The Lanka Post

Official Lanka Post Blog

පිරිමින් තිස්දෙනෙක් සරණ කරගත් ලංකාවේ එකම රජින

ලාංකීය ඉතිහාසය පිළිබඳව විපරම් කරලා බැලුවොත් ලංකාවේ පාලනය වැඩි වශයෙන්ම ගෙන ගිහින් තියෙන්නේ රජවරු.නමුත් ඒ අතර කාන්තාවන් කිහිපදෙනෙක් යම් කාලයන්වලදී රාජ්‍ය පාලන කටයුතු ගෙන ගිහින් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 538 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වාම රජවරු 184 ක් මෙරට පාලනය ගෙන ගිය අතර ඒ අතර රැජිනියන් සිව්දෙනෙක් ද ඇතුළත් වුණා.අනුලා,සීවලි, ලීලාවතී සහ කල්‍යාණවතී කියන අය ලංකාවේ රාජ්‍යත්වයට පත්වුනු කාන්තාවන්. මේ  හැරුණාම තවත් කාන්තාවන් රාජ්‍ය පාලන කටයුතුවලට මැදිහත්ව රටේ සාමය පවත්වා ගන්නට ආක්‍රමණවලින් රට බේරා ගන්නටත් කටයුතු කර තියෙනවා. සුගලා දේවිය උදාහරණයක් විදියට දක්වන්නට පුළුවන්. ඉතින් ඒ මත කොහොමවුණත් ලංකාවේ රජ වුණු ඇතැම් කාන්තාවන් ලාංකීය ඉතිහාසය තුළ වීර කාන්තාවන් විදියට සලකනු ලබනවා. තවත් අය ලංකා ඉතිහාසයේ කළු චරිත විදියටත් දක්වා තියෙනවා. ඉතින් මේ කතා කරන්නට යන්නේ ලංකාවේ පළමු රැජිණ වූ අනුලා දේවිය පිළිබඳව. පොත පතේ සඳහන් වෙන විස්තරවලට අනුව නම් ඇය ගැන යහපත් කතාන්දර කියවෙන්නේ නම් නැහැ. කියවලම බලමුකෝ ලංකාවේ පළමු රැජිනිය ගැන.

ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ අනුලා බිසෝවරු දෙන්නෙක් ගැන කියවෙනවා. එක් අයෙක් තමයි ලංකාවේ පළමුවෙනි භික්ෂූනීන් වහන්සේ බවට පත්වුණු අනුලා දේවිය. ඇය දේවානම්පියතිස්ස රජුගේ බිසවක්. අනික් අනුලා දේවිය වෙන්නේ ලංකාවේ පළමු රැජිනිය බවට පත්වුණු අනුලා .ඉතින් අපේ අද ප්‍රස්තුතය වෙන්නේ කාම ධේනුවක් විදියට හඳුන්වන අනුලා රැජිණ.

අනුලා දේවිය වළගම්බා රජ්ජුරුවන්ගේ බාල පුතා වුණු චෝරනාග රජුගේ බිසව .මොහුගේ සැබෑ නම මහානාග. ඉතින් ඔහුට හිමිවිය යුතු සිහසුන වළගම්බා රජුගේ වැඩිමල් සොහොයුරෙක් වුණු ඛල්ලාටනාගගේ පුතු වුණු මහා චූලික කුමාරයාට හිමිවීම නිසා ඔහු කෝපයට පත්ව සිටියා. සොලී ආක්‍රමණ නිසා වළගම්බා රජු අනුරාධපුරයෙන් පලා යද්දී රථය වේගයෙන් යා යුතු වූ නිසා මහානාග කුමරුගේ මව වුණු සෝමා දේවිය රථයෙන් බිමට පනිනවා. ඇය සොලී අත් අඩංගුවට පත්ව සොලී රටට ගෙන යන නිසා කලක් මහානාගට මව් සෙනෙහස ලැබුණේ නැහැ. පසුව වළගම්බා රජු උපක්‍රමශීලිව සෝමා දේවිය මෙරටට ගෙන්වා ගෙන අග මෙහෙසි තනතුරේ තබා ගෙන වසර 12 ක් පාලනය ගෙන ගියා.

