ඉතින් එදා අපේ විශිෂ්ඨ තාක්ෂණික දැනුම විදේශවලට හිමිවුණත් අප සතුව හෙළයාගේ විශිෂ්ඨත්වය හෙළි වන විශිෂ්ඨ නිර්මාණ රැසක් ත්වමත් පවතිනවා. ඉතින් සුද්දා සිතන්නටවත් නැති කාලයේ ලාංකීයන් කළ සුවිශේෂී නිර්මාණයන් කිහිපයක් ගැන අද විමසා බලමු.
- සීගිරිය

ලාංකිකයන් අතර පමණක් නොවෙයි විදේශීයන් අතරත් වඩාත්ම කතාබහට ලක්වෙන ඔවුන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථානයක් තමයි සීගිරිය. ලෝකයේ අටවන පුදුමය විදියටත් සැලකෙන මේ සීගිරිය මහා වංශයට අනුව පීතෘ ඝාතක කාශ්‍යප රජු විසින් කළ නිර්මාණයක් වුවත් එය ඔහුගේ නිර්මාණයක් නොවන බවට අද බොහෝ තර්ක ඉදිරිපත්වෙලා තියෙනවා. ඉතින් අද ඒ සම්බන්ධව තියෙන මතවාද ගැන විමසලා බැලුවොත් මේ අති විශිෂ්ඨ නිර්මාණය එකල ලංකාව පාලනය කළ බවට සැලකෙන එය රාවණා රජුගේ ආලකමන්දාව. රාවණ රජුගේ වැඩිමහල් සහෝදරයා වුණු කුවේරගේ මාලිගාව ලෙස මේ සීගිරිය පැවති බවත්, පසුව එය රාවණා අයත් කරගත් බවත් සඳහන් වෙනවා.
කොහොමවුණත් සීගීරිය ගල ඇතුළේ කළ මාලිගාවක් සහ එයින් ගල මුදුනට යන්නට සෝපානයක් පවා භාවිතයට ගෙන තිබූ බව පැවසෙනවා. කොහොමවුණත් එදා රාවණගේ පරපුරේ අය නිර්මාණය කර භාවිතයට ගත්තු මේ සීගිරිය, කාශ්‍යප රජතුමා ප්‍රතිසංස්කරණයට ලක්කර භාවිතයට ගන්නට ඇති බව සිතන්නට පුළුවන්. කොහොමවුණත් සීගිරියේ ගල ඇතුළේ පැවති බවට සැලකෙන මාලිගාව, ඒ වගේම එහි භාවිත ඉංජිනේරු තාක්ෂණය ඉතාමත් විස්මිතයි. අදටත් එහි ක්‍රියාත්මක වන ජල උද්‍යාන, සීතල ජලය පිරි පොකුණු ,ඒ අවට පිහිටි උද්‍යාන හා සීගිරි චිත්‍ර ආදී විශේෂාංග සැබැවින්ම හෙළයන්ගේ විශිෂ්ට බව කොතරම් ද යන්න පෙන්වා දෙනවා.
- ජේතවනාරාමය

ලෝකයම මවිත කරන්නට සමත් තවත් සුවිශේෂී නිර්මාණයක් තමයි අනුරාධපුර ජේතවනාරාම දාගැබ .වසර 2000 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ, මීට වසර දහස් ගණනාවකට පෙර ලෝකයේ තුන්වැනි ස්ථානයට උසින් වැඩිම ස්ථානය බවට මෙය පත්ව තිබුණා. එදා උසින් වැඩිම ස්ථානය ගීසාහි මහා පිරමීඩය. ඉතින් එදා මේ ජේතවනාරාම දාගැබ අඩි 400ක් පමණ උස වුණු බව සඳහන් වෙනවා. තනි මැටි ගඩොලෙන් නිර්මාණය කළ මේ චෛත්‍ය අදටත් ලොව ගඩොලින් පමණක් තැනූ ලොව විශාලතම ගොඩනැගිල්ලත් වෙනවා. ඉතා නිවැරදි මිනුම් ක්‍රම භාවිතයෙන් වසර දහස් ගණනක් අතීතයේ එය නිවැරදිව වෘත්තාකාර පාදමක සිටින ආකාරයට කළ නිර්මාණ කාර්යය අදටත් සිතා ගන්නට පවා අසීරුයි.
- නාලන්දා ගෙඩිගේ

