The Lanka Post

Official Lanka Post Blog

මැදියම් රැයේ අසුපිට නැග යන තනිය වල්ලභ දෙවියෝ

ජන හිතකාමීව රටේ දියුණුවට, සශ්‍රීකත්වයට බොහෝ සේවාවන් කරපු පුද්ගලයන් මරණයට පත්වීමත් සමඟ ඔවුන්ව දේවත්වයෙන් සැලකීම අතීතයේ සිටම පැවතෙන්නක්. මහසෙන් රජතුමා මින්නේරිය වැව නිර්මාණය කරමින් ප්‍රදේශවාසීන්ට සිදුකළ මහත් සේවාවන් නිසාම ඔහුගේ අභාවයෙන් පසුව එතුමා මින්නේරි දෙවියන් බවට පත්ව ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙනවා. කැළණි ගඟ දෙපස ජනතාව අදටත් රංවල දෙවියන්ව අදහන්නේ රංවල මුත්තා නම් වැසියෙක් ජීවත්ව සිටිද්දී ජනතාව වෙනුවෙන් කළ පරාර්ථකාමී සේවාවන් නිසා. 

1818 කැරැල්ලේ පුරෝගාමීත්වය ගත් කිවුලේගෙදර මොහොට්ටාල බදුලු ප්‍රදේශයේ දේවත්වයෙන් පිදීම , කලා වැව ආසන්නයේ සිටි කාල මරණයට පත්වීමෙන් කඩවර දෙවියන් විදියට වන්දනාවට ලක්වීම ඒ සඳහා තවත් නිදසුන්. ඒ වගේම අත්තනුගල ඔයේ අතු ගංගාවක් වූ කුඩා ඔය හරස් කර බඳින ලද අස්වාන් වේල්ල කඩාගෙන යද්දි ඒ විශාල වාරි නිර්මාණය කරමින් ප්‍රදේශයට විශාල මෙහෙයක් කරපු සකල කලා වල්ලභ රජු වතුර පාරට පැනලා මිය යනවා. ඉතින් මේ සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගේ මරණයෙන් පසුව ජනතාව ඔහුව අස්වාන් දෙවියන් විදියට වන්දනා කරන්නට පටන් ගත්තා. ඉතින් මේ විදියට ජීවත්ව සිට මරණයට පත්වුණාට පස්සේ දේවත්වයට පත්වුණු කෙනෙක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. 

ඉතින් කොළඹ සිට හලාවත දෙසට ගමන් කරද්දි මාදම්පේ නගරය ආරම්භයේ දී මහා මාර්ගයේ එක් තැනෙක ඇති දේවාලයක් ඒ මාර්ගයේ ගමන් ගන්නා අයගේ නෙත ගැටෙනවා. ඒ දේවාලය ඉතාම පහසුවෙන් හඳුනා ගන්නට හැකිවෙන්නේ එහි දකින්නට තියෙන විශාල අශ්ව රූපය නිසා. තිනිපිටි වැවේ දකුණු ඉවුරේ පිහිටි කඩු පිටි ඔය ආසන්නයේ ඇති මේ දේවාලය කැපවී තියෙන්නේ තනියවැල්ලේ දෙවියන්ට. ඉතින් තනියවැල්ලේ දෙවියන් වෙනුවෙන් මාදම්පේ අවට ගම්මානවල කුඩා දේවාල ඉදිකර තිබුණත් ප්‍රධාන දේවාලය වෙන්නේ මේ දේවාලය. 

මේ ප්‍රධාන දේවාලය හැරුණාම කුඩා වැව, මහ වැව, පූකුලම මැල්ලවගාර ,ගල් අමුණ , ජයරත්නාගාර සහ ගල්මුරුව යන ගම්මානවල මේ තනිය වැල්ලේ දෙවියන් උදෙසා වූ කුඩා දේවාල දකින්නට පුළුවන්. ඉතින් මාදම්පේ ප්‍රදේශයේ ඉදිවී ඇති මේ දේවාලවලින් මේ දේව ඇදහිල්ල ජනතාව අතර කොතරම් ජනප්‍රිය ද යන්න තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා.

