දළදා කරඩුව වඩමවන මංගල හස්තියා තෝරා ගන්නා ආකාරය
ස්වභාදහමේ තවත් එක් අපූරු නිර්මාණයක් තමයි හස්තියා කියන්නේ. සත්ත්ව ලෝකයේ බුද්ධිමත් වගේම හොඳ මතක ශක්තියක් ඇති කෙනෙක් තමයි හස්තියා . එදා රජවරුන් සතුවුණු චතුරංගනී සේනාවේ (ඇත්, අස්, රිය, පාබල)එක් සේනාවක් වුණේ ඇත් සේනාව. ඒ විතරක් නෙවෙයි එදා රජවරුන්ට යුධ කටයුතුවලට සටන් බිමට යන්නටත්, සතුරා එක්ක හරි හරියට සටන් කරන්නටත්, මේ හස්තියා ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. රජුගේ ප්‍රතාපවත් බව පෙන්නුම් කළෙත් ඉතා අලංකාරවත්ව සරසපු හස්තියා පිට හිඳ ගමන් කිරීමෙන්.
ඉතින් මේ කාරණා හැරුණාම හස්තීන් ආගමික කටයුතු හා බෙහෙවින් සමීපව සම්බන්ධ වූ බවත් ඉතිහාසය ගැන විමසා බැලුවොත් දැන ගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම දළදා කරඩුව වැඩම කරවීමේ කාර්යයට තෝරාගනු ලබන්නේත් හස්ති රාජයෙක්. ඉතින් දළදා වහන්සේ පෙරහැරේ වඩම්මන්නට සෑම හස්තියෙක්ටම නම් වාසනාව ලැබෙන්නේ නැහැ. ඉතින් හරිම උජාරුවෙන් ලස්සනට ඇද පැළඳගෙන දළදා කරඩුව වඩම්මන්නට ඇතෙක් සතුවිය යුතු මංගල ලකුණු කිහිපයක් තියෙනවා. අද විමසා බලමු ඒ මොනවද කියලා.

මුලින්ම අනුරාධපුර යුගය ගැන අවධානය යොමු කරමු. මොකද දළදා සමිදුන් ලංකාවට වැඩම කළාට පස්සේ දළදා වහන්සේට පූජෝපහාර විදියට පැවැත් වූ පෙරහැර මංගල්‍යයට රජුගේ ඇත් සේනාවේ ඇතුන් සම්බන්ධ කර ගත්තේ අනුරාධපුර යුගයේදී. එදා රෙදි සහ මල්වලින් කරපු විවිධ සැරසිලිවලින් ආරම්භ වුණු අලි ඇදුමත් අද මොනතරම් දුරට දියුණු වෙලා ද අලංකාරවත් ද.ඉතින් අනුරාධපුර යුගයෙන් පසුව අද වනතුරු දළදා වහන්සේ පෙරහැරේ වඩම්මවනු ලබන්නේ හස්ති රාජයෙක් විසින්. පෙරහැරේ ගමන් කරන අනෙක් හස්තීන්ට වඩා වැඩි වැදගත්කමක් දළදා කරඩුව වඩම්මන මංගල හස්තියාට හිමිවෙනවා. ඉතින් මේ මංගල හස්ති රාජයා තෝරාගන්නේ ආවාට ගියාට නම් නෙවෙයි. ඒ සඳහා ඇතාගේ දේහ ලක්ෂණ හොඳින් පරීක්ෂා කර බලලා තමයි මංගල ඇත් රජාව තෝරා ගන්නේ.
ඉතින් ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ දන්ත ධාතූන් වහන්සේ පෙරහැරේ වැඩමවීමට පෙර කරන ලද පින් බල මහිමයත් ඕන කරනවා. මොකද ශ්‍රී දළදා කරඩුව ස්පර්ශ කළ හැකි සිවුදෙනාගෙන් මල්වතු අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් දෙපළ, දියවඩන නිළමේවරයා හැරුණහම ඒ අවස්ථාව හිමිවෙන්නේ දළදා කරඩුව වඩම්මන හස්ති රාජයාට පමණයි. ඉතින් බෞද්ධ ජනතාවගේ වැදුම් පිදුම් ලබමින් දළදා කරඩුව වැඩම කරවන්නට ලැබීම මංගල හස්ති රාජයාගේ මහත් වාසනාවක්. ඉතින් පෙර කරන ලද පින් බල මහිමයත්, වාසනාවත් හැරුණම දළදා කරඩුව වැඩම කරවීමට තෝරාගැනෙන හස්තීන් සතු මංගල ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. අලි ඇතුන්ගේ ගති ස්වභාවය අනුව මංගල ලකුණු සහ අව ලකුණු සහිත වශයෙන් වර්ග කරනු ලබන අතර කරඩුව වැඩම කරවන්නට තෝරා ගන්නේ මංගල ලකුණු වැඩි ප්‍රමාණයක් සහිත හස්ති රාජයෙක්.මංගල හස්තියෙක් සතු විය යුතු ලක්ෂණ ගැන ගජගා වන්නමෙත් මේ විදියට සඳහන් කර තියෙනවා.
