හාස්කම් පිරි මින්නේරිය වැවේ අප්‍රකට කතාව
අතීත මුතුන් මිත්තන්ගේ දස්කම් මොනවට හෙළි කරන බොහෝ නිර්මාණ අතරින් වැවට මූලික ස්ථානයක් හිමිවෙනවා. අතීත වාරි තාක්ෂණයේ විස්මිත බව පෙන්වන වාරි කර්මාන්ත සිය දහස් ගණනින් අදටත් දකින්නට තියෙනවා. ඒ අතරින් ඇතැම් වැව් අමුණු අද වෙනකොට දකින්නටවත් නැතිව විනාශ වෙලා ගිහින් තියෙනවා. ඒත් ලාංකිකයන් විදියට ආඩම්බරයෙන් සිහිපත් කළ යුතු වාරි තාක්ෂණයක් ලාංකිකයන් සතු වුණා. ඉතින් අතීත මුතුන් මිත්තන් ඉදි කරපු මහා පරිමාණයේ වැව්වලින් අදටත් සිය දහස් ගණනින් කුඹුරු පෝෂණය වෙනවා. තමන්ගේ ගොවිතැන් කටයුතු සඳහා ඕන කරන ජලය ටික කරදරයක් නැතිව ගන්නට සකස් කරපු වැව්වලට වගේම ඒ වැව් කරවපු ඇත්තන්ටත් අපේ පැරැන්නෝ දෙවියන්ට වගේ සැලකුවා. ගෞරව කළා. ඉතින් හැමෝම අහලා ඇතිනේ මින්නේරි දෙවියන් ගැන. ඔය මින්නේරිය වැව කරවන්නේ මහසෙන් රජතුමානේ. ඉතින් විශාල කුඹුරු යායවල් අදටත් පෝෂණය වෙන මේ මින්නේරි වැව තැනවීමෙන් මහසෙන් රජු දේවත්වයට පත්වෙලා තියෙනවා. මේ මින්නේරිය වැව ගැන ජනප්‍රවාද කතා බොහෝමයක් තියෙනවා. අද අපි විමසා බලමු මින්නේරිය වැව ඇසුරින් තියෙන සැඟවුණු කතා පුවත් මොනවද කියලා.

මහසෙන් රජතුමා අනුරාධපුරයේ බලයට පත්වෙන්නේ ඔහුගේ වැඩිමහලු සොයුරා වුණු දෙටුතිස් රජුගේ අභාවයෙන්.ඉන්පසු බලයට පත්වෙන මහසෙන් රජු ගැන සලකා බැලුවොත් ඔහු මහා විහාරය සමඟ අමනාපයකුත් ඇති කරගත් කෙනෙක්. ඒ වෛතුල්‍යවාදය මුල් කරගත් සංඝමිත්‍ර භික්ෂූන්ගේ බහට වැඩ කිරීම නිසා . ඒ නිසා ඔහුට බොහෝ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්නට සිදුවුණු බව සඳහන් වෙනවා.ඉතින් ඒ නිසා අනුරාධපුරෙන් පලාවිත් රිටිගල කන්දේ තාවකාලික මාලිගාවක් ඉදිකර පදිංචියට ගිය බව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ කාලයේ එක් ප්‍රදේශයක දොවාගත් කිරි ඉතා රසවත් බව රජුට දැනගන්නට ලැබෙනවා.
මේ ගැන සොයා බැලූ රජුට දැනගන්නට ලැබුණේ නියං කාලයේ තණ කන්නට මුදාහරින ගව පට්ටි ඈත ප්‍රදේශවලට ගොස් තණ කා වතු ර බී පැමිණෙන බව.ඒ නිසා රජුගේ අණින් ඒ ඉසව්ව සොයා ගන්නට ගොනුන්ගේ පිටේ තල ඇට පිරවූ සිදුරු සහිත ගෝනි බැඳ යැවූ අතර පින්න නිසා දවස් කිහිපයකින් පස්සේ තල ඇට පැළවුණු මඟ ඔස්සේ ගොනුන් තණ කෑ ප්‍රදේශය සොයා ගත්තා.
