The Lanka Post

Official Lanka Post Blog

අපායට ගිහින් නැවත පැමිණි මිනිසාගේ කතාව

අපාය කියන වචනය ගැන අපි අසා තියෙන්නේ කුඩා කාලයේදීමයි.ලොකුවට දැනුම් තේරුම් නැතිවුණත් අම්මා තාත්තා වැඩිහිටි උදවිය අපිට කුඩා කාලයේදි නරක වැඩ කරන්න එපා අපායේ යනවා කියනවා. ඉතින් එදා අපාය ගැන සිතේ මවාගත්තු විදියක් අපට තියෙනව නේ. ඇතැමුන් නම් අපාය ගැන විශ්වාස කරන්නෙ නැහැ. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට තුළ මේ අපාය ගැන විස්තර අන්තර්ගතයි. තම තමන් කළා වූ කර්මවලට අනුව සත්ත්වයන් උපදින භවයන් තුනක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. 

  1. කාම භවය 
  2. රූප භවය 
  3. අරූප භවය 
  • මෙහි කාම භවයට 
  • සතර අපාය 
  • මනුස්ස ලෝකය 
  • දිව්‍ය ලෝක 6 
  • මෙයින් සතර අපායට 
  • නිරය 
  • තිරිසන් 
  • ප්‍රේත 
  • අසුර 

ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් පිළිබඳව විස්තර කර තිබෙනවා. සඤ්ජීව නිරය , කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය ,අවීචි මහා නිරය වශයෙන් මහ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16 ක් තිබෙනවා.

නමුත් අවාසනාවට අද රාගයෙන් ද්වේශයෙන් මුලාවෙන් අන්ධවෙලා ජීවත් වෙන මිනිස්සු බොහෝදෙනෙක් මේ සතර අපාය ගැන විශ්වාස කරන්නේ නැහැ. තිරිසන් අපාය හැරුණාම නොපෙනෙන අපායන් කොහොමටවත් පිළිගන්නේ නැහැ. නමුත් සසරේ බියකරු බව හඳුනා ගන්නට අපායට ගොස් පැමිණි ඔහුගේ මේ සත්‍ය කතාව කියවලා බලන්න.

මේ කතාව මනෝ විද්‍යා උපදේශකයෙක් වන ආචාර්ය ජී. හල්ගස්වත්ත මහත්මයා පවසා තිබුණු පුවතකි. එතුමා පවසා විදියට මේ කතාවේ කතා නායකයා දරුවන්ට ආදරණීය පියෙක්. බිරිඳට දයාබර සැමියෙක් . අසල්වාසීන්ට හිත හොඳ සමීපතමයෙක්. නෑයන්ට යහපත් ඥාතියෙක්. ඉතින් විවාහයට පෙර ගත කළ තරුණ කාලය තුළ ඔහුට ඇසුරු කරන්නට වුණේ පාප මිතුරන්. ඒ නිසාම ඔහු තදින්ම මත්පැනට ඇබ්බැහි වුණා. වයසින් කොතරම් වැඩුණත් මත්පැන් බීමේ ආදීනව ඔහුට කෙතරම් පැහැදිලි ඔහුට මේ නරක පුරුද්දෙන් මිදෙන්නට නොහැකි වුණා. 

බිරිඳ වගේම දරුවන් පවා බිව්වොත් යන්න වෙන්නේ අපායේ කියල කොතරම් බීම අත්හරින්නට උත්සාහ කළත් ඒ සියල්ලම ගඟට කැපූ ඉණි වගේ වුණා. කිසිම දෙයක් කණකට ගත්තේ නැති ඔහු “බුදු හාමුදුරුවෝ කිව්වේ මද පමණින් බොන්න කියලා. අපි උබලට කලින් පන්සල් ගියේ.අපිත් ඔය ධර්මය දන්නවා.මං බිව්වා කියලා යුතුකම් පැහැර හරින්නේ නැහැ.අනික මං බිව්වම කාටවත් කරදර කරන්නෙත් නැහැ.” ඒ ඔහු නිවැරදියි කියන්නට දිනපතාම භාවිතා කරන ගැලවුම් වාක්‍ය ටික. ඉතින් මේ විදියේ මිනිස්සුන් අද සමාජයේ ඕනෑ තරම් ජීවත් වෙනවා.ඔවුන් කෙසේවත් මත්පැන් මදයට ප්‍රමාදයට හේතුවෙන බව පිළිගන්නේ නැහැ.

ඉතින් ඔවුන්ට අනුව නම් අපායක් කියලා දෙයක් නැහැ. ඒ විතරක් නම් මදැයි ඒ අය යමපල්ලන්ටත් අභියෝග කරන අය “බලා හිටපල්ලකො අපි අපායට ගිහින් යමපල්ලන්ටත් ගහලා එන්නෙ.” ඉතින් මේ කතා එක්ක ගෙදර  උදවියට සිද්ධ වෙනේ කටපියාගෙන පැත්තකට වෙන්න.  ඉතින් මේ කතා නායකයා වුණු පුද්ගලා තමන්ගේ මේ නරක පුරුද්ද නම් අත්හැරියේ නැහැ. 

