The Lanka Post

Official Lanka Post Blog

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කරඩු හතේ කතාව

ඓතිහාසික සෙංකඩගල පුරවරය දෙස් විදෙස් ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික දළදා මාළිගාව පිහිටි නිසාවෙන්. ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරන්නට ලාංකීය ජනතාව වගේම විදේශීය ජනතාවත් දිනපතාම මේ ඓතිහාසික පුදබිමට පැමිණෙනවා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විදියට හඳුන්වන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව සහ මහනුවර නගරය ලෝක උරුමයක් විදියට 1988 යුනෙස්කෝ සංවිධානය පවා ප්‍රකාශයටත් පත්කර තිබුණා. 

ඒ වගේම අතීතයේ රාජ්‍යයත් ආගමත් එකිනෙකට යාකර බැඳ තබාගනිමින් වසර එක්දහස් හයසියයකටත් වඩා අධික  කාලයක් මුළුල්ලේ වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ ලාංකීය ජනතාවගේ අනර්ඝතම වස්තුවයි. ඉතින් අපි පියවි ඇසින් දකින්නේ මේ දළදා වහන්සේගේ කරඬුව පමණයි. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින්නේ කරඬු සතක් තුළ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඩු හත ගැන.

සාමාන්‍යයෙන් දළදා වහන්සේ පියවි ඇසට කෙනෙක්ට දකින්නට ලැබෙන්නේ දළදා දැක්මක දී පමණයි. ඉතින් දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ මල්වතු අස්ගිරි මහ නාහිමි දෙනම සහ දියවඩන නිලමේගේ එකඟතාවයෙන් රටට වැදගත් වන අවස්ථාවක දී පමණයි. නමුත් වසර කීපයකට වරක් නිශ්චිතව දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ යුතු බවට අදහසක් එහි නැහැ.නමුත් ඒ සඳහා සෑම අයෙක්ටම අවස්ථාව නොලැබෙන නිසා සැබෑවටම දළදා වහන්සේ පියවි ඇසින් දකින්නට පෙර කළ මහත් පින්බලයක් ද තිබිය යුතු වෙනවා. 

කොහොමවුණත් එක් අයෙක් වෙනුවෙන් හෝ සමූහයක් වෙනුවෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්නට බලය ඇත්තේ මහනාහිමිවරුන් දෙනමට සහ දියවඩන නිලමේට පමණයි. වෙනත් කිසිම අයෙක්ට බලපෑම් කිරීමකින් දළදා වහන්සේ විවෘත කරන්නට හැකියාවක් නැහැ. ඉතින් යම් අවස්ථාවක දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාවේ දී දළදා වහන්සේ තැන්පත් කරන්නට වෙනම කරඬුවක් පවතිනවා. නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ රඳවා ප්‍රදර්ශනයට තබන කරඬුව ප්‍රදර්ශන කරඬුව වන අතර ශ්‍රී දළදා පෙරහැරේ හස්තියා පිට වැඩම කරවන්නේ තවත් කරඬුවක් . එය හඳුන්වන්නේ පෙරහැර කරඬුව ලෙසින්. 

ශ්‍රී දළදා කරඬුව තැන්පත් කර තියෙන්නේ දළදා මාලිගාවේ ඇතුල් මාලිගාවේ නැත්නම් ගඳකිළිය කියන කොටසේ. ඒ වගේම ජපන් රජය විසින් මාලිගාවට පූජා කරන ලද වෙඩි නොවදින විශේෂ වීදුරු ආවර්ණය තුළ තමයි මේ සුවිසල් කරඬුව තැන්පත් කර තියෙන්නේ. මේ පෙරහැර කරඬුව සහ ප්‍රදර්ශන කරඬුවත් තැන්පත් කර තියෙන්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පිහිටි වීදුරු කුටියේමයි.

ඉතින් මේ දළදා කරඬුව නොයෙක් ආකාරයේ රන්මාලා, මැණික් ගල් ආදියෙන් අලංකාරව තිබෙණු දකින්නට පුළුවන්.මේ ආභරණ පූජා කළේ කවුරුන් ද යන්න සවිස්තර විස්තර මාලිගාවේ තියෙන කොමසාරිස් පොතේ සඳහන්ව තියෙනවා. විවිධ යුගයන්වල දී බලයට පත්වුණු රජවරු, බිසෝවරු සහ සේනාධිපතිවරුන් වගේම දේශීය විදේශීය රාජ්‍ය නායකයන් විසින් දළදා වහන්සේ උදෙසා මේ ආභරණ ආදිය පූජා කළ බව එහි සවිස්තරව සඳහන් කර තියෙනවා. 

අද අපිට දකින්නට ලැබෙන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින සුවිසල් කරඬුව විමලධර්මසූරිය රජතුමා විසින් පූජා කරන ලද රිදී පැහැයෙන් යුත් කරඬුවයි . ඉතින් මේ රිදී පැහැ කරඬුව තුළ තවත් කරඬු හයක් පවතිනවා. මේ විශාල  රිදී පැහැ කරඬුව ඉවත් කළ විට දකින්නට ලැබෙන්නේ දෙවන කරඬුව. 