මාතලේ ප්‍රදේශයේ දකින්නට තියෙන සුවිශේෂී ගොඩනැගිල්ලක් තමයි මේ නාලන්දා ගෙඩිගේ. ඉතින් පසුකාලීනව සිදුකළ පර්යේෂණවලට අනුව මේ විශේෂ ගොඩනැගිල්ල ඉදිව තිබුණේ ලංකාවේ හරි මැද. ඒ විතරක් නෙවෙයි තවත් අනාවරණයක් වෙන්නේ මීට වසර 5000කට පමණ පෙර මුහුදු මට්ටම තරමක් පහත්ව තිබුණු කාලයේ ලංකාවේ මුහුදු සීමාවේ ගුරුත්ව කේන්ද්‍ර සමඟත් ඒ ස්ථානය සමපාත වන බවයි. ඉතින් ඒ හේතු කාරණා සියල්ලට අනුව මීට වසර ගණනාවකට ඉහත දී විශ්ව ශක්තිය ආකර්ශණය කරගන්නට රාවණා රජු විසින් නිර්මාණය කළ එකක් බවට සලකනු ලබනවා.
- යෝධ ඇළ

ගැබ් ගත් එළිච්චියකගේ අඩි සලකුණු ඔස්සේ නිර්මාණය කළ අහස් ගඟ නැත්නම් යෝධ ඇළ ධාතුසේන රජුගේ විශිෂ්ඨ නිර්මාණයක්. ජලය වැඩි ද්‍රෝණියක සිට ජලය අඩු ද්‍රෝණියකට ජලය ගෙන යන්නට, වැවකින් වැවකට ජලය ගෙන යන්නට, අතිරික්ත ජලය ගබඩා කරන්නට වැවකට ජලය ගෙන යන්නට වගේ දියවර හුවමාරු අවශ්‍යතා යෝධ ඇල සංකල්පය මගින් ඉටු කරගෙන තියෙනවා.
විශාල කලා වැවේ ඉඳලා තිසා වැවට ජලය ගෙන යන්නට හදපු මේ යෝධ ඇළේ දිග සැතපුම් 54 ක් .මේ යෝධ ඇලේ මුල් සැතපුම් 17 දිය බැස්ම සැතපුමකට අගල් 6යි. මෙහි සැබැවින්ම බැස්මක් නොව සැතපුම් 17කට අගල් හයේ නැග්මක් ඇති බවයි පැවසෙන්නේ. ඒ කලා වැවේ පහත් බිමේ සිට මෙය තිසා වැවේ උස්බිමට ජලය ගලා යාම නිසා.මේ යෝධ ඇල විශිෂ්ට නිර්මාණයක් වෙන්නට ඒකත් එක් සාධකයක්. මේ යෝධ වැවට එක් බැම්මක පමණක් පවතුණ අතර අනිත් පැත්තේ නිදහසේ පැතිර යන ආකාරයෙන් නිර්මාණයි කර තිබීමත් ඉතාම විශේෂයි.
ජය ගංගාවේ වෑ බැම්මකට සමාන බැම්ම යොදා තියෙන්නේ යටි පැත්තෙන් පමණයි. උඩු පැත්ත සුළු බෑවුම් සහිත බිමක් වූ අතර කලා වැවේ සිට තිසා වැව දක්වා තිබුණු මහා කණු මුල්ල, මානෑව කිරලෝගම කිරිවැල් හීන්න වගේ එල්ලංගා 34 ක ජලය ගලා ආවේ මේ යෝධ ඇලට. එල්ලංගා කියන්නේ කුඩා ජල පෝෂක ප්‍රදේශයක නිම්න ඔස්සේ ඇති දොළ පාර මගින් සම්බන්ධව ජලය ගබඩා කිරීමත්, බෙදා හැරීමත්, ,ප්‍රයෝජනයට ගැනීමත් සිදු කරන කුඩා වැව් පන්තියකට.
ඉතින් මේ එල්ලංගාවල ජලය , වැසි ජලය වගේම කලා වැවේ ජලයත් යෝධ ඇලටයි එක්රැස් වෙන්නේ. යෝධ ඇලෙන් පහල ඇති කෙත්වතුවලට පමණක් නොවෙයි යෝධ ඇලෙන් ඉහළ ඇති කෙත්වතුවල සහ එල්ලංගාවලටත් මෙමගින් ජලය ලබාදී තියෙනවා.ඒ වගේම යෝධ ඇලෙන් වතුර පිටතට යන සෑම සොරොව්වක්ම ඉදිකර තියෙන්නේ පතුලට අඩි තුනක් පමණ ඉහළින්. ඒ යෝධ ඇල පතුලේ ජලයට ලවණ ඛනිජ ආදිය මුසුවීම නිසා ඒවා පැල ගොයමට හානිදායක නිසා හැකිතාක් උඩතින් අලුත් වතුර කුඹුරුවලට මුදාහරින්නට උඩතින් සොරොව්ව ඉදිකර තියෙනවා. ඉතින් කොතරම් විශිෂ්ට තාක්ෂණයක් හෙළයන් සතුවුණා ද යන්න එයින් වටහා ගන්නට හැකිවෙනවා.
- රුවන්වැලි සෑයේ පාදම

හෙළයාගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වන රුවන්වැලි සෑය නිර්මාණය වෙන්නේ බුබ්බුලාකාර ආකාරයට. එදා තිබුණු තාක්ෂණයත් සමඟ මේ තරම් විශාල චෛත්‍යයක් බුබ්බුලාකාරව නිර්මාණය කිරීම සැබැවින්ම විශ්ව කර්මයක්මයි. ඉතින් ඒ නිසාවෙන් පතුලේ ඇතිවන අසමාන බල රාශියකට ඔරොත්තු දෙන විදියේ ඉතාමත් ශක්තිමත් පාදමක් අවශ්‍ය වෙනවා. කිරිමැටි දියරවලින් පදම් කළ සම් තට්ටු ගණනක් යොදා අලින් ලවා තලා ශක්තිමත් ලෙස පාදම නිර්මාණය කරන්නට එහි ආරම්භයේදීම හෙළයන් කටයුතු කළ බව පැහැදිලියි.
- අවුකන පිළිමය

ඉතින් හෙළ කලාකරුවාගේ මහිමය මොනවට කියාපාන තවත් විශේෂ නිර්මාණයක් තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. වානේ වැනි ලෝහ භාවිතයේ තිබුණේ නැති සමයක ඝන කළු ගලක කළ මේ නිර්මාණය සැබැවින්ම විස්මිතයි. විශාල ගලක කොටස් කඩා ඉවත් කරමින් සාමාන්‍ය මිනිසෙක් මෙන් අට ගුණයක් තරම් විශාල බුද්ධ ප්‍රතිමාවක් නෙළන්නට තරම් තාක්ෂණයක් ලාංකීයන් තුළ එදා තිබුණා. විශාල කළු ගලකට අනන්ත වූ බුදුගුණ මුසු කරන්නට ශක්තිමත්ව කළු ගලට ආබද්ධව මේ නිර්මාණය කරන්නට එද හෙල කලාකරුවා සතුවුණු දක්ෂතාවය සුවිශේෂයි. ඒ වගේම අවුකන ප්‍රතිමාවේ දෑස් පිහිටන මට්ටම කලා වැව වාන් දමන මට්ටමටම සමාන බවත් මේ වෙද්දී සොයාගෙන තියෙනවා.
- ලෝවා මහාපාය

වර්තමානයේ තියෙන අමුද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතයෙන් තට්ටු 7 ක ගොඩනැගිල්ලක් සෑදීම ඉතා පහසු කටයුත්තක් වුණාට එවැනි තාක්ෂනයක් නැති වසර දහස් ගණනකට පෙර එවැනි තට්ටු 7 ක ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම කෙතරම් අපහසු වෙන්නට ඇති ද. නමුත් ලාංකීයන් විදියට ආඩම්බර වෙන්නට පුළුවන් එවැනි සුවිශේෂී ගොඩනැගිල්ලක් අපේ හෙළයන් ගොඩනගා තියෙනවා.තනිකරම ගල් කුළුණු 1600 ක් උඩ පිහිටන විදියට තට්ටු 7 කින් නිර්මාණය කළේ ඔබ සියලුදෙනා හොඳින් දන්නා ලෝවා මහා පායයි . වරින් වර ඇතිවුණු ගිනි ගැනීම් නිසා කිහිපවරක් උසින් අඩු කොට සාදා තිබුණු අතර එහි තිබූ ලෝහ වහලය ලෝවා මහාපාය නමින් හඳුන්වන්නට හේතු වූ බව සඳහන්. නමුත් එය සොලීන් විසින් විනාශ කළ අතර එදා ශක්තිමත් ගොඩනැගිල්ලක් දරා සිටි ගල් කණු විශාල සංඛ්‍යාවක් ඒ ස්ථානයේ අදටත් ශේෂගතව පවතිනවා.
- පරාක්‍රම සමුද්‍රය

