The Lanka Post

Official Lanka Post Blog

නවගමුවේ පත්තිනි දේවාලයේ හාස්කම්

ඉතා ඈත අතීතයේ ඉඳලම ලාංකික ජනතාව බුදුන් වහන්සේ වන්දනාවට අමතරව දෙවියන් ඇදහීමටත් වැඩි ඉඩකඩක් දීලා තියෙනවා.අද ඕනෑම පන්සලක වුණත් ප්‍රධාන දේවාල විදියට විෂ්ණු ,කතරගම, සමන්, පත්තිනි මෑණියන් ආදී දෙවි දේවාතාවුන් වෙනුවෙන් දේවාල ඉදිකර තිබෙනු දකින්නට පුළුවන්.බෝධීන් වහන්සේ වන්දනා කරලා බුදුන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කරලා දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගන්නත් අපේ ලාංකීය ජනතාව අමතක කරන්නේ නෑ.

ඉතින් අතීතයේ ඉඳලම දුකක් , කරදරයක් , විපත්තියක් වුණාම දෙවියන්ගේ පිහිට පතන නිසා අතීතයේ සිටම ලංකාව පුරා නොයෙක් ස්ථානවල විවිධ දෙවියන් උදෙසා දේවාල ඉදිකර පුද පූජා පවත්වනු ලබනවා. ඒ විදියට ඈත අතීතයේ ඉඳලම පුද පූජා ලබපු දේවතාවියක් තමයි පත්තිනි මෑණියන්.ඉතින් පත්තිනි මෑණියන් වෙනුවෙන් ලංකාව පුරාම දේවාල ඉදිවෙලා තියෙනවා.ඒ අතරින් ප්‍රධානම දේවාලය විදියට සලකන්නේ නවගමුව පත්තිනි දේවාලය.

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල පහුකර ටික දුරක් යනවිට මේ හාස්කම් ඇති පත්තිනි දේවාලය හමුවෙනවා.පත්තිනි දෙවියන් වැඩ සිටින පත්තිනි දෙවියන්ගේ සළඹ වටකොට තනපු දෙවොලක් විදියට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ.මේ ගැන ඉතිහාසයේ එන රසවත් කතාවකුත් තියෙනවා.

මේ දේවාලයේ ඉතිහාසය බොහෝ ඈතට ගමන් කරනවා. අපේ රට කාලයක් පාලනය කරපු ගජබා රජතුමාගේ කාලේ තමයි මේ දේවාලය ඉදිවුණු බව කියවෙන්නේ. ඒ කාලේ සෝලී දේශයෙන් විවිධ ආක්‍රමණ අපේ රටට එල්ල වුණා. ඉතින් ඔය ගජබා රජතුමාගේ පියාගේ කාලේ ලංකාවේ තරුණ පිරිමි දරුවෝ 12000ක් සොලී රටට අරගෙන ගිහින් තියෙනවා.ඉතිහාසයේ කියවෙන විදියට මේ ගජබා රජතුමා තම පියාගේ කාලෙ සොලී රටට අරගෙන ගියපු පිරිස නැවත ලංකාවට ගෙන එන්න නීලමහා යෝධයා එක්ක සොලී රටට ගියාලු. 

සෝලී රටේ රජු මවිත වෙන විදියේ වැලිවලින් වතුර ගැනීම වගේ අරුම පුදුම දේවල් ටිකක් කරපු මේ නීල මහා යෝධයා එක්ක ගජබා රජු ලංකාවේ තරුණයන් 12000ට අමතරව තව 12000ක පිරිසකුත් අරගෙන ලංකාවට එන්න පිටත්වෙලා තියෙනවා. ඉතින් සොලී දේශයත් ජය අරගෙන රුවල් නැවකින් නැවත ලංකාවට එන ගමනේ දී පත්තිනි සළඹත්,පාත්‍රා ධාතුවත් අරගෙන තමයි ආවා කියන්නේ. ඒත් ඔය අතරමගදී ඇති වුණු කුණාටුවක් නිසා රජු ඇතුළු පිරිස කැළණි ගඟ දිගේ නවගමුව ප්‍රදේශයට ඇවිත් නාගොමුවක පූජාසනයක් සකස් කරලා පාත්‍රයක රන් සළඹ සහ පාත්‍රා ධාතුව එහි තැන්පත් කරලා  රාත්‍රිය ගත කළා. ඒත් පසු දින රජුට දකින්නට ලැබුණේ සළඹ වටකොට සුදු නාගයින් 7 දෙනෙක්  සිටි ආකාරය. ඉතින් ඒ සිදුවීම දැකපු රජතුමා සළඹ වට කරලා මේ නවගමුව දේවාලය තැනූ බව තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ.