කොහොමවුණත් මව් සෙනෙහස නොලැබීම නිසා දඩබ්බර ගති ඇත්තෙක් වුණු නිසා ඔහුට රජකම අහිමිවුණත් ඔහු සොරකම් කරමින් මිනිසුන්ට අඩම්තේට්ටම් කරමින් ජනතා අප්‍රසාදය වැඩිකර ගත්තා. එකල ඔහුව පන්සල්වලට පවා ඇතුළු කරගත්තේවත් නැහැ. නමුත් ඔහු පසුව රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව ඔහුට නවාතැන් නොදුන් පන්සල් 18 ක් විනාශ කළ බව මහාවංසයේ සඳහන්. ඒ වගේම ඔහුට එරෙහිවුණු බොහෝ අයගෙන් පලි ගන්නටත් ඔහු කටයුතු කර තිබුණා. කොහොමහරි ක්‍රි. පූ. 62 දී මහාචූලි මහා තිස්ස රජුගේ මරණයෙන් පසුව චෝරනාග රජු බවට පත්ව කාමයට ලොල් වුණු චෝරනාග සිය අග මෙහෙසිය කොටගත්තේ අනුලා නම් රූමත් තරුණියයි.

ඉතින් වංශකතාවල දැක්වෙන තොරතුරුවලට අනුව චෝරනාග වගේම අනුලා යන දෙදෙනාම කාමයට මහත් ලොල්වුණු දෙන්නෙක්. කාලයක්ම ඔවුන් දෙන්නා නිතරම මධුවිතෙන් මත්ව විනෝදකාමී ජීවිතයක් ගත කර තිබුණා.නමුත් චෝරනාගගේ පහසින් පමණක් ප්‍රබෝධ වෙන්නට අනුලා දේවියට නොහැකි වුණා. ඒ නිසාම ඇයගේ සිත රජවාසලේ කසල ශෝධකයෙක් ළඟ නතර වුණා. ඔහුගේ මනාව වැඩුණු ශක්තිමත් සිරුර, ජව සම්පන්න මස්පිඩු ඇයගේ සිත ඔහු කෙරෙහි වසඟ කරන්නට හේතුවුණා. ඔහු සමඟ රති සුව විදින්නට ඇත්නම් කියා අනුලා දේවියට සිතුණා. කොහොමහරි අනුලා දේවිය මේ සේවකයා සමඟ හොර රහසේ රති සුව වින්දා. සේවකයා ද ඇගේ පහසට ලොල්ව ඇය කියන ඕනෑම දෙයක් ඉටු කරන්නට සැදී පැහැදී සිටියා. 

මේ අතර චෝරනාගටත් ඇයගේ මේ රහස් සම්බන්ධය කණ වැකුණා. නමුත් අනුලාගේ පහසට ලොල්ව සිටි චෝරනාග බිසව නොමරා ඇයව බිසව් තනතුරේම තබා ගත්තා. චෝරනාගගේ සැහැසිකම් දන්නා අනුලා බිසව ඔහු තීරණයක් ගන්නට පෙර ඉක්මන් වුණා. ඒ නිසාම සේවකයා ලවා භයානක විෂ වර්ගයක් ගෙන්වා ගෙන චෝරනාග රජුගේ මදුවිත බඳුනට දමා ඔහුව මරණයට පත්කළා. නමුත් රජ වාසලේ පැතිර ගියේ චෝරනාග මරණයට පත්වුණේ අසනීප වීමෙන් බවයි. 

ඉතින් වසර 12ක් රජකම් කළ චෝරනාග මරණයට පත්වීමෙන් පසුව බලයට පත්වෙන්නේ මහාචූලී මහා තිස්ස රජුගේ පුතා වුණු කුඩා තිස්ස. කුඩා තිස්සගේ සොහොයුරෙක් වුණු මකලන් තිස්ස චෝරනාගට සහ සටකපට අනුලා බිසව බියෙන් සිවුරු පොරවා භික්ෂූන් වහන්සේ නමක් ලෙස සැඟවී සිටියා. ඒ නිසා කුඩා තිස්ස (ක්‍රිස්තු පූර්ව 51-48 ) රජකම ලබාගන්නට උදව් ලබා ගන්නට අනුලා දේවිය සොයා පැමිණ අවසානයේදී ඔහු රජ බවට පත්වෙන්නේ රූමත් අනුලා දේවිය අග බිසව කොටගෙනයි. කුඩා තිස්ස රජකමට පත්ව වසර 3 කින් අනුලා දේවිය ශිව නම් දොරටු පාලකයා සමඟ පෙමින් බැඳුණා. ඒ නිසාම අනුලා බිසව කුඩා තිස්ස මරා දමන්නට ඔහුගේ රාජකීය භෝජනවලට වස මුසු කළා.

