The Lanka Post

Official Lanka Post Blog

අදටත් හෙණ වදින අලි මැරු සුද්දන්ගේ සොහොන

සත්ත්ව ප්‍රජාව අතුරින් බුද්ධිමත්ම සත්ත්වයා මිනිසා වග ඔබ හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් මිනිසත් බව ලැබූ අපි අපේ පරිසරයට කරන විනාශය සත්ත්ව සංහතියට කරන විනාශය සාධාරණ ද?. දැනුම් තේරුම් ඇති මිනිසා තවත් සත්ත්වයෙක්ගේ ජීවිත කුමන හෝ පරමාර්ථයක් වෙනුවෙන් නසාලීම සදාචාර සම්පන්න ද?. බුද්ධිමත් ද. නමුත් එදා සිට අදටත් ඒ ප්‍රශ්නය හමුවේ සැවොම නිහඬයි. මන්ද අදටත් පරිසරයට, සත්ත්ව ප්‍රජාවට මිනිසා නිසාවෙන් සිදුවන හානිය අතිමහත්. ඒ සඳහා යම් යම් නීති පැවතුණත් නීතියේ ඇස් වහන්නට, බලධාරින්ගෙන් සැඟවෙන්නට බොහෝ අයට හැකියාව ලැබී තියෙනවා. වැරදිකරුට නිසි දඬුවම් නීතියේ පිහිටෙන් ලබා දෙන්නට නොහැකි වුණත් ස්වභාදහමෙන් ඒ ඒ පුද්ගලයාට දඬුවම් ලබාදෙන බව ඔබ අප අසා තියෙනවා. 

වපුරන්නේ යම් බීජයක් ද ඒ බීජයට අනුරූපව අස්වැන්න හිමිවන සේම අප කරන පින් පව්වලට අනුව අපිට විපාක විදින්නටත් සිදුවෙනවා. එය සනාතන ධර්මතාවයක්.ඉතින් තමන්ගේ නිල බලය, අවි බලය නිසා එදා වගේම අදටත් අපේ හස්තීන්ට උරුම වූ කල දසාව නම් ඉතාම අභාග්‍ය සම්පන්නයි. 

හස්තියා කියන්නේ සත්ත්ව ලෝකයේ විශාලම සතා වගේම බුද්ධිමත්ම සතා. ඉතින් දළදා වහන්සේ වැඩම කරවන්නට තරම් වාසනා බලමහිමයක් ඇති තේජවන්ත හස්ති පරපුරට නරක කලදසාවක් ලැබුවේ බ්‍රිතාන්‍යයන් අපේ රට යටත් විජිතයක් විදියට පාලනය කරන්නට ආරම්භ කිරීමත් සමඟ. ඉතින් ඒ නිසාවෙන් ලංකාවේ අලි ඇත් පරපුරට කණ කොකා හැඩූ කාලය උදා වුණා. ඉතින් මේ කියන්න සූදානම් වෙන්නේ හස්තීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ අණක් ගුණක් නැති සුදු ජාතිකයන් දෙදෙනෙකුගේ අදටත් හෙන වදින සොහොන් දෙකක් ගැන .

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන් යටතේ පාලනය වන කාලයේ දී උඩරට පුරාම 1835 දී පමණ කෝපි වගාව ව්‍යාප්ත වෙන්නට වුණා. ඒ වගේම 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යානුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි වුණු සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක වුණා. උඩරට වැසියන් උඩරට කැරලිවලින් පසුව සිය සරුසාර ඉඩම් අත්හැර වඩාත් ආරක්ෂිත කඳුකර ප්‍රදේශ කරා ගොස් ජීවත් වෙන්නට පටන් ගත්තා. 

ඉතින් මේ හේතූන් නිසා උඩරට පමණක් නොවෙයි ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉංග්‍රීසීන් විශාල වශයෙන් වනාන්තර එළිපෙහෙළි කරමින් කෝපි වගාව සඳහා යොදාගත් අතර ඒ සඳහා සිංහරාජය, සිරිපාදය අවට පැතිර තිබූ පරිවාර කැලෑ වගේම පූජනීය ආරක්ෂිත කැලෑබිම් ද යොදා ගත්තා. ඉතින් පසුකාලීනව රබර්, තේ, සිංකෝනා සහ කොකෝවා ආදී වැවිලි බෝග වවන්නට ඔවුන් තව තවත් වනාන්තර හෙළි පෙහෙළි කළා.