- දෙව් පුර ඇතෙකී – කුඹු දහසයකී
- දිග දළ අටෙකී – සත් ගැබෙකී
- වැව් පොකුණු ද කී – සත් සිය ගැනකී
- එක් පොකුණෙකී – සිවු මලෙකී
- සිවු මල පෙතිකී – ගැන තිස් දෙකකී
- පෙත්ත කනටු කී – සිවු සැටෙකී
ඉතින් සධාතුක කරඩුව වඩමවන්නට තෝරා ගන්නා හස්ති රාජයාට හත් වැදුම්පොළ පිහිටා තිබිය යුතු බව ප්‍රධාන වශයෙන් සලකන කාරණයක් . ඒ පාද සතර, හොඩය, ලිංගය සහ වලිගය පොළවේ ස්පර්ශ විය යුතු වීමයි. එවැනි දේහ ලක්ෂණ සලකනු ලබන්නේ මංගල ලකුණු විදියටයි.

ඒ විතරක් නොවෙයි හස්තියෙකු සතු තවත් මංගල ලක්ෂණයක් තමයි පුළුල් කුඹුතල සහ පුළුල් පිට. ඒ වගේම තේජාන්විත දළ යුග්මයක් හිමිවීමත්, උසස් උදාර ලීලාවත්, ප්‍රචණ්ඩ නොවීමත් එවැනි තවත් මංගල ලක්ෂණයන් විදියට දක්වන්න හැකියි. ඇතා සිය හාම්පුතා කෙරෙහි දක්වන ලැදියාව වගේම මිනිසුන් මරා නොතිබීමත්, මංගල හස්තියා තෝර ගැනීමේ දී සැලකිලිමත් වන කරුණු අතර වෙනවා .
හස්තීන්ගේ දේහ ලක්ෂණ සහ ගති පැවතුම්වලට අනුව ඔවුන් විවිධ කුලවලට අයත් වෙනවා. කලාවක, ගංගෙයිය, පන්දර,පිංගල, මංගල, ඡද්දන්ත, උපෝසථ , හේම ආදී කුලවලින් මංගල හස්තිරාජයන් බිහිවෙන උසස් කුලයක් විදියට සලකන්නේ කුමරිය කුලය. ඉතින් ඒ කාරණයත් සධාතුක කරඩුව වැඩමවීමේදී හස්තීන් තෝරාගැනීමේ දී සැලකිලිමත් වෙනවා. 1986 ජාතික වස්තුවක් ලෙස නම්කර සිටි දළදා කරඩුව වසර ගණනාවක් වැඩම කර වූ රාජා ඇතා කුමරියි කුලයට අයත් හස්තියෙක්. වම් දළය දකුණු දළයට වඩා මදක් උස්ව පැවතීම ඔහුගේ මංගල ලකුණු වඩාත් ඔප්නැංවූ සලකුණක් වූ අතර එවැනි දේහ ලක්ෂණ ඇති හස්තීන් මංගල හස්තීන් විදියට කරඩුව වැඩම කරවීම සඳහා තෝරා ගනු ලබනවා.
බොහෝ විට එදා පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීමට මංගල හස්තියා තෝරා ගත්තේ රජුගේ ඇත් පන්තියේම ඇතෙක් . ඒ වගේමයි මොන තරම් උසස් ගුණයන් දේහ ලක්ෂණයන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන සෑම ඇතෙකුටම කරඩුව වැඩම කරවන්නට භාග්‍ය හිමිවෙන්නේ නැහැ.ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුණොත් පමණයි කරඩුව වැඩම වන්නට අවස්ථාව හිමිවෙන්නේ. නමුත් එය ඉතා පහසු කටයුත්තක් නම් නෙවෙයි.