මේ විදියට ඉදිවුණු දේවාලය සුගතබිම්භාරාමය පුද බිමේ පිහිටා තිබුණත් අද වෙනකොට මුළු රට පුරාම ප්‍රචලිත වෙලා තියෙන්නේ නවගමුව පත්තිනි දේවාලය විදියට.පත්තිනි මෑණියන් පෙරටු කරගෙන විෂ්ණු, කතරගම, සමන් දැඩිමුණ්ඩ, සූනියම් , කඩවර,ගණ දෙවි ආදී ප්‍රධාන දේවාල වගේම ප්‍රාදේශීය වශයෙන් අදහන දෙවිවරුන් වෙනුවෙන් ද මෙහි දේවාල පවතිනවා.

මේ පත්තිනි දේවාලයේ උදේ 6.00 ට ,උදේ 10.00 ට, දහවල් 2.00 ට හා සවස 6.00ට, රාත්‍රී 8.00 ට ආදී වශයෙන් මෙහි තේවාවන් පැවත්වෙනවා. ඒවගේම මුරුතැන් බත් පූජාව දේවාලයේ මුළුතැන්ගෙයි පිළියෙල කරනු ලබනවා.

ඒ වගේම මේ පුද පූජාවන් හැරුණම මේ පත්තිනි මෑණියන් ප්‍රමුඛ කොටගත් පත්තිනි දේවාලයේ පෙරහැරත් ඉතා විශේෂවූවක්. පැරණි පොත පතේ සඳහන් වෙන විදියට ඉන්දියාවේ හිටපු සේරමන් කියන රජතුමාට වැළඳී තිබුණු හිසේ අමාරුවක් නිසා නැකැත්කරුවෙක්ගේ උපදෙසකට අනුව ලංකාවට ඇවිත් තියෙනවා. එතුමා හිසේ කැක්කුමට කොතරම් බේත් හේත් කළත් පලක් වුණේ නැතිලු.  ඉතින් ඒ නිසා එතුමා ලංකාවට ඇවිත් පත්තිනි දෙවියන්ට බාරයක් වෙලා තියෙනවා  මේ ලෙඩේ සුව කරදෙන්න කියලා.ඉතින් පත්තිනි දෙවියන්ගේ ආශීර්වාදයෙන් එතුමාට සුව වුණු නිසා උපහාරයක් විදියට මේ පෙරහැර මංගල්‍ය ආරම්භ කළ බව කියවෙනවා. ඒ සඳහන් දෙවොල් මඩු යාගය සිදු කළ බවයි පැවසෙන්නේ.

ඉතින් එදා සිට අදටත් මේ පෙරහැර පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදු කරනු ලබනවා. ඒ බාරය අසල ගම් නවයකට පවරා තියෙනවා. ඉතින් ඒ නිසා නවගමුව කියන නම ජනවහරට එක් වුණු බවකුත් පැවසෙනවා. කොහොමවුණත් මේ නවගමුවේ පෙරහැරටම ආවේණික වුණු විශේෂ සංස්කෘතික අංග කිහිපයක්ම දකින්න තියෙනවා. 

ඒ තමයි මේ පෙරහැරේ ඇතුන් සහිත පෙරහැර වගේම ගොන් පිට පෙරහැරක් පැවැත්වීම.ඉතින් වෙනත් පෙරහැරවල්වලට ගොනා සම්බන්ධ කර නොගත්තත් නවගමුවේ පත්තිනි දේවාල පෙරහැරට ගොනා විශේෂ සත්ත්වයෙක් විදියට සම්බන්ධ වෙනවා.ඒ සම්බන්ධ ජනප්‍රවාදයේ කියවෙන්නේ වරක් ගොනුන්ට මහා වසංගතයක් වැළදුණු අවස්ථාවක පත්තිනි දෙවියන්ට භාර වෙලා තියෙනවා ඒ වසංගතය දුරු කරවන ලෙසට . ඉතින් ඒ බාරය ඔප්පු කිරීමක් විදියට නවගමුවේ පත්තිනි දේවාලයේ සධාතුක කරඬුව සහ දේවාභරණ ගොනුන් පිට වැඩමවීම සිදුකරන බවයි පැවසෙන්නේ.ඒ වගේම එදිනට එන බැතිමතුන් සැමදෙනාටම දේවදානය බෙදාදීමත් මේ පින් බිමේ වෙන තවත් එක් සුවිශේෂී කාර්යයක්.