ඉතින් මේ තනිය වැල්ලේ දෙවියන් කවුරුන් ද යන්න විමසා බැලුවොත් ඔහු කෝට්ටේ රාජධානි පාලන සමයේ දී මාදම්පේ සිය රාජධානිය කරගත් ප්‍රාදේශීය පාලකයෙක්. තනිය වල්ලභ වන ඔහුට සකල කලා වල්ලභ නමින් සහෝදරයෙක් ද සිටියා. ලංකා ඉතිහාසය තුළ වැඩි කතාබහට ලක් නොවෙන පාලකයෙක් විදියට මේ තනිය වල්ලභ රජු  සඳහන් කරන්නට හැකියි. ඔහු කාගේ කවුරුන් ද යන්න සොයාගන්නට යම් ප්‍රමාණයකට විස්තර සපයන මූලාශ්‍ර විදියට රාජාවලිය වගේම අලකේශ්වර යුද්ධයත් වැදගත් වෙනවා. ඒ වගේම තනිය වල්ලභ රජු විසින් නිකුත් කරන ලද සන්නස් කිහිපයක් ප්‍රකාශයට පත්කරමින් 1920 දී එච්. සී. පී. බෙල් මහතා විසින් රාජකීය සමිති සඟරාවට “ ප්‍රින්ස් තනිය වල්ලබාහු ඔෆ් මාදම්පේ ” නමින් ලියූ ලිපියත් මේ සඳහා ඉතා වැදගත් තොරතුරු සමූහයක් සපයා දෙන්නක්. 

එකල කෝට්ටේ රාජධානියේ පාලනය ගෙන ගියේ අටවන වීර පරාක්‍රමබාහු . ඔහු හයවන පරාක්‍රමබාහු රජු හදාවඩා ගත් පුතුන් දෙදෙනාගෙන් එක් අයෙක් වුණු අම්බුළුගල කුමරු. අනික් කුමාරයා තමයි සපුමල් කුමරු. කොහොමහරි මේ අටවන වීර පරාක්‍රමබාහු නමින් රජ වූ අම්බුලුගල කුමාරයාට බිසෝවරු දෙදෙනෙක් සිටි අතර ඔවුන් සහෝදරියන් වුණා. පරාක්‍රමබාහු රජතුමා සිය අග බිසව විදියට සරණ පාවා ගත්තේ මැණික් කඩවර කීරවැල්ලේ කුමරියක් . ඉතින් ඇයට දාව ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු යන පුතුන් තිදෙනෙක් ලැබුණා. දෙවන බිසවට දාව සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ නමින් පුතුන් දෙදෙනෙක් ලැබුණා.ඉතින් රජතුමා තමන්ගේ දරුවන්ට කෝට්ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ පාලනය කරන්නට භාර දුන් බව සඳහන් වෙනවා. ඉතින් අද අපි කතා කරන මේ තනිය වල්ලභ කුමාරයා පාලනය කරනු ලැබුවේ මාදම්පේ ප්‍රදේශය.

මේ විදියට පාලනය ගෙන යද්දී ධර්මපරාක්‍රබාහු රජ කරන සමයේ දී හලාවත ප්‍රදේශයට පැමිණ සිටි කයාල් පටුනෙන් ආ කදිරායන කියන මුදලි සහ මුස්ලිමුන් පිරිස රජුගේ අලි ඇතුන් අල්ලන්නත්, මුතුපරවල මුතු ලබා ගන්නත් පටන් ගත්තා. ඉතින් මේ කටයුතු නතර කරන්නට පිටත්ව යන්නේ තනිය වල්ලභ කුමාරු, ඔහුගේ සහෝදරයා වුණු සකල කලා වල්ලභත් යන දෙදෙනා. පෘතුගීසීන්ට එරෙහිව මුලින්ම  සටනක් දියත් කළේ ද තනිය වල්ලභ රජු.ඉතින් තනිය වල්ලභ රජු මාදම්පේ ප්‍රදේශයේ මහ වැව ඇතුළු වාරි කර්මාන්ත කිහිපයක්ම කරමින් ආර්ථික වශයෙන් වගේම දේශපාලනික වශයෙනුත් ස්ථාවරත්වයක් ගොඩනැගූ බව සඳහන්. 

නමුත් මේ තනිය වල්ලභ රජුගේ අභාවය කවදා සිදුවූයේ ද කෙසේ වූවක්ද යන්න නිශ්චිතව දක්වන්නට සාධක නොමැති වුවත් ඇතැම් අය පවසන්නේ එතුමා සිය මුණුබුරු වූ වීදිය බණ්ඩාර අතින් ඝාතනය වූ බවයි . තනිය වල්ලභ රජුගේ දියණිය විවාහ වී සිටියේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර. සමුද්‍ර දේවිය හා විවාහවෙලා ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුණෙත් මේ වීදිය බණ්ඩාර. 