මේ කටයුතු නිසාවෙන් නිදැල්ලේ සැරිසරමින් වනයේ ජීවත්වුණු අලි ඇතුන්ගේ අලිමංකඩ ඇහිරුණා. ඔවුන්ට ආහාර හිඟ වුණා. අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වුණා. දිය ඇලි, ජල උල්පත් සිඳී ගියා. ඉතින් ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ ජීවිතවලටත් දැඩි තර්ජන එල්ල වුණා. 

එදා වතු කම්කරුවන්ගේ එක් විනෝදාංශයක් වුණේ අලි ඇතුන් ඝාතනය කිරීම. ඒ වගේම මදු ගසා අලි ඇතුන් ඇල්ලීම්, හීලෑ කිරීම, පිරටට විකිණීම , අලි ගාල් පවත්වා ගෙන යාම, ඇත් දළ සඳහා ඇතුන් ඝාතනය ආදී වාණිජ පරමාර්ථයන් උදෙසා පවා අලි ඇතුන් ඝාතනය කිරීම දිනෙන් දින වැඩි වුණා. එදා සිංහලයා සිය පණ මෙන් රැකි ගහකොළ, සතා සීපාවා විදේශීය සුදු ජාතිකයන් විනාශ කළේ අනුකම්පා විරහිතවයි . එදා ඒ වෙනුවෙන් හඬ නගන්නට සිංහලයන් ඉදිරිපත් වුවත් ඒවා වළක්වන්නට කිසිවෙක්ට හැකියාවක් තිබුණේ නැහැ. 

මේ කාලයේ බොහෝ ඉංග්‍රීසීන්ගේ විනෝදය සඳහා ඉලක්කය වුණේ අහිංසක අලි ඇතුන්. කැප්ටන් තෝමස් විලියම් ජෝසෆ් සහ සැමුවෙල් බේකර් කියන්නේ ලංකාවේ අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ බවට නම් දැරූ දෙදෙනෙක්. 1845 දී මෙරටට ආ මොවුන්ගෙන් සැමුවෙල් බේකර් වැවිලිකරුවෙක්. විලියම් ජෝසෆ් එවකට සිටි උප දිසාපතිවරයෙක්. 

තෝමස් විලියම් ජෝසෆ් කියන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලයේ ලංකාවේ සිටි විනෝදයට තමන්ගේ ගිනි බටයෙන් අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ අයෙක්. ඉතින් ඔහු විසින් මැරූ අලි ඇතුන් ප්‍රමාණය නම් සුළු පටු වෙන්නේ නැහැ. තෝමස් විලියම් විසින් එදා හස්තීන් 1500 ක් පමණ ඝාතනය කළ බව සඳහන් වෙනවා. ඉතින් ගම්මුන්ගේ වචනයෙන්ම කිව්වොත් ඒක හෙන ගහන අපරාධයක්. අනික් පුද්ගලයා වුණු සැමුවෙල් බේකර් ද හස්තීන් දහසක් පමණ ඝාතනය කර තියෙනවා. ඔහුට ද අකාලයේ මියැදෙන්නට සිදුවුණු බව සඳහන්.

තෝමස් විලියම්ගේ හෙන වදින සොහොන 

ඉතින් කලකම් පලදෙනවා කියලා කතාවක් තියෙනව නේ. ජෝසෆ් කියන හස්තීන් රාශියක් ඝාතනය කළ ඒ පුද්ගලයාටත් මේ කළ පවු නිසාම අකාලයේ මියැදෙන්නට සිද්ධ වුණේ අකුණු සැර වැදීමෙන්. වැරදි, අපරාධ කරන පුද්ගලයන්ට හෙන වැදෙනවා කියන කාරණාව මේ සිදුවීමත් එක්ක බැලුවම මිත්‍යාවක් නොවෙන බව පැහැදිලියි. ඉතින් එදා ඔහු හපුතලේ තානායමේ සිටිය දී මේ අකල් මරණයට පත්වුණු බව සඳහන්. ඒ වෙද්දි ඔහුට වයස අවුරුදු 42යි. ඔහුගේ දේහය මිහිදන් කර තිබෙන්නේ  නුවරඑලියේ වර්තමාන ගෝල්ෆ් ක්‍රීඩා සමාජ කාර්යාලය අසල. ඒ මත ගලින් කරන ලද පලකයක් ද යොදා තියෙන බව දකින්නට පුළුවන්.