පත්තිනි දෙවියන් උදෙසා පවත්වනු ලබන සංස්කෘතික අංග  අතර ඇසළ පෙරහැර හැරුණම දිය කැපීමෙන් දවස් 7කට පසු පවත්වන ගිනි මඩු මංගල්‍ය, වස් දුරු කිරීමට පවත්වන ගරා යක් නැටුම නවගමුව දේවාලයේ ව්ටිනාකම තවත් වැඩි කරනවා.

ඉතින් පසුකාලීනව සම්‍යක් දෘෂ්ටියට පත්ව බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සත් පත්තිනි දෙවිදුන් ලාංකීය බෞද්ධ ජනතාවගේ ඉහළ පිළිගැනීමට ලක්වන බෝධිසත්ව දෙවඟනක්.  දරුවන් නැති කාන්තාවන් වගේම විවිධ ලෙඩ රෝග කරදර හමුවේ අසරණ වුණු මිනිසුන් පත්තිනි මෑණියන්ගේ පිහිට පතා මේ නවගමුව දේවාලයට පැමිණෙන්නේ මහත් භක්තියෙන්. ඒ වගේම සාධාරණ විදියට කටයුතු කරන මිනිසාට දුකේදී පිහිට වෙන දෙවඟනක්. 

වරක් මේ දේවාලයේ කපු මහතාට සිහිනෙන් දේවාලයට නුදුරින් කැලණි ගං මිටියාවතේ කොස් කොටයක් පාවෙමින් තියෙන බවත්, එය ගෙනවිත් දේවාලයට උළුවස්සක්  සකස් කර ගන්නා ලෙසටත් කියලා තියෙනවා.ඉතින් මේ කපු මහත්තයා ඔය කිව්ව විදියටම ඒ දේ ඉටු කළාලු. ඉතින් කාලයක් යනකොට මේ උළුවස්සෙන් කොස් ගෙඩි කිහිපයක් හැදුණලු. කපු මහත්තය මේ දෙවියන්ගේ හාස්කමක් කියලා හිතලා හොඳින් ඒවා ආරක්ෂා කළාලු. ඒත් දවසක් බඩගින්නේ ආපු ගැමියෙක් මෙයින් කොටසක් කඩාගෙන කුසගිනි නිවාගෙන පත්තිනි දෙවියන්ටත් පින් දීලා ගිහින් තියෙනවා. ඒත් කපු මහතා කේන්තියෙන් මේ කොස්  කෑ අයට දඬුවම් දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරලා තියෙනවා. ඒත් කිසි වැරද්දක් නැති ඒ අසරණ මිනිසාට මෙසේ පලි දැරූ කපු මහතාට දඬුවම් ලැබුණු බව කියවෙනවා. මේ  කතා පුවත ගොඩක් ප්‍රසිද්ධ කතාවක්.

ඉතින් ඒ වගේ මේ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය යහපත් අය වෙනුවෙන් නිරන්තරයෙන් ලබාදෙන බව බැතිමතුන් විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසය නිසාම පොහෝ දිනයන් හැරුණහම අනෙක් සෑම දිනකම මේ නවගමුව දේවාලයට පැමිණ පත්තිනි දෙවියන් උදෙසා පූජා වට්ටි පූජා කර,බාරහාර වෙමින් පිහිට ලබා ගන්නවා.

ලංකාව පුරාම ඇති පත්තිනි දේවාලවලින් පත්තිනි දෙවියන්ගේ ප්‍රධානම දෙවොල ලෙස වන්දනාවට පාත්‍ර වෙන මේ නවගමුව දේවාලය 1576 දී පරංගීන් විසින් විනාශ කර යුධ කඳවුරක් විදියට කාලයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඉන් පසුව මෙහි නැවත දේවාලය ස්ථාපිත කර ඇත්තේ කපු මහතෙක් බවටයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. 

කොහොම වුණත් වසංගත රෝග දුරලන, අසරණ වූ මිනිසුන්ට පිහිටවන නවගමුව පත්තිනි දේවාලය අනෙක් පුදබිම් සියල්ලටම වඩා ජනතාවගේ හදවත් තුළ ජීවමානව වැඩ සිටින බව දිනපතා එහි පැමිණෙන බැතිමතුන්ගෙන් තහවුරු වෙනවා.