කාලය වේගයෙන් ගෙවී ගියා. ඉතින් බීමත්කම පුරුද්දක් විදියට කළ කෙනෙක් වුණත් ඔහු ගමේ පන්සලේ ප්‍රධාන දායකයා . ඒ නිසාම ඒ වසරේ කඨින පිංකම ඔහුට භාරකෙරුණා.ඉතින් ඒ පිංකම ගැන ඔහු බොහෝ පැහැදීමෙන් සිටියේ. කඨින චීවරය හිසේ තබාගෙන හේවිසි හඬ මැද මහ පෙරහරින් පන්සලට යන ආකාරයත් එය තෙරුවන් උදෙසා පූජා කරන ආකාරයත් ඔහුට මැවී පෙනෙන්නට වුණා. ඉතින් අගෝස්තු මාසය උදාවී කඨින පිංකමට දින කෙමෙන් කෙමෙන් ලංවුණා.

ඉතින් හදිසියේම ඔහු රාත්‍රියේ අසනීප වෙනවා. පපුව අල්ලා ගනිමින් කෙඳිරිගාන්නට වූ අතර ඔහු බලවත් වේදනාවකින් පෙළෙන්නට වුණා. ඒ නිසා රාත්‍රියේම ඔහුව බදුල්ල රෝහලට ඇතුළත් කළා. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ රෝගය තරමක් බරපතල නිසා දින කිහිපයක්ම රෝහලේ රැඳී සිටිය යුතු බවයි. ඒ නිසාම ඔහුගේ ඇප උපකාරයට ඔහුගේ සොහොයුරා රෝහලේ නතර වුණු අතර නිවැසියන් නැවත නිවස බලා පැමිණියා.

රෑ 2 කට පමණ හදිසියේ මේ පුද්ගලයා අවදිවෙන්නේ තම සොහොයුරාගේ අතත් අල්ලා ගනිමින්.ඔහුගේ ඇඟ සීතල වෙන බව පවසනවා සමඟම ඇස් උඩ ගිය ඔහුගේ පපුවෙන් අමුතු ශබ්දයක් ද ආවා.හුස්ම ගැනීම නතර වුණා. හදිසියේම වෛද්‍යවරුන් පැමිණ විනාඩි 10 ක් පමණ ඔහුව බේරා ගන්නට තැත් කළ නමුත් අවසානයේ ඔවුන් එය අත්හැර දමමින් පැවසුවේ දැන් වැඩක් නැහැ කියමින්. තමන්ගේ සොහොයුරා මියයාමෙන් අධික ශෝකයට පත් ඔහු ළඟ සිටි  සොහොයුරා කළ යුතු දේ සිතා ගත නොහැකිව සිටියා. 

නමුත් රාත්‍රි සේවයට පැමිණි නවක වෛද්‍යවරයා ඔහුට අසාමාන්‍ය වාසනාවක් ගෙනාවා. “ඉක්මනට ඔය මනුස්සයාව අනික් පැත්තට පෙරළන්න ” ඒ වෛද්‍යවරිය රෝගියා මුනින් අතට පෙරලූ අතර මියගියා යැයි පෙර අනුමාන කළ රෝගියා කහින්නට වුණා. ඉන්පසු නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා.නමුත් දින කිහිපයක්ම පියවි සිහිය නොමැතිව සිහි මුර්ජාවෙමින් සිටි ඔහු කෙමෙන් සුවයට පත්වුණා.

ඔන්න සුවවෙලා ගෙදර ආපු ඔහු මෙන්න මේ වගේ අමුතු කතාවක් කිව්වා.  සරලවම කිව්වොත් එදා රෝහලේ දී භෞතිකය ඇඳ මත මල සිරුරක්ව  තිබිය දී ඔහුගේ මනෝකාය ගමන් ගත් ආකාරයි.

මගේ ඇඟ එකපාරටම සීතල වුණා.හුස්ම ගන්න අමාරු වුණා.එතකොට ඔක්කොම අඳුරු වුණා. පාවෙලා වගේ තැනකට මාව ඇදිල ගියා. එකපාරටම කවුදෝ යක්කු දෙන්නෙක් වගේ භයානක පෙනුම ඇති හැඩි දැඩි ශරීර ඇති දෙන්නෙක් ඇවිත් මාව අල්ලා ගත්තා.ඔවුන් ළඟ ආයුධත් තිබුණා. ඒවා නිතරම වෙනස් වෙනවා. මම කෑගහලා දගලන්න පටන් ගත්තා. එතකොට මගේ අත් තදින් ගැට ගහලා තවත් අඳුරු තැනකට මාව ඇද ගෙන ගියා. මම ඒ බැමි ලිහා ගත්තා. ඒත් ආයේ මාව බඳිනවා. ඒ බැදලා තිබුණු විදියට මගේ අත් තාමත් රිදෙනවා.