ඉතින් පුදුමයට කාරණාව වෙන්නේ ඔහුගේ ඒ සොහොනටත් අවස්ථා කිහිපයකදීම අකුණු සැර වැදී තිබීම. සොහොන් පලකය ඉරිතලා දෙකඩ වී ඇත්තේ ද ඒ හෙණ වැදීමෙන් බව ප්‍රකට කාරණයක්. ඉතින් ඔහු මියැදුණත් ඔහු කළ පව් නිසා ඒ සොහොනට මෙසේ හෙණ වදින බවයි බොහෝ අයගේ අදහස වෙන්නේ.

ජේ.පී .ඉරේෂන්ගේ හෙන වදින සොහොන 

ඔහු විතරක් නෙවෙයි හස්තීන් ඝාතනය කළ අනෙක් සුදු ජාතිකයාගේ සොහොන කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ස්ථානයේ යාල ජාතික වනෝද්‍යානය තුළ දකින්නට තියෙනවා . එකල මේ ප්‍රදේශය පාලනය කර ඇත්තේ ජේ. පී. ඉරේෂන් නම් සුදු ජාතිකයා. ඉතින් අවාසනාවට ඔහුගේ විනෝදාංශය වුණෙත් හස්ති දඩයම. ඔහු අතින් මියගිය හස්තීන් ප්‍රමාණය සිය ගණනක් බව සඳහන්.ඉතින් තෝමස් විලියම්ට වගේම ඉරේෂන්ටත් කළ පව්වලට විපාක මෙලොවදීම ලැබුණේ හස්තියෙක්ගේ පහරදීමෙන් මරණයට පත්වෙන්නට සිදුවීමෙන්.1877 ඉපිද 1923 නොවැම්බර් 12 මරණයට පත් වෙද්දි ඔහුගේ වයස 46 යි.

මියගිය ඉරේෂන්ගේ මිතුරන් යාල කැලයේ ඇති ගල් තලාවක ඔහුගේ සොහොන ඉදිකර තිබුණා.එහි සඳහන් වෙන්නේ “ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කාර වූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි” යනුවෙන්. 

මේ සොහොන අඩි 40 ක් පමණ උසකින් නිර්මාණය කර ඇති නමුත් කලින් කලට මේ සොහොනට හෙණ වැදීම නිසා කලින් කලට මේ සොහොන ප්‍රතිසංස්කරණයටත් ලක් කරනු ලැබුවා. ඒ වගේම  මේ සොහොන ගැන නිතර වාර්තා කරන ලෙසටත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇති අතර මේ අඩවිය භාර නිලධාරියා සොහොන කැඩී ගිය සෑම අවස්ථාවකම එය දැන්වීම නිසා කොමසාරිස් කාර්යාලයෙන් පැමිණ මේ සොහොන අලුත්වැඩියා කරන ලද බව වාර්තා වෙනවා.

නිතර නිතර හෙන වැදීම නිසා මෙහි උස අඩි 20 කට පමණ අඩුවී තිබෙන බැවින් ගම්මුන් පවසා සිටින්නේ හස්තීන් ඝාතනය කළ නිසා ඔවුන්ගේ ආත්ම ඔහුගෙන් පළිගන්නා බවයි.ඉතින් අදටත් වන සතුන් අණක් ගුණක් නැතිව මරණයට පත්කරන අයටත් නීතියෙන් ගැලවී ගියත් ස්වභාවධර්මයෙන් තමන් කළ අපරාධයන්ට නිසි දඬුවම් ලබාදෙන බව මෙයින් පැහැදිලි වෙනවා.