ඉතින් නියං කාලයේ වුවත් ජලය රැඳී තියෙන මේ ප්‍රදේශයේ වැවක් තනවා කුඹුරු අස්වද්දන්නට රජු තීරණය කරනවා. මේ භූමිය දෙපස පිහිටි කඳු දෙකක් යා කර බැම්මක් තැනිය හැකි බවත් ඒ අතර හොඳ සවි ඇති තිරිවානා තට්ටුවක් තිබීමත් ඒ සඳහා වඩාත් සුදුසු වුණා. ඉතින් නළු දෑකඩ රාළ කියන විශ්ව කර්ම වාරි තාක්ෂණවේදියා සමඟ දහසක් පිරිසක් මේ සඳහා සම්බන්ධවෙලා තියෙන බවයි කියවෙන්නේ.මේ ආශ්‍රිතව වැල්මී තිබුණු නිසා ඒවා ආහාරයට ගැනීමෙන් කිරි රසවත්වීම නිසා මිහිරි කිරි තිබූ ගම මිනිහිරි ගම මින්නේරිය ලෙස හැඳින්වූ බවත්, තවත් කතාවක මේ ප්‍රදේශයේ සරුවට වැවී තිබුණු මෙනේරි නිසා මෙනේරිගම මින්නේරිය වූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා.
මේ වැව නිර්මාණයට තීරණය කරගත් ප්‍රදේශය යක්ෂ ගෝත්‍රිකයන්ගේ භූමියක් වූ බවයි සඳහන් වෙන්නේ. ඒ යක්ෂ ගෝත්‍රික නායකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වැව ඉදිකිරීමට විරෝධය දක්වපු නිසා රජු විසින් ඔහුව මරාදමා තියෙනවා. ඉන්පසු අනෙක් නායකයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැවේ කටයුතු ආරම්භ කළත් වැව සාදා නිම කරන්නට පෙර සෑම දිනයකදීම එකම ස්ථානයෙන් වැව් බැම්මේ කොටසක් කැඩී යාමට ලක්වෙනවා.ඉතින් මේ නිසා වැවේ කටයුතු නිම කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැති නිසා මහසෙන් රජු නම් ඉතාමත් අසීරුතාවයකින් තමයි හිටියේ.
ඉතින් ජනප්‍රවාදවල කියවෙන විදියට දවසක් රජතුමාට සිහිනෙන් අර මරණයට පත්වුණු යක්ෂ නායකයා පෙනී සිට “ තොපි මගේ අඩවියට ඇවිත් මා මර දැම්මා.රාජ ලේ ඇති බිල්ලක් දෙනතෙක් වැව හදන්නට ඉඩ තියන්නෙ නෑ ” කියලා කිව්වා. ඉතින් කොහොමහරි මේ සිහිනය ගැන රජු නැකැත්කරුවන්ට කියා සිටියා. ඔවුන්ගේ අදහස වුණේ ඒ සඳහා රජ කුමරෙක් බිලිදිය යුතු බවයි. ඒත් ඉතින් රජුගේ බිසව තම පුතු බිලිදෙන්නට කැමති වුණේ නැහැ. මේ නිසා රජුගේ සොහොයුරියක් වුණු බිසෝ මැණිකා හිඟුරණ බණ්ඩාර නම් තම පුතු බිලිදෙන්නට කැමැත්ත පළ කර තියෙනවා. ඒ රාජ කුමරුගේ බිලිදීමෙන් පස්සේ වැවේ කටයුතු අවසන් කරන්නට හැකි වුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
තවත් ජනප්‍රවාදයකට අනුව අංග සම්පූර්ණ රජ ඇඳුමෙන් සැරසූ කුමරු මහසෙන් රජුගේ සහෝදරිය විසින්ම රජුට භාරදුන් නමුත් අවසානයේ දරුවා බිලි නොදී ඒ වෙනුවෙන් ප්‍රයෝගයක් කොට වළසෙක් බිලි දී වැවේ වැඩ කටයුතු අවසන් කර තියෙනවා. ඉතින් ඒ ගැන නොදත් රජු දරුවාගේ මරණය ගැන ශෝකයෙන් කාලය ගත කළා. ඒ නිසා ඒ ප්‍රයෝගය කළ පිරිස ඒ රහස හෙළි කර දරුවා රජු වෙත ගෙනවිත් භාරදෙනු ලබනවා. එතෙක් මේ කුමරු සඟවා ගෙන සිට ඇත්තේ හිඟුරක්ගල මුදුනේ බවත් මිය ගිය යක්ෂ නායකයා මේ ප්‍රයෝගය දැනගත්තත් රජුගේ උදාර පරමාර්ථය නිසා ඔහු රජුට සමාව දුන් බවත් සැලකෙනවා.