එයින් නොනැවතුණු අනුලා ශිවට නාමික රජකම ලබාදුන්නා. නමුත් අනුලාගේ පහසට මත්වුණු ශිවටත් ජීවත් වෙන්නට වාසනාව ලැබුණේ මාස 14 ක් වගේ කාලයක්. මොකද අනුලා වටුක නම් වඩු කාර්මිකයෙක් පුරුෂ තනතුරේ තබාගත් නිසා. ඒ නිසා ඇය ශිවටත් වස දී මරා දැමුවා.අනුරාධපුරයේ නාමික රජු විදියට වටුකටත් අනුලා සමඟ ජීවත් වෙන්නට ලැබුණේ මාස 14ක් පමණයි. මොකද ඉන්පසුව තමන්ගේ පහස වෙනුවෙන් අනුලා බිසව සොයාගත්තේ රජ මාලිගයට දර රැගෙන ආ පුද්ගලයා .දරකැටිති හෙවත් දාරු භාතික තිස්ස වුණු ඔහුට මාස 13ක් ඇය හා වාසය කරන්නට හැකිවුණත් ඉන්පසුව ඔහුගේ මරණයෙන් පසු නැවත නීළීය නම් බමුණ සමඟ මාස 6 ක් පෙම් සුව වින්දා.

මාස 6න් පසුව අනුලා (ක්‍රි.පූ. 48-42 ) නීළිය ද මරා දමා තමාම රජකමට පත්ව පාලනය ගෙන ගියත් රටේ දියුණුව ගැන හෝ පාලනය ගැන කිසිම තැකීමක් කළේ නැහැ. නමුත් කාන්තාවක් වුණු අනුලා රැජිණිය ලෙස ලක්දිව බලයට පත්වීම ඉතිහාසයේ වගේම කලාපීය වශයෙනුත් ඉතාම සුවිශේෂී කාරණයක් වුණා. ඒ අතරේ සිය සල්ලාල ජීවිතය වෙනස්  කළේත් නැහැ. පිරිපුන් සිරුරක් ඇති පුරුෂයෙක් දුටුවිට ඔහුගේ පහස ලබාගන්නට අනුලා රැජිණ දෙවරක් සිතුවේ නැහැ.නමුත් ඉන්පසු ඒ කිසිවෙක් රාජ්‍යත්වයට පත් නොකරන්නට එය වග බලා ගත්තා. පුරුෂයන් ලෙස යහන බෙදාගත් ඒ පුරුෂයන් කාලයක් ගතවූ පසුව රහසේම මරණයට පත් කරන්නට ඇය කටයුතු කළා. ඉතිහාසයේ සඳහන් වෙන විදියට ඇය පුරුෂයන් 32ක් මරණයට පත්කර තිබෙනවා. අනුලා රැජිණ පාලනය කළ වසර 6 ඉබාගාතේ ගෙවී ගියා මිසක රට වූ සෙතක් නැහැ.ඒ වීතරක් නෙවෙයි ඒ නිසාම භාණ්ඩාගාරය හිස්වුණා. රට බොහෝ පරිහානියට පත්වුණා.

මේ නිසාම කාලයක් චෝරනාග සහ අනුලා බිසවට බියෙන් භික්ෂු වෙස්ගෙන සැඟවී සිටි මකලන් තිස්ස (කුටිකණ්ණ තිස්ස ) සිවුරු හැර අනුලාව බලයෙන් පහ කරන්නට සැලසුම් සකස් කළා.ඒ අනුව මකලන් තිස්සගේ සේනාව රජ වාසල හතර වටින් වට කර වාසලට ගිනි තැබු අතර එයින් මුළු වාසලම ගිනිබත් වුණා .රාග ගින්නෙන් දැවිමෙන් සිටි  අනුලා දේවියත් ඒ ගින්නෙන්ම දැවී ගියා. ඉන්පසුව මකලන් තිස්ස ක්‍රි.පූ.42-20 දක්වා වසර 22 ක් මෙරට පාලනය කළා. කාලයක් අරාජිකත්වයෙන් පැවති රට ඔහු මුදවා ගත්තා.

ලංකාවේ රාජ්‍යත්වයට පත් පළමුවෙනි රැජින විදියට සලකන අනුලා දේවිය ගැන නවකතා පවා ලියැවිලා තියෙනවා. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුගේ ගේ “එපුර රැජයූ ඇය ” සහ මොහාන් රාජ් මඩවලගේ “රැජින ” එවැනි නවකතාවන්. ලංකාවේ මුල්ම රැජිණ පිළිබඳව අභිමානයෙන් කතා කරන්නට නොහැකි ආකාරයේ චරිතයක් සැබැවින්ම ඇය සතුවී ද නැත්නම් එයින් බොහෝමයක් අතිශයෝක්තීන් ද යන්න නම් නිශ්චිත නැහැ. නමුත් පුරුෂාධිපත්‍ය මුල් බැසගෙන තිබුණු කාලයක රජකමට පත්වුණු මුල්ම කාන්තාව රටේ අප්‍රසාදයට පත්වුණු බව නම් අනුමාන කරන්නට හැකියි.