ඊට පස්සේ මම ඇදගෙන එක් පැත්තකට ගියා. මම කොතරම් කෑගැහුවත් කවුරුත් ඒවා අහන්නේ නැහැ. අන්තිමට මාව ඔටුන්නක් දාගත්තු භයානක ලොකු කෙනෙක් ළඟට එක්කන් ගියා. එතැන මම වගේ කෑමොර දෙන තවත් අයත් සිටියා.මට කඨින පිංකම කරන්න යන්න ඕන කියමින් මම හයියෙන් කෑගැහුවා ඒත් කවුරුත් අහන්නෙ නෑ. නැවත මට යන්න දීපල්ලා කටින පිංකමට යන්න ඕනෑ කියමින් කෑගහද්දි ඔවුන්ගෙන් එක් අයෙක් උබ භය වෙන්න එපා උබ යවයි කිව්වා.

ඔටුනු පැළදි පුද්ගලයා ලගට ගෙනගිය පසු මට යන්න දෙන්න යැයි කිව්වා. එවිට මම උබට යන්න දෙනවා. උබට මෙහාට එන්න තව කල් තියෙනවා.උබ කඨින පිංකමට පලයන්. එය හොඳින් කරපන්. යැයි කියා ඔහුව නිරය මැදින් ඇදගෙන ආවා. එය ඉතාමත් බිහිසුණු දසුනක්.

ගැහැණු ද පිරිමි ද දුකින් පිරුණු මුහුණින් රැඳී ඉන්නවා.යමපල්ලෝ දෙදෙනෙක් ඔවුන්ව කොටස්වලට වෙන් කරනවා. ප්‍රාණ ඝාත කළ අය වෙනම වෙන් කරනවා. වැරදි කාමසේවනය කළ අය , බොරු කී අය, මත්වතුර  භාවිතා කළ අය වෙන වෙනම වෙන් කරනවා.මිනිස් ලොවේ මිනිසුන් ගතකරන දුශ්ශීල අධාර්මික ජීවිතයට වෙන වෙනම දඬුවම් දෙන බව ඔහුට වැටහුණා.

යමපල්ලන් ඔහුව තවත් ඉදිරියට ගෙන ගියා. පුදුමයකි. කුඩා කාලයේ බණට ඇසූ විශාල කටු ගස ඔහු ඉදිරියේ. එවැනි කටු ගස් 4 හෝ 5 තිබෙනවා.  එතැන මහා දිගු පෝලිමක්.ඒ පෝලිම මිනිස් ලෝකයේ සිටිද්දී කරන අකුසල්වලට විදවීමට වන දඩුවක්. යමපල්ලන්ගේ ඇමතීමෙන් තමන් කැමතිවුවත් අකමැතිවුවත් කටු ඉඹුලේ නැගිය යුතුයි.

තවත් ඉදිරියට ගෙනයන ඔහුට  වේලී ඇඹරී දුකින් පිරුණු මුහුණු දකින්නට ලැබුණා. නිමක් නැති විලාප හඬ ඉවසිය නොහැකියි. තවත් ඉදිරියේ දකින්නට ලැබුණේ රතුපාට බුබුළු දමන උතුරන වතුර ඇති ගඟක් වැනි දෙයක්. ඒ දේවදූත සූත්‍රයේ ලෝකුබු නිරය බව කිව හැකියි. කකුල් උඩ අතට හරවා හිස යටි අතට හරවා ගිනියම් වුණු ලෝකුබු නිරයේ ඔබනවා. පෙණ ගුලියක් බදු නිරිසතා පැහි පැහී එක් වතාවක් උඩට එනවා. ආයෙමත් යට යනවා.

තවත් ඉදිරියේදී විරූපී වී ගිය විලාප තියන අය දකින්නට ලැබුණා. ඒ අතර ඔහු සමඟ චණ්ඩිකම් කළ මත්පැන් බොමින් විනෝද වූ කලින් මියගිය ඔහුගේ යහළුවන් ද සිටියා. මට දුකයි ඒත්  කරන්න කිසිදෙයක් නැහැ. ඔහු පැවසුවා.

ඉතින් මේ විදියට ඔහු පැවසූ කතාව ඔහු ලැබූ අත්දැකීමට අනුව බොරුවක් නොවෙයි.දේවදූත සූත්‍රයේ නිරයේ විස්තරය ගලපද්දි ඔහු ඒකාන්තයෙන්ම මනෝමය කයින් ගොස් ඇත්තේ නිරයට.බොහෝ අවස්ථාවල භෞතික සිරුර මැරුනත් මනෝමය කයින් ගොඩ එන්නට ද හැකියාවක් පවතින බව මේ කතාවෙන් පැහැදිලියි. කෙසේ හෝ ඔහූ අද වෙද්දි ඉතා යහපත් ධාර්මික ජීවිතයක් ගතකරනවා.

ඉතින් ඔහු පවසන්නේ මිනිසුන්ගේ ගුණ ධර්ම වර්ධනයට සමාජය යහපත් කරන්නට මේ කතා පුවත ලියා මිනිස්සුන්ට කියවන්නට සැලසීම යහපතක් බවත් ඕනෑම වේලාවක ඔහු එය කියන්නට මැලි නොවන බවත්ය. ඉතින් මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ වදාළ අකුසල් කර්මවලට දඬුවම් ලැබෙන අපාය මුසාවක් නොවන බව පිළිගන්නට වෙනවා.