අද තාක්ෂණයේ දියුණුවත් සමඟ සොයාගත් කාරණයක් තමයි කෘතීම වැසි ඇති කිරීම. නමුත් මීට වසර දහස් ගණනකට පෙර ලාංකීයන් මේ අපූරු තාක්ෂණය දැන සිටියා. එදා පරාක්‍රමබාහු රජතුමා කුඩා වැව් 5 ක් එකතු කරමින් නොගැඹුරු ලෙස පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළා. මේ වැව නොගැඹුරු විදියට නිර්මාණය කළේ ප්‍රදේශයේ කාලගුණය සමනය කර නිසි කළට වැසි ලබාදෙන්නට වගේම, වසර පුරාම ඒ හරහා සුළං හමායන ආකාරයට. මේ නිසා මෙහි වාශ්පීභවනයත් ඉහළ අතර ඒ නිසාවෙන්ම ඒ කලාපයේ ඉහළ ආර්ද්‍රතාවයක් වගේම සිසිලක් ද දකින්නට පුළුවන්. කාලගුණය පවා වෙනස් කරන්නට තරම් වූ නිර්මාණය බිහිවුණේ ඒ විදියටයි.
- මිහින්තලේ රෝහල

ලොව මුලින්ම ඉදිවුණු රෝහල ලංකාවේ බව අද වෙද්දී සනාථ කරන සාධක ඉදිරිපත්ව අවසන්. එදා ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක් හෙළයන් සතුවුණා. ඉතින් ඒ බව තහවුරු වෙන ස්ථානයක් තමයි මිහින්තලේ දකින්නට තියෙන පැරණි රෝහලේ නටබුන්. වාට්ටු සහිත විශාල රෝහල් සංකීර්ණයේ නටබුන්, බෙහෙත් ඔරු, පුරාණ බෙහෙත් ක්‍රම සඳහන් සෙල්ලිපි, ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන ලද බවට විශ්වාස කරන උපකරණ අදටත් ඒ ස්ථානයේ දකින්නට පුළුවන්. ඒ වගේම මේ රෝහලේ දී බෝවන රෝගවලින් මියයන අය රෝහල තුළම පුළුස්සා ඒ රෝගය අන් අයට බෝවීම වළක්වන්නට කටයුතු කළ බව එයින් හමුවුණු භෂ්මාවශේෂ මුට්ටි සාධක සපයනවා.
- පුරාණ වැසිකිලි

ලංකාවේ විවිධ ස්ථානවලින් අද වෙද්දී ඉහළ මට්ටමේ තාක්ෂණයක් භාවිතා කර සනීපාරක්ෂාව සලසා ගත් වැසිකිළි හමුවෙලා තියෙනවා. එදා ඉන්දියාව වැනි රටවල සනීපාරක්ෂක ගැටළු නිසා පාචනය කොළරාව ආදි රෝග වැළඳීමෙන් විශාල ලෙස මිනිසුන් මියගොස් තිබුණා. නමුත් දැනට හමුව ඇති මේ නටබුන්වලින් පැහැදිලි වෙන්නේ ලංකාවේ අතීතයේ සිටම දියුණු සනීපාරක්ෂක ක්‍රම භාවිතා වූ බවයි. ශරීර කෘත්‍යය පහසු වන ආකාරයෙන් වගේම, අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව බැහැර වන ආකාරයට නිර්මාණය කර ඇති ඒ වැසිකිළි ලොව පැරණිම වැසිකිලි අතරටත් ගැනෙනවා. ඒවා සඳහා භාවිතා කළ ගල් පවා රෝගකාරක විශබීජ විනාශ වන ලෙසට තෙල් වර්ගවලින් පොගවා පුළුස්සා සකස් කෙරුණු බවට සාධක පවතිනවා.
ඉතින් මේ අපේ රටේ හෙළයන්ගේ දස්කම් විස්කම් අතරින් කිහිපයක් පමණයි.ඇතැම් සුවිශේෂී නිර්මාණ අද වෙද්දි විනාශවී තිබුණත් එදා සුද්දන් සිතුවේවත් නැති කාලයක ලක්දිව පැරැන්නන් දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගා තිබුණා.