මේ දෙවන කරඬුව බුරුම රටෙන් දළදා වහන්සේ උදෙසා පූජා කරන ලද්දකි. ඒ කරඬුවේ රන්පත් සමූහයක් තැන්පත් කර තිබෙනු දකින්නට හැකි අතර ධම්මචක්කපවත්තන සූත්‍රය ද එහි ඇතුළත් වෙනවා .ඒ හැරුණාම ඒ කරඬුවේ රන්පත්වල ලියන ලද වටිනා ධර්ම පාඨ කිහිපයක් ද තැන්පත් කර තිබීම දැකිය හැකියි.

මේ දෙවන කරඬුව ඉවත් කළ පසුව තුන්වන කරඬුව දකින්නට හැකිවෙනවා. මේ කරඬුව දඹ රත්තරන්වලින් නිමකරන ලද්දක් වන අතර එය උසින් අඩි 1 ½ ක් පමණ වෙනවා. මේ කරඬුව ඉවත් කරන්නට යතුරක් අවශ්‍ය වන අතර එය දියවඩන නිළමේතුමා සතුව පවතිනවා. 

මේ තුන්වෙනි කරඬුව ඉවත් කිරීමෙන් පසුව හමුවන සිව්වන කරඬුව මැණික් ආදිය ඔබ්බවා ඇති රත්තරනින් නිමකර ඇති කරඬුවකි. මේ කරඬුව විවෘත කිරීම සඳහා ද යතුරක් තිබෙන අතර එය මල්වතු මහා විහාර පාර්ශවයේ මහ නාහිමියන් බාරයේ පවතිනවා. 

මල්වතු මහ නාහිමියන් ඒ කරඬුව විවෘත කිරීමෙන් පසුව දකින්නට ලැබෙන්නේ පස්වන කරඬුවයි. උස අඩියක් පමණ වන මේ කරඬුව දළදා මාලිගාවට පූජා කර ඇත්තේ ඇහැළේපොළ අධිකාරම්තුමා විසින්. ඒ නිසාවෙන් ඇතැම් අවස්ථාවල මේ කරඬුව ඇහැළේපොළ කරඬුව විදියටත් හැඳින්වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරඬුව අස්ගිරි කරඬුව ලෙසටත් හඳුන්වන අත්ර එයට හේතුව එහි යතුරු අස්ගිරි මහ නාහිමිවරුන් සන්තකයේ පැවතීමයි. මේ කරඬුවේ පාදමේ එය මාලිගාවට පූජා කළ දිනය 1816 අගෝස්තු 29 වෙනි ඉරුදින වශයෙන් සඳහන් කර තිබෙණු දකින්නට පුළුවන්. ඒ වගේම ඇහැළේපොළ විජේසුන්ද්‍ර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් යන ඔහුගේ නමත් ඒ කරඬුවේ සඳහන් කර තිබීම දැකගත හැකියි.

මේ පස්වන කරඬුව ඉවත් කිරීමෙන් පසුව හයවන කරඬුව දැකගත හැකි අතර එය මේ කරඬු සත අතරින් ඉතා විශේෂ කරඬුවක් වෙනවා. එයට හේතුව හේමමාලා සහ දන්ත කුමරු දළදා වහන්සේ ලංකාවට වැඩම කරවාගෙන පැමිණි කරඬුවත් එහි දක්නට ලැබීමයි. එනම් හයවෙනි කරඬුවේ පැත්තක තවත් කුඩා කරඬුවක් ලෙස දකින්නට තිබෙන්නේ ඒ කරඬුවයි. 

හයවන කරඬුව ඉවත් කිරීමෙන් පසුව දැකගන්නට ලැබෙන්නේ හත්වන කරඬුවයි. දළදා වහන්සේ වැඩ සිටින කරඬුව වන මෙය බුරුමයෙන් පූජා කරන ලද එකක් බවටයි සඳහන් වෙන්නේ. මේ කරඩුව අගල් හතරක පමණ උසකින් යුක්තයි. ඇතැම් අවස්ථාවක දී කරඬුවේ යතුර භාරව සිටින අස්ගිරි පාර්ශවයේ හෝ මල්වතු පාර්ශවයේ මහ නාහිමින් අපවත් වුණොත් අදාළ පාර්ශවයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහ නාහිමියන්ගේ පන්සලට ගොස් එහි ප්‍රධාන ශිෂ්‍යයාගෙන් දළදා කරඬුවේ යතුර භාරගනු ලබනවා. ඉන්පසු ඒ භාරගත් යතුර ඒ පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට භාරදෙනු ලබන අතර ඒ යතුර මහ නාහිමි නමක් පත්වන තෙක්ම ජ්‍යෙයෙෂ්ඨ අනුනායක හිමි භාරයේ පවතිනවා.

ඒ වගේම ඇතැම් අවස්ථාවක ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් මහනායක ධූරයට පත්වුණොත් දළදා යතුර දිගටම උන්වහන්සේගේ භාරයේ පවතිනවා. එසේ නොමැතිවුවොත් වෙනත් හිමි නමක් මහ නායක ධූරයට පත්වුණොත් ඒ යතුර ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් අභිනව මහ නාහිමියන්ට නිල වශයෙන් බාරදෙනු ලබනවා. ඉතින් මේ කරඬු සතක් තුළ සුරක්ෂිතව වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ ලක්දෙරණට මහත්  ආශීර්වාදයක් .