මේ මංගල ලකුණු පරීක්ෂා කර බලා කරඩුව වැඩම කරවීමට සුදුසු ඇත් රාජයෙක් තෝරාගනු ලබන්නේ දළදා මාළිගාවේ ගජනායක නිළමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ අනෙකුත් සියළු දෙනා හා එකමුතුවයි. මේ සඳහා පරිණත වයසට එළඹි හස්තියෙක් තෝරාගනු ලබන අතර රජුගේ නිල ගමන් බිමන් සඳහා යොදාගත් ඇතුන් මේ පූජනීය කටයුත්ත සඳහා තෝරා ගන්නේ නැහැ.
ඉතින් දළදා කරඩුව වඩම්මන හස්ති රාජයා තම උත්තම වගකීම මැනවින් ඉටු කරන්නට සැදී පැහැදී ඉන්නවා. පෙරහැරේ ගමන් කරන අනෙක් හස්තීන්ට වඩා සුවිශේෂීත්වයක් මේ මංගල හස්තියාට හිමිවෙනවා. ඔහුගේ ඇදුම් පවා ඉතාමත් අලංකාරව විශේෂ ආකාරයෙන් පෙනෙන විදියට තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් පෙරහැරේ ගමන් කරද්දී මොනයම් හේතුවක් නිසා වැඩමවන කරඩුව සහිත රන්සිවි ගෙය ඇද වුණොත් හස්ති රාජයා එක අඩියක්වත් ඉස්සරහට තියන්නෙත් නැහැ.

ඉතින් කරඩුව වඩම්මන ඇතු නැවතුණු විගසම ඒ ඇතු දෙපසින් ගමන් කරන දෑලේ යන ඇතුන් දෙන්නත් නතරවෙනවා. නැවත රන්සිවි ගෙය සකස් කළාට පස්සේ කරඩුව වැඩමවන ඇතා පෙර පාදය තැබුවට පස්සෙයි දෑලේ ඇතුන් දෙන්නා ගමන පටන් ගන්නේ. ඉතින් පෙරහැරේ පූජනීයත්වය වගේම මේ ගමනේ උත්තම බව මංගල හස්තියා ඇතුළු සියලුම ඇතුන් හොඳින්ම අවබෝධ කරගෙනයි ගමන් කරන්නේ.
ඉතින් කිසිම දෙවියෙක්ට, බඹයෙක්ට, මිනිසෙක්ට නොලැබෙන අසිරිමත් බුද්ධ පූජෝපහාරය සිදු කරන්නට මංගල හස්ති රාජයාට ලැබෙන අවස්ථාව ඉතාම දුර්ලභ එකක් . මහත් උජාරුවෙන් ගාම්භීරව කරඩුව වැඩම කරවන හස්ති රාජයා ඒ බව මැනවින් අවබෝධ කරගෙන කටයුතු කරන බව දකින්නට හැකියි. පෙරහැර අවසාන දිනයේදී මංගල හස්ති රාජයාගේ පිට මතින් දළදා කරඩුව නැවත ගනිද්දී දෑසේ කදුළු වගුරවමින් ඇතා බලා සිටින්නේ ඒ උත්තම පූජාව කෙරෙහි ඔහු තුළ කෙතරම් කැමැත්තක් භක්තියක් තිබෙන්නේ ද යන්න මැනවින් පසක් කරවමින්.
මංගල හස්ති රාජයා හැරුණහම පෙරහැරේ ගමන් කරන අනෙක් හස්තීන් පවා තම අලංකාර ඇදුම් ඉවත් කරනවාට වත් කැමැති වෙන්නේ නැහැ. ඉතින් අවසන් පෙරහරින් පස්සේ ගම්බිම් බලා පිටත් වෙනකොට මේ අයගේත් ඇස් කදුළින් පිරෙනවා. ඉතින් සෑම හස්තියෙකුටමත් නොලැබෙන සෑම මිනිසෙකුටමත් නොලැබෙන උතුම් අවස්ථාවක් මේ පෙරහරේ ගමන් කරන හස්තීන්ට සහ මංගල හස්තියාට ලැබෙන්නේ. ඉතින් මේ අලි ඇතුන්ට සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජෝපහාර දක්වන්නට ලැබී ඇති මේ වාසනාව යම් දවසක සංසාරයෙන් එතෙර වන්නට උපාකාරී වෙන මහත් බලගතු පුණ්‍ය කර්මයක් වනවා නියතයි.