තවත් ජනප්‍රවාදයකට අනුව සඳහන් වෙන්නේ මේ වැව ඉදිකළ ප්‍රදේශය අතීතයේ මෙනේරි වගාවෙන් දිවි රැකගත් යක්ෂ ගෝත්‍රික ජනතාවක් වාසය කළ ප්‍රදේශයක් නිසා වැව තැනීමෙන් ඔවුන්ගේ මෙනේරි හේන් යටවන නිසා යක්ෂ ගෝත්‍රිකයෝ මෙයට විරුද්ධ වූ බවයි . ඉතින් කොහොමහරි වැවේ ඉදිකිරීම් කටයුතු පටන් ගත්තා කියමුකෝ. ඒත් අවසන් කරන්නට අවස්ථාවක් නම් ලැබුණේ නැහැ. දිනපතාම මේ යක්ෂ ගෝත්‍රික ප්‍රජාව වැව් බැම්මට හානි කරනවා .ඉතින් එයට උපායක් කල්පනා කරපු රජු මේ ඉසව්වේ මිනිසුන්ට ලොකු බත් දන්සැලක් දුන්නලු.බත්වල රස වැටුණු යක්ෂයන් වැව හදා නිම කරන තුරු දන්සලින් ආහාර ගනිමින් කඩා කප්පල් කටයුතුවලින් වැළකී සිටියලු.ඉතින් අවසානයේ ඔවුන්ට වැව අවටින් ඉඩම් වෙන්කර දී ඔවුන්ව ගොවිතැනටත් පුරුදු කර සුවසේ ජීවත් වෙන්නට මඟ පෑදූ බව කියවෙනවා.

ඒ වගේම මේ මහසෙන් රජතුමාගේ සොහොයුරියන් දෙදෙනාගෙන් එක් අයෙක් වුණු බිසෝ මැණිකා කවුඩුල්ල ප්‍රදේශයේ වැවක් සාදා එය රන්තිසා වැව විදියට නම් කළා. ඇය සෑද වූ වැව මින්නේරි වැවට වඩා ප්‍රමාණයෙන් විශාල වුණු නිසා ආඩම්බරයට පත් වුණු ඇය “ අයියා මින්නේරිය කියලා නෑබිලියක් හැදෙව්වා.මම ඒ නෑබිලිය දාන්න පුළුවන් කොරහක් හැදෙව්වා ” කියමින් උඩගුවෙලා හිටියලු. ඉතින් මෙයින් කේන්තියට පත්වුණු මහසෙන් රජතුමා රන්තිසා වැවේ වෑ කන්ද විනාශ කළා . ඒ ශෝකයෙන් රජුගේ නැගණියත් වැවට පැනදිවි නසා ගත්තා. ඒ සිදුවීමෙන් තම නැගණියත් අහිමිවීමෙන් රජු බොහෝ කම්පාවට පත්වෙලා වරද නිවැරදි කරගන්නට මින්නේරිය වැවේ සිට සැතපුම් 6ක් පමණ දිග ඇළක් කප්පවා රන්තිසා වැවට සම්බන්ධ කළාලු.
කොහොමවුණත් මේ මින්නේරිය වැවේ වාරි තාක්ෂණය ඉතා ඉහළ බව පැවසෙනවා. එහි බිසෝ කොටුව තනිකර කළු ගලෙන්ම පමණක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මින්නේරිය වැව විශාල වැවක් වුණත් ඒ වැව් බැම්ම කුඩ වැවක තරමේ එකක් වුණා.ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජු විසින් නිර්මාණය කළ වැව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙක් වුණු හෙන්රි වෝර්ඩ්ට අනුව ඉතා විස්මිත නිර්මාණයකි. ආචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව වාපි තාක්ෂණයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කළේ මහසෙන් රජුගේ කාලයේදීය.
ඉතින් රට ස්වයංපෝෂිත කරන්නට මින්නේරිය වැව ඇතුළු වැව් රැසක් කරවපු මහසෙන් රජුට හත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් නැත්නම් මින්නේරි දෙවියන් ලෙස වසර ගණනාවක් තිස්සේ නොකඩවා පුද පූජා කරන්නට තරම් මහත් භක්තියක් රටවැසියා තුළ පැවතුණා.
එසේම 50 වෙනි දශකයේදී මින්නේරිය වැවේ බැම්ම කඩාගෙන යන බවට තොරතුරු දැනගත් දිවංගත සී.පී. ද සිල්වා මහතා ඒ ස්ථානයට පැමිණ වැවට වැඳ විනාශයක් කරන්නට එපා කියා ඇති බව ජනතාව පවසනු ලබනවා. ඉතින් මින්නේරි වැසියන් විශ්වාස කරන්නේ මහසෙන් රජු දෙවියෙක්ව මේ මින්නේරි වැව ආරක්ෂා කරන බවයි.