නමුත් ඔහු මේ ඝාතනය කළ බවට පවතින සාධක හා විශ්වාසයන් ප්‍රබල නොවීම නිසා එය පිළිගැනීමට බොහෝ අය මැළිවෙනවා. තවත් අය කියන විදියට කායල්පට්ටනමේ කදිරායන නම් මුස්ලිම් ආක්‍රමණිකයා හා සටනට ගිය අවස්ථාවේ එක්තරා ඇමති කෙනෙක් තනිය වල්ලභ රජුගේ රූමත් බිසව වසඟයට ගන්නට උත්සාහ කළත් එය අසාර්ථක වූ විට යුද්ධය ජයගෙන පැමිණි රජු සියදිවි හානිකරගෙන ඇත යනුවෙන් පැවසීම නිසා ඇය දේවාලය අසල පිහිටි තිනිපිටි වැවට පැන සියදිවි නසා ගත් නිසාවෙන් රජු ද සියදිවි නසාගත් බවයි පැවසෙන්නේ. 1848 එමර්සන් ටෙනන්ට් සිය  Ancient Ceylon නම් ග්‍රන්ථයේ තනිය වල්ලභ රජු සියතින්ම දිවි තොර කරගත් බව සඳහන් කර තියෙනවා.

කොහොමනමුත් ජීවත්ව සිටිය දී මාදම්පේ ප්‍රදේශයට කළ සේවය නිසාම ඔහු මරණයෙන් පසුව දේවත්වයට පත්වෙන්නේ තනියවැල්ලේ දෙවියන් විදියට. ඉතින් ජනතාව අදටත් විශ්වාස කරන්නේ සුදු අශ්වයෙක් පිට නැගී තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාවට ඔහු ආරක්ෂාව සලසන බවයි. කෝට්ටේ යුගයේ සිටම තියෙන ඒ දේවාලයේ අද දකින්නට තියෙන ගොඩනැගිල්ල ඉදිවෙන්නේ 1894  දී. ඉතින් මේ දේවාල භූමියේ වසර 250 ක් තරම් ඉපැරණි බෝධි වෘක්ෂයක් ද දකින්නට පුළුවන්.   

ඉතින් මාදම්පේ ජනතාව දැඩි විශ්වාසයකින් වන්දනා කරන අදහන තනිය වැල්ලේ දේවාලයේ ඇති අශ්ව රුව සුවිශේෂීත්වයක් උසුලනවා .ඒ ප්‍රදේශය ආශ්‍රිතව පවතින ජනප්‍රවාදයකට අනුව නම් මේ දේවාලය ඉදිරිපස  මාර්ගයේ දී අතීතයේ සිය අශ්ව කරත්තයෙන් ගමන් කළ එක් සෙට්ඨි ව්‍යාපාරිකයෙක් අවස්ථා දෙකකදීම අනතුරට පත්වෙලා තියෙනවා.ඒ විදියට ගමන් කරද්දී අශ්වයා දෙවතාවක්ම වැව දෙසට දිවයාමෙන් සෙට්ඨි මිනිසාට තුවාල සිදුව තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔහුට පසු දිනෙක් රාත්‍රියේදී තනියවැල්ලේ දෙවියන් සිහිනෙන් පෙනී බාරයක් විදියට අශ්ව රුවක් නෙළන ලෙසටත් අණ කළ නිසාවෙන් ඔහු මේ අශ්ව රුව නෙලා ඇති බවයි පැවසෙන්නේ.

මේ දේවාලයේ අශ්ව රුව පිළිබඳව එකල දක්ෂ කිවිඳියක් වුණු ගජමන් නෝනාගේ කවි පබැදුමකටත් පාදක වෙලා තියෙනවා. එහි පද කිහිපයකි මේ.

  • යන එන දන නොව වැල්ල 
  • සුරිදුන් වැඳ නොපැකිල්ල 
  • වැඩහිද නිවි සැනසිල්ලු 
  •  කරති නිතින් 
  • මෙලෙසට දුටු සතලොල්ල 
  • වන මග නුග සෙවණැල්ල 
  •  සුරිදුන් හට තනිවැල්ල 
  •  මිහිකත දුන් 

ඉතින් අගෝස්තු මාසය එළඹෙත්ම බොදු ජනතාව තැනින් තැන තනිය වැල්ලේ දෙවියන් වෙනුවෙන් නානුමුර මංගල්‍යය ඒ ප්‍රදේශයේ කුඩා දේවාලවල සිදු කරනු ලබනවා. ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයේ වසරකට වරක් සිදු කරන ප්‍රධාන ආගමික උත්සව තුන අතුරින් එකක් වෙන්නේ ද මේ තනිය වැල්ලේ දෙවියන් වෙනුවෙන් සිදුකරන උත්සවයයි. ඉතින් තනිය වැල්ලේ දෙවියන් උදෙසා ඉදිවූ මාදම්පේ තනිය වැල්ල දේවාලය බොහෝ ජනතාවගේ වැදුම් පිදුම්වලට ලක්වෙන දේවාලයක් ලෙස වැදගත් වෙනවා.